SLIIT

උපාධියක් සඳහා රජයේ පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය (IFSL) යහපාලන රජය හඳුන්වා දුන් හොඳ වැඩක්

උපාධියක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ණය ලබාදෙන පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය (IFSL) යහපාලන රජය විසින් අධ්‍යාපනය සම්බන්ධයෙන් ගන්නා ලද ඉතා හොඳ තීරණයකි. එය වත්මන් ආණ්ඩුව විසින් ද දිගටම ක්‍රියාත්මක කිරීම සතුටට කරුණකි.

ශ්‍රී ලංකා රජය විසින් පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය හඳුන්වාදෙනු ලැබුවේ අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලයකට සුදුසුකම් ලැබීමට අසමත් වූ සිසුන් සඳහා උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහාය. පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ හයවන බඳවාගැනීම දැන් සිදුකෙරේ. ඒ සඳහා 2018, 2019, 2020 වසරවලදී උසස් පෙළ විභාගය සමත් සිසුන්ට අයදුම් කළ හැකිය.

උපාධි පාඨමාලා ගාස්තුවලට අමතරව ත්‍රෛමාසිකව පිරිනමනු ලබන අමතර දීමනාවක් ද මෙම වැඩසටහනට තේරෙන සිසුන්ට හිමිවේ. එය මසකට රු. 6‍,000කට වැඩි දීමනාවකි.

ආපසු ගෙවීමේ කාලසීමාව ආරම්භ වන්නේ උපාධිය අවසන් කිරීමෙන් පසු වසරක සහන කාලයකින් පසුවය. වසර අටක් දක්වා (වාරික 96ක්) දක්වා කාලයක් මෙම පොළී රහිත ණය ගෙවීම සඳහා ලැබේ. සාමාන්‍යයෙන් මෙම සමස්ත ණය මුදල රු. මිලියනයකට වැඩිය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අයදුම්පත් වෙබ් බිහිදොර 2021 දෙසැම්බර් 21 සිට 2022 ජනවාරි 31 දක්වා විවෘත වේ. 2022 පෙබරවාරි සිට මාර්තු දක්වා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අයදුම්කරුවන් සම්මුඛ සාකච්ඡාවට ලක්කරනු ලැබේ. පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ බඳවාගැනීම් 2022 අප්‍රේල් මස ආරම්භ වේ.

ශ්‍රී ලාංකික පෞද්ගලික විශ්වවිද්‍යාල විසින් දැන් මේ සඳහා ප්‍රවර්ධනයන් කරනු දක්නට ලැබේ. ඒවායේ අරමුණු අතර ලාභ ලැබීම ද තිබේ. ලාභය යනු බිය විය යුතු දෙයක් නොවේ. ලාභය බොහෝ විට නැවත ආයෝජනය වන ප්‍රාග්ධනයකි.

මෙම විශ්වවිද්‍යාලවලට අයිතිකරුවෝ ද සිටිති. ධනවාදය යටතේ හිමිකාරීත්වය යනු වෘත්තිකමය කාර්යයකි. ව්‍යවසායක හිමිකරුවකු යනු සැලකිය යුතු අවදානමක් දරාගන්නා, එම අවදානම වෙනුවෙන් විශාල වරප්‍රසාද ද ලබාගන්නා පුද්ගලයෙකි.

කෙතරම් ධනවතකු වුවත්, පරිභෝජනය සිදුකළ හැක්කේ සීමා සහිතවය. බොහෝ ධනවතුන් පවා දැන් පාරිභෝජනවාදය පිටුදකිති. බුද්ධිමත් අන්දමින් පරිභෝජනය සඳහා යොමුවෙති. පරිභෝජනය විසින් ද ව්‍යවසාය හා රැකියා නිර්මාණය කරනු ලැබේ.

අධ්‍යාපනය රජය විසින් ලබාදීම අනිවාර්ය යයි මෙම සටහන තබන මම විශ්වාස නොකරමි. එහෙත්, මුදල් ගෙවා අධ්‍යාපනය ලැබිය නොහැකි අයට ගුණාත්මක අධ්‍යාපනයක් මහජන මුදලින් ලබාදිය යුතුය. ඒ සඳහා තෝරාගන්නා කිසියම් ක්‍රමවේදයක් තිබිය යුතුය. එහෙත්, එම ක්‍රමවේදය නිසා එයින් මගහැරෙන සිසුන්ට සෙසු අවස්ථා සීමා කිරීම වැරදිය.

ශ්‍රී ලංකාවේ රජයට අධ්‍යාපනය සම්බන්ධයෙන් කළ හැකි කාර්යයන්ගේ සීමාවක් තිබේ. ඉතිරි කොටස සඳහා පෞද්ගලික අංශය මැදිහත් කරගැනීමේ කිසිදු ගැටලුවක් නැත. පෞද්ගලික ධනපතීන් වන්නේ ද ඔබ හා මා වැනි මිනිසුන් මිස පිටසක්වළ ජීවීන් පිරිසක් නොවේ. ඔවුන් විශේෂිත නරක පුද්ගලයන් පිරිසක් වන්නට විදියක් නැත. රජය විසින් මනා නියාමනයක් සිදුකරන්නේ නම්, පෞද්ගලික අංශය ලාභ ද ලබමින් ගුණාත්මක සේවා සැපයීමේලා සමත් බවට උදාහරණ ඕනෑතරම් තිබේ.

මනා නියාමනයකින් තොරව හෝ මේ වන විට ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන රැසක් තිබේ. ඒවායේ ගුණාත්මකභාවය නැංවීම සඳහා නිසි නියාමනයක් අත්‍යවශ්‍ය. වෛද්‍ය අධ්‍යාපනය හැරුණු විට වෙනත් උපාධි සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාල පැවතීම සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයකින් සැලකියයුතු විරෝධයක් ද නැත. මේ වන විට වෛද්‍ය උපාධිය ද රජයට අයත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හරහා මුදල් ගෙවා ලබාගත හැකිය.

මුදලට අධ්‍යාපනය ලබාදෙන ආයතන රැසක් රජය විසින් ද පවත්වාගෙන යනු ලැබේ. රාජ්‍ය විශ්වවිද්‍යාල විසින් ද මුදල් අයකරන පළමු උපාධි නොවන පාඨමාලා රැසක් මෙහෙයවනු දැකිය හැකිය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය උසස් අධ්‍යාපනය තුළ විශාල ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් අවශ්‍යය. එසේ නොමැති වුවහොත් එහි ගුණාත්මකභාවය තවත් පිරිහෙනු ඇත. ඒ සඳහා විශේෂයෙන්ම ශිෂ්‍ය ප්‍රජාවේ සහාය අවශ්‍යය. විශ්වවිද්‍යාල පද්ධතිය ගිලගෙන තිබෙන නවක වධය පාදක කරගත්, පීඩාකාරී දේශපාලන උප සංස්කෘතිය වෙනස් නොකර උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය නැංවිය නොහැකිය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක පෞද්ගලික විශ්වවිද්‍යාල ආයතන ලැයිස්තුවක් මෙතනින්