Mahinda Deshapriya

අජිත් පැරකුම් ජයසිංහ

රජය විසින් අලුතෙන් පත්වීම් ලබා දෙන උපාධිධාරීන් 50,000ගේ පුහුණුව පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වන තෙක් නතර කිරීමට මැතිවරණ කොමිසම විසින් නියෝග කර තිබේ.

Translations by Creative Content Consultants

රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීම දේශපාලනික අරමුණුවලින් තොරව සිදු කරන ක්‍රියාවක් නිසා එම පුහුණුව නතර කිරීමට හේතු මැතිවරණ කොමිසමෙන් විමසන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

මේ අතර, ඇමති බන්දුල ගුණවර්ධන පවසන්නේ උපාාධිධාරීන්ගේ පුහුණුව අත්හිටෙව්ව ද ඔවුන්ට මාසිකව රු. 20,000ක දීමනාවක් ගෙවන බවයි.

ජනාධිපතිවරයා කුමක් කීවත්, මෙම පත්වීම් ලබාදීම දේශපාලන අරමුණු මත සිදුවන්නක් බව ඇමති බන්දුල ගුණවර්ධනගේ ප්‍රකාශයෙන් තහවුරු වේ. ඔහු මේ බෙදා දෙන්නට යන්නේ ඔහුගේ පෞද්ගලික බූදලයක අරමුදල් නොවේ. මහජන මුදල් ය. වැඩක් නොකරන, පුහුණුවක් නොලබන උපාධිධාරීන් පිරිසකට මහජන මුදලින් වැටුප් ගෙවීම බලවත් අසාධාරණයකි.

ආණ්ඩුවත්, මැතිවරණ කොමිසමත් අතර තිබෙන ආරාවුල විසඳාගැනීම ඔවුන්ට භාර ය. අප මෙම සටහනෙහි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ උපාධිධාරීන් පුහුණු කිරීමේ වැදගත්කමයි.

මෙවැනි රැකියා විරහිත උපාධිධාරීන් බොහෝ විට පත් කරනු ලබන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා පාසල්වලටයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නම් ඔවුන් වැඩි දෙනෙකුට කරන්නට ඇති වැඩක් නැත. ක්ෂේත්‍ර නිලධාරීන් බවට පත් වන අය නම්, රජයෙන් වැටුපක් ගෙන තමන්ගේ වැඩක් කරගනිති. එහෙත්, කාර්යාලවල සිටින අය කරන්නේ ඉතා සුළු වැඩ කොටසකි. ලිපි ගොනුවක සටහන් කීපයක් තැබීම වැනි සුළු වැඩ කිහිපයක් වෙනුවෙන් මෙම උපාධිධාරීහු ඇතැම් විට බෙලිඅත්ත, මහව වැනි දුර බැහැර ප්‍රදේශවල සිට පවා දුම්රිය, බස්රියවලින් එති. ඔවුන්ට වැටුප් ගෙවා ගෙදර ඉන්නට අරිනවා නම් ඇත්තෙන් ම ප්‍රවාහනයට, කාර්යාලවල විදුලියට දැවෙන ඉන්ධන හෝ ඉතිරි වනු ඇත.

කෙසේ වෙතත්, බොහෝ විශ්වවිද්‍යාල උපාධිධාරීන්ට මෘදු කුසලතා පිළිබඳ බරපතල ගැටලුවක් තිබේ. මෘදු කුසලතා හෙවත් Soft skills යනු සරලව කීවොත් තම සේවා ලබාගන්නන්, ආයතනවල වෘත්තීය සගයන් හා ප්‍රධානීන් සමග කටයුතු කිරීමේදී පුද්ගලයකු සතුව තිබිය යුතු මූලික කුසලතා ය. ඒවා අතරට යහපත් සන්නිවේදනය, ගැටලු විසඳා ගැනීම, කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීම, නායකත්වය ආදිය ප්‍රමුඛ ය.

පාසල්වලට යවනු ලබන රැකියා විරහිත උපාධිධාරීන් නම් ඇත්තෙන් ම කරන්නේ දැවැන්ත විනාශයකි. ඔවුන් පාසල්වලට අනුයුක්ත කරනු ලබන්නේ අධ්‍යාපන විද්‍යාව හා ක්‍රමවේදය ගැන කිසිදු දැනුමක් නොමැතිව ය. එපමණක් නොව, බොහෝ කලා උපාධිධාරීන් ඉගැන්වීම ලෙස හඳුනන්නේ උසස් පෙළ හා බාහිර උපාධි ටියුෂන් මාස්ටර්වරුන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කරනු ලබන දේශන පැවැත්වීම හා සටහන් ලිවීම ය.

මේ ගුරුවරුන් වැඩි දෙනෙකු පාසල්වලට පැමිණ කරන්නේ සටහන් දීමයි. ඇතැම් ගුරුවරුන් පාසල් සිසුන්ට නොමිළේ බෙදා දෙන ඉතිහාසය, පුරවැසි අධ්‍යාපනය වැනි විෂය පෙළ පොත්වල ඇති පෙළ ළමයින්ගේ අභ්‍යාස පොත්වල පිටපත් කරවති. ඒවායේ තිබෙන රූප සටහන් ඡායා පිටපත් කරවා අලවති. ඔවුන්ගේ මූලික ගැටලුව ඉගැන්වීම ගැන නොදන්නාකමයි. කියවීම හා නව දැනුම නැතිකම ද එකතු වූ විට ඔවුහු අංග සම්පූර්ණ විකාරයක් බවට පත් වෙති.

මේ අතර ඔවුන් පාසල්වලට එන්නේ ම එදා සිට ම ටියුෂන් කිරීමේ මානසිකත්වයෙනි. ටියුෂන් යනු විභාග සමත් කරවීම ඉලක්ක කරගත් අධ්‍යාපනය නොවන යම් දෙයක් නිසා ඔවුන්ට එහිදී නම් සාර්ථක වන්නටත්, එහි මූලික අරමුණ වන මුදල් ඉපැයීම හා සෝබනකාර, පාරිභෝජනවාදී ජීවිතය සම්බන්ධයෙන් සාර්ථක වීමටත් අවස්ථාව ලැබේ.

මෙම උපාධිධාරී ගුරුවරුන් විසින් අනිවාර්ය පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවක් හැදෑරිය යුතු ය. ඔවුන් අතරින් ඇතැමෙකු එය කරන්නේ නොකර බැරිකමට ය. අනෙක් අය ද කරන්නේ එමගින් වැටුප් වැඩි වෙන නිසා ය. ඒවා බොහෝ විට සති අන්තයේ පැවැත්වෙන ප්‍රෝඩාකාරී ඩිප්ලෝමා ය. එමගින් ලැබෙන ගුරු පුහුණුවක් නැත. සමස්තයක් ලෙස, බොහෝ කලා උපාධිධාරීන් ගුරු සේවයට හා ලංකාවේ අධ්‍යාපනයට තිබෙන ලොකුම කොඩිවිනය ලෙස හැඳින්වීම වරදක් නැත. මූලික ප්‍රශ්නය ඔවුන් උගන්වන්නට දන්නේ නැතිකමයි. එසේම, ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, සිංහල, තාක්ෂණ, සෞන්දර්ය, තොරතුරු තාක්ෂණය වැනි විෂයන් උගන්වන්නට මෙම බොහෝ රැකියා විරහිත උපාධිධාරීන්ට කුසලතා නැත. මෙවැනි වැඩ බැරි ගුරාලාට දෙන්නට තිබෙන එක් විෂයක් වන්නේ ද්විතීයක පන්තිවල පුරවැසි අධ්‍යාපනයයි. ඔවුහු ලංකාවේ අනාගත පරම්පරාව ද තමන් වැනි පුරවැසියන් නොවන හිස් ගැහැණුන් සහ මිනිසුන් බවට පත් කර දමති.

මහ මැතිවරණයක් කැඳවා තිබියදී උපාධිධාරීන් පුහුණු කිරීම හරි වුණත්, වැරදි වුණත්, උපාධිධාරීන් පුහුණු කිරීම නම් රජය අනිවාර්යයෙන් කළ යුතුව තිබෙන කාර්යයකි.

Translations

Leave comment

Your email address will not be published. Required fields are marked with *.