Sri Lankan teachers

මනුස්සයෙක් වෙන්න මට මගේ ගුරු භූමිකාව පුළුල් පදනමක් වුණා

දර්ශන කාහිංගල

ගුරුවරු ගැන අද-හෙට ප්‍රශංසා වැහි වහිනවා. කෙනෙක් කීවා රුපියල් තුනේ ටොෆියක්-දහයේ පෑනක් ඔක්තෝබර් පළමුවෙනිදා ළමා දිනේ කියල දීලා, මේ දවසට සිය ගණනින්- දාස් ගණනින් ප්‍රතිඋපකාර ගන්න ගුරුවරු කට ඇරන්, අත් පිහිද පිහිදා බලන් ඉන්නවා කියලා! ඉස්කෝලේ ගුරු රස්සාව කරන කාලේ මේ දවසට නිවාඩුවක් දාල මිස් කරන්නයි මගේ වැඩි කැමැත්ත තිබුණේ. කොඳු කඩා ගෙන, නැවෙන-වඳින බොත්තම ප්‍රෙස් වුණ රොබෝ සෙට් එකක් බවට එදාට ඉස්කෝලෙක ශිෂ්‍යයෝ දාස්ගානක් එක පාර ට්‍රාන්ස්ෆෝම් කළා ම, මළා ද කියලවත් අහගන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ !

(Call 077 1734470 for Praja.lk Ads)
Translations by Creative Content Consultants

මනුස්සයෙක් වෙන්න මට මගේ ගුරු භූමිකාව පුළුල් පදනමක් වුණා. ඇත්ත. ඒ පදනම ගොඩනැගෙන්න ඉස්කෝලේ, විශ්ව විද්‍යාලය වගේ විධිමත් ආයතනවලින් වුණ වැඩ කොටසක් නැති තරම්. ඒවයේ හිටපු අතේ ඇඟිළි ගානටත් අඩු ඒ ගුරුවරු කීපදෙනා මගේ හිතේ හැමදාමත් ජීවත් වෙනවා. උදාහරණයක් හැටියට මුලින් ම මට අහම්බෙන් පංති කාමරයක ක්ෂණික ගුරුභාවයක් රඟපාන්න වුණා ම මම එක පාරට ම ආවේස වුණා (දැන් පරාධීන ජීවිතයක් ගත කරමින් ඉන්න) ජයවර්ධන සර් ට! වැඩක් සංවිධානය කරන්න වුණා ම ඇන්ටන් සර් මගේ ආත්මය අස්සේ ලොකු පෙනී සිටීමක් කරනවා. පුංචි ම කාලේ ඉස්කෝලේ දිරවන්නේ නෑ කියල ගෙදර දුවන්න දොරවල් කඩා ගෙන එළියට පැනපු මාව, විදුහල්පති කාර්යාලේ ඇතුළට එක්ක ගිහින්, මාත් එක්ක එක මේසේ බෙදා ගත්තු, “මේ දරුවට ඕන ආදරය” කියල මාව වැළඳගත්ත, මුහන්දිරම් මැඩම්ගේ සාරියේ සිල්ක් වලටත් වඩා ඒ හිතේ මෘදුබවේ සනීපය මගේ සිසු දරුවෝ අතරෙත් අදත් මම බෙදා ගන්නවා. ඒ වගේ ගුරුවරු කීපදෙනා ට නමස්කාර වේවා !

ඉස්කෝලයක් විතරක් නෙවෙයි පීඩිත ප්‍රජාවක් ම ගොඩදාන ව්‍යාපෘතියක් ඇතුළේ අම්පාර, ලිහිනියාගම පර්ෂදයේ දී මැරුම් කාපු හේමචන්ද්‍ර (හේමා) මගේ ගුරු ආත්මයෙන් එහා ට තාමත් ආලෝක පුපුරක්. විධිමත් ආයතන ඇතුළේ හරි පිටත හරි ඉඳන් (අතිබහුතරය පිටත) මගේ ගුරු-මනුස්ස ආත්මය පෝෂණය කරපු හැම ඇදුරිදුවෙකුට ම උත්තමාචාර වේවා!

අතිබහුතරයක් ගුරුවරු දීනයෝ; උන් තරම් බුද්ධි විරෝධි ළිංමැඬියන් සෙට් එකක් තව කොහේ හෝ මුණ ගැහී ඇත්නම් ඒ මිලිටරිය ඇතුළේ විතරයි. විමසීම, තාර්කිකත්වය කියන ඒවා ඇහෙද්දිත් නයාට අඳුකොල වගේ දැනෙන පිසාච සෙට් එකක්.

මාත් එක්ක වැඩ කරන ශිෂ්‍ය මිතුරා/ මිතුරිය තමන්ගේ සීමාවන් බිඳගෙන, අපූර්ව ඉසව්වකට විවෘත වුණා ම ඌට දැනෙන මහා අමන්දානන්දය දකින එක තරම් මගේ ගුරු ආත්මය උත්කර්ෂය ට නංවන වෙනත් දෙයක් නැහැ. මගේ සීමාවනුත් ආක්‍රමණය කරමින්, ඉදිරිය ට ඒ ගමන යන එකෙක්, එකියක් දකිද්දී ඒ උත්කර්ෂය කියන්නට වචන කොයින් ද !

හැමෝට ම උත්තමාචාර වේවා !

ඉස්කෝලේ, සෙමනේරියේ, ටියුෂන් පංතියේ, ගුරු සංගම් ඇතුළේ වගේ ම අධ්‍යාපන පරිපාලන කාර්යාල ඇතුළේ අත්විඳීම් තව අය එක්ක බෙදාගන්න මට ඕන. ඒ නිසා ඒවා ලියන්න ගත්තා. පොතක් විදියට බෙදාගන්න හිතන් ඉන්නවා.

මේ ඉන්න ‘සාමාන්‍ය ගුරුවරයා’ ට වඩා පට්ට වෙනස් ගුරු චරිත අපි ට ඕන.

(දර්ශන කාහිංගල යනු, රජයේ පාසල් ගුරු වෘත්තියේ අත්දැකීම් ඇති ස්වාධීන සමාජ ක්‍රියාකාරිකයෙකි)