ISB

බැඳුම්කර සම්බන්ධ කබ්රාල්ගේ අමුතු රෝඩ් මැප් එක

ජනවාරි 16 වැනිදා ගාල්ල හබරාදූව ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස ඉතා වැදගත් හෙළිදරව් කිරීමක් සිදුකළේය. එනම් ජනවාරි 18දා ඩොලර් මිලියන බැඳුම්කර මුදල් ගෙවීමට මහ බැංකු අධිපතිවරයාට හදිසියක් ඇත්තේ රාජපක්ෂ පවුලේ ඥාතීන්ට සිදුවන පාඩුව අවම කර ගැනීමට බවයි. මෙම ඩොලර් මිලියන 500 ආපසු ගෙවනු ලැබුවේ රටේ මිනිසුන්ට ආහාර, ගෑස්, විදුලිය වැනි අර්බුද රැසකට මුහුණදීමට සිදුව තිබියදීය.

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මෙසේ කී බව ලංකා ටෘත් වෙබ් අඩවිය වාර්තා කළේය: “විදේශ ණය බැඳුම්කර ආපසු ගෙවනවා කියලා මහබැංකු අධිපතිවරයා කිව්වා. ඩොලර් මිලියන 500ක්. කවුද ඩොලර් මිලියන 500ක බැදුම්කරවලට සල්ලි ආයෝජනය කළේ. මේ කාරණා හරියට දන්නෙ නෑ මිනිස්සු. ඔවුන් හිතන්නෙ ණය ගෙවන්න ලෑස්ති වෙනවා කියලා. නෑ… ඇත්ත කාරණේ බැඳුම්කරවල ආයෝජනය කරලා තිබෙන්නේ රාජපක්ෂලගේ අජිත් නිවාඩ් කබ්රාල්ලගෙ ඥාතියො, හිතවත්තු, මිත්‍රයෝ. ඒ මිත්‍රයන්ට වැඩි ගාණක් සල්ලි දෙන්න තියන හින්දා තමයි ඔය බැඳුම්කර ඉක්මනින් ගෙවන්නෙ. ලෝකයෙ ඉන්න සෑම ආර්ථික විද්‍යාඥයෙක්ම කියනවා, මේ වෙලාවෙ බැඳුම්කර ගෙවන්න ඕන නෑ බැඳුම්කරවලට ගෙවන්න කල් ඉල්ලන්න. ලෝකයේ සෑම රටක්ම මේ වගේ ආපදා අවස්ථාවක ණය ගෙවන්න කල් ඉල්ලනවා. දේශපාලනිකව මිනිස්සු මෝඩයො කරලා අඳබාලයො කරලා මිනිස්සුන්ගෙ ඇස් බන්දලා මිනිස්සුන්ට කියනවා අපි ණය ගෙව්වා කියලා. නෑ… එහෙම වෙලා නෑ.”

2021 ඔක්තෝබර් 01දා “6-month Road Map for Ensuring Macroeconomic and Financial System Stability” නමින් වාර්තාවක් ඉදිරිපත් කරමින් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පැවසූ කාරණයක් වන්නේ 2022 ජනවාරි හා ජුලි මාසවල කල්පිරෙන බැඳුම්කර ආපසු මිලදීගැනීමේ හැකියාව ශ්‍රී ලංකා මහබැංකුව සොයාබලනු ඇති බවයි.

2021 සැප්තැම්බර් 24 වන විට 2022 ජනවාරි කල්පිරෙන බැඳුම්කර සම්බන්ධයෙන් ද්විතීයක වෙළඳපොළේ පැවති yield level වූයේ 69%කි. ශ්‍රී ලංකා මහබැංකුවේ මෙම ප්‍රකාශයෙන් පසු 2021 ඔක්තෝබර් 10 වන විට yield level 40% දක්වා පහත බැස තිබිණි.

රටක් ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් පවතින අවදානම ඉහළ යනවිට ද්විතීයක වෙළඳපොළේ yield level ඉහළ යයි. ණය ආපසු ගෙවීම සම්බන්ධ අවදානම අවම වන විට yield level පහළ බසියි.

2021 ඔක්තෝබර් 10දා නිවේදනයක් නිකුත් කරමින් මහබැංකුව පැවසුවේ එම බැඳුම්කර ආපසු මිලදී ගැනීමක් සිදුකළ නොහැකි බවයි. සැප්තැම්බර් මාසය වන විට එම බැඳුම්කර ද්විතීයක වෙළඳපොළේ අලෙවි වෙමින් තිබුණේ වට්ටම් සහිත මිලකටය. එහෙත්, ඔක්තෝබර් 10 වන විට ද්විතීයක වෙළඳපොළේ එම බැඳුම්කර වට්ටම් සහිත මිලකට අලෙවි කිරීම සිදුවූයේ 5%ක් පමණ ප්‍රමාණයක් බව ද ඒවා මිලදීගැනීමෙන් ඒවා නිකුත් කරන ලද ශ්‍රී ලංකා මහබැංකුවට සැලකියයුතු වාසියක් ලබාගැනීමේ හැකියාවක් නොතිබුණු බව ද මහබැංකුව නිවේදනය කළේය. එම නිවේදනය මෙතැනින්

මහබැංකුවට ඕනෑ නම් වැඩි සද්දයක් නොදමා මෙම බැඳුම්කර ආපසු මිලදී ගැනීමේ හැකියාව තිබුණේ නැද්ද? එසේ නොකළේ ඇයි? මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස කියන පරිදි මෙම බැඳුම්කර කෙසේ හෝ ආපසු ගෙවන්නට ආණ්ඩුවට උවමනා වූයේ ඒවා හිමිකරගෙන තිබුණේ රාජපක්ෂ පවුලේ හා අජිත් නිවාඩ් කබ්රාල් වැනි අයගේ හිතවතුන් නිසාද?

ඩොලර් සීයේ මුහුණත් වටිනාකමක් සහිත මෙම බැඳුම්කර ද්විතීයක වෙළඳපොළේ 2020 මැයි මාසයේ ඩොලර් 53.50ක් තරම් අඩු මිලට අලෙවි විය.

රූපයේ ඊතලවලින් දැක්වෙන්නේ 2022 ජනවාරි 18 කල්පිරුණු බැඳුම්කරවල yield level පහළ වැටුණු ආකාරයයි.

අජිත් නිවාඩ් කබ්රාල්ගේ සැබෑ රෝඩ් මැප් එක කුමක්ද?

ජනවාරි 18දා කල්පිරුණු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කරනු ලැබුවේ 2016 වර්ෂයේය. එහි වාර්ෂික පොළිය 5.75%කි. මෙම පොලිය වසරකට දෙවරක් ගෙවනු ලබන අතර කල්පිරීමේදී මුහුණත වටිනාකම වන ඩොලර් 100 සමග අර්ධ වාර්ෂික පොළිය වන ඩොලර් තුනකට ආසන්න මුදලක් හිමිවේ.

බැඳුම්කර පිළිබඳ කරුණු පැහැදිලි කරන ලිපියක් මෙතැනින්