Ruwanpura Expressway

වාහන මාකට්ටෙක, පොදු ප්‍රවාහනය හා රුවන්පුර අධිවේගය

අවුරුදු පහක් පරණ ටොයොටා ලෑන්ඩ් කෘෂර් රථයක් රුපියල් හයකෝටි විසිපන්ලක්ෂයකට අලෙවිය සඳහා අන්තර්ජාලයේ දැන්වීම් දමා ඇති බව ඒඑෆ්පී වාර්තාවක පළවිය. එම මුදලින් කොළඹ නිවසක් මිලදීගත හැකි බව ද එම වාර්තාවේ ම දැක්වේ. මේවා දකින විදේශිකයන් ලංකාවේ මිනිසුන්ට පිස්සු යයි සිතනු ඇත.

මේ වන විට පාපැදියේ පටන් සියලු වාහනවල මිල දරාගත නොහැකි තරම් ඉහළය. ලුමාලා පාපැදියක මිල රු. 30,000 ඉක්මවයි. අවුරුදු දෙකකට වඩා පරණ සීසී 100 ධාරිතාවේ කුඩා ස්කූටර් යතුරුපැදියක් රු. ලක්ෂ හතරකට වැඩිය. මගේ අවුරුදු අටක් පමණ පරණ ඇල්ටෝ කාරය පවා රු. ලක්ෂ 25කට වැඩි මිලකට විකුණාගත හැකිය. එහෙත්, වාහන විකුණන අයට පහසුවෙන් වාහනයක් මිලදීගත නොහැකිය.

ශ්‍රී ලංකාවේ වාහන වෙළඳපොළෙහි ජපන් කාර් කලක සිටම ගත් මිලට වඩා ඉහළ මිලකට විකුණාගැනීමේ හැකියාව තිබිණි. ක්ෂය වන උපයෝගී භාණ්ඩයක් වන කාර්වල මිල එසේ වැඩිවීම විකෘති තත්වයකි. එයට හේතුවන්නේ ඩොලරයට, යෙන්වලට සාපේක්ෂව රුපියලේ වටිනාකම වේගයෙන් පිරිහීම, උද්ධමනය හා රජය වාහනවලින් අයකරන අධික ආනයන හා වෙනත් බදුය.

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනයේ ගැටලු රැසක් තිබේ. ඒ අතරින් දුම්රිය සේවය අන්තයටම පිරිහී තිබෙන අතර රජය ඒ සම්බන්ධයෙන් කිසිදු තීරණාත්මක ක්‍රියාමාර්ගයක් ගන්නේ නැත. රජයට අයත් ලංගම බස්රථ 4,000ක් පමණ නීති උල්ලංඝනය කරමින් ආදායම් බලපත්‍ර නොමැතිව ධාවනයේ යෙදෙන බව පසුගිය ඉරිදා අරුණ පුවත්පත වාර්තා කළේය.

ලංකාවේ පෞද්ගලික වාහන භාවිතය මෙතරම් අධික වී තිබෙන්නේ පොදු ප්‍රවාහනය විධිමත් කිරීමට රජය කිසිදු වැදගත් පියවරක් නොගන්නා බැවිනි. අධික වාහන භාවිතය හේතුවෙන් මාර්ග තදබදය හා වායු දූෂණය, ශබ්ද දූෂණය ආදිය ද ඉහළ ගොස් තිබේ. සරලවම කිවහොත්, පොදු ප්‍රවාහනය යනු ලංකාවේ සෑම තරාතිරමකම ජනතාවගේ මානසික ආතතිය වැඩිකිරීමට ඉවහල්වන කරුණකි. එය නොතේරෙන්නේ පොලිසියෙන් එස්කොට් දමාගෙන, සයිරන් හඬවමින්, හසාඩ් ලයිට් දල්වාගෙන, වැරදි පැත්තෙන්, මාර්ග සංඥා ඇතුළු මාර්ග නීති නොතකා වාහන ධාවනය කරන ජනාධිපති, අගමැති, ඇමතිවරුන් වැනි දේශපාලකයන්ට පමණි. ඔවුන්ට බිමින් යන්නට බැරි නම්, මහජන මුදලින් හෙලිකොප්ටර්වලින් ඉගිලෙන්නටත් අවස්ථාව තිබේ.

ආනයන තහනම අවිධිමත් ක්‍රියාමාර්ගයකි. වාහන ආනයනය නතර කිරීම සංචාරක කර්මාන්තය වැනි අංශ ගණනාවක වර්ධනය සඳහා බාධාකාරී වේ. කෙසේ වෙතත්, ලාංකිකයන්ගේ අධි පාරිභෝජනවාදී රථගාය පාලනය කිරීමට යම් නියාමනයක් ද අවශ්‍යය. කෙසේ වෙතත්, දැන් ශ්‍රී ලංකාවට වාහන ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් ද නැත. ඒ නිසා ලාංකික වාහන වෙළඳපොළේ වර්තමානයේ පවතින අධිකතර විකෘතිභාවය තව බොහෝ කාලයක් පවතිනු ඇත.

පුංචි කාරය, ත්‍රිරෝද රථය, යතුරුපැදිය පමණක් නොව පාපැදිය පවා පුංචි මිනිසුන්ට අත්පත් කරගත හැකි සීමාවෙන් ඔබ්බට ගොස් හමාරය. ඉදිරි කාලයේදී වාහනයක් සොරුන්ගෙන් රැකගැනීම ද අභියෝගයක් වනු ඇත. වාහනවලට ඉන්ධන ද හිඟවනු ඇත.

දැන්වත් පොදු ප්‍රවාහනය දියුණු කිරීම සඳහා රජය අවබෝධයකින් යුතුව මැදිහත් විය යුතුව තිබේ. රාජ්‍ය නියාමනය තුළ දුම්රිය සංවර්ධනය සඳහා පෞද්ගලික ආයෝජන ලබාගත යුතුය. ලංගම බස් ධාවනය නවත්වා දමා බස් නියාමනයට යෙදවිය යුතුය. බස් ධාවනය සඳහා සමාගම් පිහිටුවා විධිමත් කාලසටහනකට අනුව ධාවනය සිදුකළ යුතුය. එම සමාගම්වලට ධාවනය සඳහා බස් සැපයීමට සුළු ව්‍යවසායකයන්ට අවස්ථාව ලබාදිය යුතුය.

රුවන්පුර අධිවේගී මාර්ගය වැනි අත්‍යවශ්‍ය නොවන මෙගා සංවර්ධන ව්‍යාපෘති මුල් අදියරේදීම අත්හිටුවා එම අරමුදල් පොදු ප්‍රවාහනය සංවර්ධනය කිරීම සඳහා යෙදවිය යුතුය.

මේ අතර සෝදිසියෙන් සිටින්න. හිටිහැටියේ වාහන බදු අවම කර, ධනවතුන්ට එල්සී විවෘත කරගන්නට ඉඩදී, වහාම යළි බදු වැඩිකර, ආණ්ඩුවේ නායකයන්ටත් කොමිස් ලැබෙන පරිදි තමන්ගේ හිතවතුන්ට අධික ලාභ ලැබෙන ආකාරයට වාහන ආනයනය කරගන්නට ලබාදෙන දූෂණයක් නුදුරු අනාගතයේම බලාපොරොත්තු වන්න. එයින් ඔබට කිසිදු වාසියක් ලැබෙන්නේ නැත.