රාජකීය මන්ත්‍රීවරු ගැන කතා හා අධ්‍යාපන විෂමතා සඳහා විසඳුම

අජිත් පැරකුම් ජයසිංහ

අලුත් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් අතරින් 26ක් කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අය බව වාර්තා වේ. එම මන්ත්‍රීන් මෙසේ ය:

  1. දිනේෂ් ගුණවර්ධන
  2. රංජිත් සියඹලාපිටිය
  3. මහින්දානන්ද අලුත්ගමගේ
  4. ප්‍රියංකර ජයරත්න
  5. කාංචන විජේසේකර
  6. ඩිලාන් පෙරේරා
  7. විදුර වික්‍රමනායක
  8. අනුරාධ ජයරත්න
  9. නිපුණ රණවක
  10. අනුප පස්කුවල්
  11. ගෙවිඳු කුමාරතුංග
  12. ජීවන් තොන්ඩමන්
  13. දුමින්ද දිසානායක
  14. සජිත් ප්‍රේමදාස
  15. ගයන්ත කරුණාතිලක
  16. ලක්ෂ්මන් කිරිඇල්ල
  17. කබීර් හෂීම්
  18. රාවුෆ් හකීම්
  19. හර්ෂ ද සිල්වා
  20. හර්ෂණ රාජකරුණා
  21. කාවින්ද ජයවර්ධන
  22. කිංස් නෙල්සන්
  23. ඉම්රාන් මහරුෆ්
  24. එම්.ඒ. සුමන්තිරන්
  25. ජී. පොන්නම්බලම්
  26. සී.වී. විග්නේශ්වරන්

මොවුන් අතරින් 50%කට වඩා අයගේ තාත්තලා හිටපු මන්ත්‍රීවරුන්, ඇමතිවරුන් වූ අතර ඔවුන් රාජකීය විද්‍යාලයට දරුවන් ඇතුළත් කරගන්නේ දේශපාලන බලය පාවිච්චි කිරීමෙන් බව ඉතා පැහැදිලි ය.

ඈත හම්බන්තොටින් පැමිණි, ඉහළ ධනවතෙකු නොවන ඩී.ඒ. රාජපක්ෂ මන්ත්‍රීවරයාට පවා තම දරුවන් කිසිවෙකුට රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබා දීමට බැරි වී ඇති බව පෙනේ. එවැනි පාසලකට දරුවන් ඇතුළත් කිරීමට කෙතරම් ධනයක්, බලයක් තිබිය යුතු ද යන්න එයින් පැහැදිලි ය.

Translations by Creative Content Consultants

ඉහත දක්වන ලද පිරිස අතරින් සී.වී. විග්නේශ්වරන්, ගෙවිඳු කුමාරතුංග හා අනුප පස්කුවල් වැනි ශිෂ්‍යත්ව විභාග සමත් වීම, දක්ෂතාව, කොළඹ පදිංචිය වැනි හේතු මත රාජකීය විද්‍යාලයට ඇතුළත් වූ කිහිපදෙනෙකු හැර සෙසු අය මෙරට ධනවත් පවුල්වලට අයත් අය ලෙස සැලකිය හැකි ය. ඔවුන් රාජකීය විද්‍යාලයට ඇතුළත් වන්නේ ධනය හා බලය නිසා ය. උදාහරණයක් ලෙස අනුරාධපුරයේ පදිංචිකරුවකු වූ බර්ටි ප්‍රේමලාල් දිසානායකගේ පුත් දුමින්ද දිසානායක රාජකීය විද්‍යාලයට ඇතුළත් වන්නේ කෙසේ ද?

එහෙත්, ඔවුන් ඉගෙන ගන්නේ මෙරට පොදු ජනතාවගේ බදු මුදලින් නොමිලේ ය. රටේ සියලු දරුවන්ට නොමිලේ අධ්‍යාපනය ලබා දීමෙහි වරදක් නැත.

එහෙත්, ධනය හා බලය මත රාජකීය විද්‍යාලයට දරුවන් ඇතුළත් කරන අය එම දරුවන්ට වටිනාකම් එකතු කළ අධ්‍යාපනයක් ද මහජන මුදලින් ම ලබා දෙති. වරද තිබෙන්නේ එතැන ය.

වටිනාකම් එකතු කළ සේවාවක් යනුවෙන් මා හඳුන්වන්නේ අමතර ක්‍රීඩා, පිහිනුම් තටාක, ක්‍රීඩාංගන, පුස්තකාල, ශ්‍රවණාගාර, පහසුකම් සහිත පන්ති කාමර, හොඳ සනීපාරක්ෂක පහසුකම්, විශේෂ විෂය බාහිර ක්‍රියාකාරකම්, හොඳම ගුරුවරුන් ආදියයි.

රාජකීය වැනි පාසල්වල වටිනාකම එකතු කළ සේවා ලබාදෙන්නේ ආදි ශිෂ්‍ය සංගමය විසින් ය කියා මුග්ධ තර්කයක් තිබේ. ආදි ශිෂ්‍ය සංගමය මූලික වශයෙන් ම මේවා කරන්නේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේදී 25%ක කෝටාවක් ලබාගනිමිනි. මෙම කෝටාව අතිශය නින්දිත ජාවාරමකි. ඒ හරහා රජයේ පාසල්වල රජයෙන් නොමිලේ දෙන අධ්‍යාපනයට අවස්ථා ලබා දීම සඳහා ජාවාරම්කාරයන් පිරිසක් අති විශාල වශයෙන් කප්පම් ලබාගනිති. මෙම කප්පම් ක්‍රියාවලිය ඉතා සංකීර්ණ එකකි. එහෙත්, මූලික ක්‍රියාවලිය කප්පම් ගැනීම මිස අන් කිසිවක් නොවේ. මේ වනාහි ඉතාම නින්දිත තත්වයකි. එහි කිසිම රාජකීයත්වයක් නැත. තමන් උගත් පාසලට යම් පරිත්‍යාගයක් කිරීමට යම් අයෙකු කැමති නම් ඒ සඳහා අවස්ථාව තිබිය යුතු ය. එහෙත්, ඒ 1 ශ්‍රේණියට ඇතුළත් කරන දරුවන්ගෙන් 25%ක් ලබා දීම වැනි අසාධාරණ වරදාන මත නොවේ.

රජයේ අධ්‍යාපනය සැමට සාධාරණ විය යුතු ය. සියලු පාසල්වලට වටිනාකම් එකතු කළ සේවා ලබා දිය යුතු ය. එහෙත්, රජයට එසේ කරන්නට බැරි නම්, තෝරාගත් පාසල්වලට පමණක් එවැනි සේවා ලබා දීම නතර කළ යුතු ය. ධනය හා බලය හිමි පිරිස් රාජකීය විද්‍යාලය වැනි පාසල් තම ග්‍රහණයට ගෙන මහජන මුදලින් වරප්‍රසාදිත තත්වයක් භුක්ති විඳීම අසාධාරණ තත්වයකි.

මෙම වරප්‍රසාදිත තත්වය භාවිතා කරමින් ඔවුන් උසස් අධ්‍යාපනයේ වැඩි අවස්ථා ප්‍රමාණයක් ද අත්පත් කරගන්නා අතර එය එතනින් නතර නොවී දේශපාලනය කරා ද ව්‍යාප්ත වන ආකාරය ඉහත දක්වන ලද ලැයිස්තුවෙන් පෙනේ.

මෙම දේශපාලකයන් ද කරන්නේ තමන්ගේ ළමයින් ද මෙම පාසල්වලට ඇතුළත් කරගනිමින් මෙම විෂමතාව තවදුරටත් පවත්වාගැනීමයි.

මෙයට විසඳුමක් තිබේ. රාජකීය විද්‍යාලය වැනි පාසල් රජයේ හිමිකාරිත්වය හා නියාමනය සහිත, ලාභ නොලබන ස්වාධීන ආයතන බවට පත් කළ යුතු ය. රජයෙන් එම පාසල්වලට මුදල් වෙන් කිරීම නැවැත්විය යුතු ය. එසේම, දක්ෂ දරුවන්ට අනිවාර්ය ශිෂ්‍යත්ව ප්‍රතිශතයක් වෙන් කළ යුතු ය. සෙසු ළමයින්ගෙන් මුදල් අය කළ යුතු ය. මෙම පාසල්වලට ඇතුළත් වන ධනවතුන්ට, ප්‍රභූවරුන්ට එය පහසුවෙන් කළ හැකි ය. ඔවුන් මහජන මුදලින් අධ්‍යාපනය ලැබිය යුතු නැත. රටට ණය විය යුතු නැත. නින්දිත විෂමතාවක ඉතිහාසයක් කර තබාගෙන යා යුතු නැත.

රාජකීය වැනි පාසල් නඩත්තු කිරීමට වැය කරන මුදල් ග්‍රාමීය ප්‍රදේශවල පාසල් සංවර්ධනය කිරීම සඳහා යෙදවිය යුතු ය. පසුගිය රජය විසින් හඳුන්වා දෙන ලද ‘ළඟම පාසල හොඳම පාසල’ සංකල්පය වෙන නමකින් හෝ දිගට ම ක්‍රියාත්මක කිරීම අවශ්‍ය ය.

මෙවැනි තවත් ඊනියා ප්‍රභූ පාසල් රැසක් තිබේ. ශාන්ත තෝමස්, ත්‍රිත්ව, ශාන්ත පීතර, ශාන්ත ජෝසප්, ශාන්ත බ්‍රිජට් වැනි ඊනියා ක්‍රිස්තියානි පෞද්ගලික පාසල් ද, මියුසියස් වැනි ඊනියා බෞද්ධ පෞද්ගලික පාසල් ද, සහිරා වැනි ඊනියා මුස්ලිම් පාසල් ද සියල්ල ඉහත දක්වන ලද රාජකීය විද්‍යාලය අයත් පාසල් වර්ගීකරණයට යටත් කළ යුතු ය. මේ සියල්ල රජයට අයත්, රජයේ නියාමනය සහිත ලාභ නොලබන ස්වාධීන ආයතන බවට පත් කළ යුතු ය.

හතු පිපෙන්නා සේ අලුතෙන් බිහි වෙමින් තිබෙන ඊනියා ජාත්‍යන්තර පාසල්වලට ද ඇත්තේ මෙම විසඳුමයි. මේ සියල්ල රජයට පවරාගෙන, නියාමනයක් සහිත ස්වාධීන ආයතන බවට පත් කළ යුතු ය.

ජාත්‍යන්තර පාසල් අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ විවිධ හේතු මත රැඳී සිටින විදේශිකයන්ට ය. මාලදිවයින වැනි රටවල දරුවන් ද ලංකාවේ ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලබති. ජාත්‍යන්තර පාසල් සඳහා වෙළඳපොළක් නිර්මාණය වීමේ වරදක් නැත. එහෙත්, අප ඉහත දක්වන ලද විෂමතාව හේතුවෙන් තමන් කැමති අන්දමේ වටිනාකම එකතු කළ සේවා සහිත හොඳ පාසලකට දරුවන් ඇතුළත් කිරීමට අසමත් වන දෙමව්පියන්ට අධ්‍යාපනය විකුණා ලාභ ලැබීමේ අරමුණින් පවත්වාගෙන යන ඊනියා ජාත්‍යන්තර පාසල් නම් අධ්‍යාපන කඩ සියල්ල රජයට පවරාගෙන අප ඉහත දක්වන ලද ආකාරයේ රජයේ නියාමනය සහිත ස්වාධීන ආයතන බවට පත් කළ යුතු ය.

Translations