කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පෙනෙන නෙළුම් කුලුන

නෙළුම් කුලුනෙනුත් කෙළියා ද?

ජනාධිපති මෛත්‍රීපාල දක්ෂ කථිකයෙකි. ගමෙන් නගරයට සංක්‍රමණය වී ධනවතුන් හා බලවතුන් වූ බොහෝ අය තුළ දක්නට ලැබෙන කුහකත්වයෙන් පිරිපුන් දේශපාලකයෙකි. ග්‍රාමසේවක තනතුරේ සිට ජනාධිපති පදවිය දක්වා නැගී සිටින්නට ඔහුට අත දුන් බොහෝ අය දැන් ඔහුගේ පරම හතුරෝ ය. ආසන්න ම පරම හතුරා වන්නේ ඔහුට ජනාධිපති පදවියට පත්වන්නට මූලික වගකීම ඉටු කළ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ය. එම බද්ධ වෛරයට හේතුව අභිරහසකි.

Translations by Creative Content Consultants

ඊයේ ඔහු නෙළුම් කුලුන විවෘත කරමින් බෝම්බයක් පත්තු කළේ ය. අලුත උපන් දවසේ පැටවුන් සේ දූෂණයෙන් තොර විනයගරුක රටක් ගැන කතා කරන රාජපක්ෂ පවුලේ හා ඔවුන්ගේ අනුගාමිකයන්ගේ ඊනියා මෙගා සංවර්ධන මායාවන්ගේ කඩතුරා පමණක් නොව සොරුන්ගේ රෙදි පවා ගලවා දමන්නට එය සමත් විය.

2012දී රජය, විදුලි සංදේශ නියාමන කොමිෂම, චීනයේ එක්සිම් බැංකුව සහ චීන සමාගම් දෙකක් සමග එළඹුණු ත්‍රෛපාක්ෂික ගිවිසුමකට අනුව, ශ්‍රී ලංකා රජය විසින් අත්තිකාරමක් ලෙස ALIT නම් සමාගමකට රු. බිලියන දෙකක අත්තිකාරමක් ගෙවන ලද බවත්, 2016දී සොයාබලන විට එම සමාගම අතුරුදහන් වී ඇති බව සොයාගත් බවත් ජනාධිපතිවරයා පැවසී ය. “අපි පරීක්ෂණයක් ආරම්භ කළා. චීන තානාපති කරුණාසේන කොඩිතුවක්කුට නිල වශයෙනුත්, මා පෞද්ගලිකවත් කිව්වා සොයාබලන්න. එවැනි සමාගමක් ලොව කොහේවත් නැහැ. චීන තානාපතිටත් දැනුම් දුන්නා. එය බීජිං ලිපිනයක්. එම ස්ථානයේ සමාගමක් නැහැ.”

නෙළුම් කුලුන ඉදිකිරීමට තක්සේරුව රු. බිලියන 16කි. චීනයෙන් ණයක් ලෙස ලැබුණේ රු. බිලියන 12කි. 2017දි ගෙවීම් නැවතු අතර එයට හේතුව ඉහත වංචාව බව ද ජනාධිපතිවරයා පැවසීය.

“කුලුන හැදුවෙ මේ රටේ සල්ලිවලින්. අවුරුද්දට මිලියන් 2400ක් එක්සිම් බැංකුවට ගෙවන්න ඕනැ. 2019 වන විට මිලියන් 1200ක් ගෙවා තිබෙනවා. අවුරුදු 10ක් ගෙවන්නට වෙනවා. නෙළුම් කුලුන සම්පූර්ණ කිරීමට තවත් රු. බිලියන තුනක් හෙවත් රු. කෝටි 300ක් අවශ්‍යයි. මාස දෙක තුනකට සැරයක් විදුලි සංදේශ නියාමන කොමිසම භාණ්ඩාගාරයට සල්ලි දෙනවා. මේ මුදල් රජයේ සේවකයන්ට පඩි ගෙවන්නට, සේවාවන්ට, සංවර්ධනයට තියෙන සල්ලි. දකින සුන්දරත්වය, භාග්‍යය තුළ අපට තිබෙන අභියෝගත් තේරුම් ගත යුතුයි.”

රජයේ සේවයේ තරම ගැන අපූරු සම්මානයකුත් දෙමින් රජයට මෙම ස්ථානය කළමනාකරනය කළ නොහැකි නිසා රජයට අයත් සමාගමක් ඒ වෙනුවෙන් පිහිටුවන බව ද ජනාධිපතිවරයා පැවසී ය.

මේ සමග වහා කලබල වූ, මෙම වංචාව සිදුවන වකවානුවේ විදුලි සංදේශ නියාමන කොමිසමේ‍ අධ්‍යක්ෂ ජනරාල්ව සිට, රුපියල් කෝටි 60ක් කොමිසමට අලාභ කරමින්, මහින්ද රාජපක්ෂගේ ඡන්ද කැම්පේන් සඳහා සිල්රෙදි බෙදා දී බරපතල වැඩ සහිතව අවුරුදු තුනක් හිරේ ගිය, වන්දි ගෙවීමටත් නියම වූ, දැන් අභියාචනා කර ඇප පිට සිටින අනුෂ පැල්පිට නිවේදනයක් නිකුත් කරමින් පහත දැක්වෙන ඡායාරූපය ප්‍රසිද්ධ කළේ ය.

“නෙළුම් කුළුණ විවෘත කිරීමේදී ජනාධිපතිතුමා විසින් බිලියන 2 ක අත්තිකාරම් මුදලක් ALIT සමාගමට ගෙවා ඇතත් එවැනි සමාගමක් චීන නොමැතිබව නිවැරදි තොරතුරු ලබා ගැනීමකින් තොරව ප්‍රකාශ කර ඇති බව පැහැදිලි වේ. නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග චීන සමාගම් දෙකක් ඒකාබද්ධ වී කටයුතු කරන ලදී එම සමාගම් දෙක නම්, National Electronics Import and Export Corporation (CEIEC) සහ Aerospace Longmarch International Trading Company (ALIT). සමාගම් දෙකට ඉදිකිරීම සඳහා 2010 ඔක්තෝම්බර් 29 වෙනි දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.. නෙළුම් කුලුනේ ඉදිකිරීම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා චීනයට ගිය අවස්ථා කිහිපයකදීම ALIT සමාගමේ සභාපතිවරයා ඇතුළු සමාගමේ අනිකුත් සාමාජිකයන් සමග මොරටු විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් ද ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයන්ට සාකච්ඡා කර ඇත. මේ පිළිබඳ සියලු දත්ත විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සතුව ඇති බව මම දනිමි. එහි නිලධාරීන් විසින් මෙය නිවැරදි කළ යුතුව ඇත. ALIT සමාගමේ සභාපතිවරයා ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති එවකට අධ්‍යාපනඅමාත්‍යාංශ ලේකම්. ගෝඨාභය ජයරත්න මහතා සමඟ චීනයේ බීජිං නුවර ALIT ප්‍රධාන කාර්යාල තුළදී සාකච්ඡා කරන අවස්ථාවේ ගත් ඡායාරූපයක් ද මෙහි පළ කර ඇත.” – අනුෂ පැල්පිට

විදුලි සංදේශ නියාමන කොමිසමේ වර්තමාන සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සොහොයුරා වන සිරිසේන කුමාසිංහ ය.

මේ සම්බන්ධයෙන් අපට කීමට ඇත්තේ එක දෙයකි. නෙළුම් කුලුන සංවර්ධන ප්‍රමුඛතාවක් නොවේ. රාජපක්ෂ රජය මේවා හදන්නට මුලපිරුවේ ඔය නැති වුණ රු. බිලියන දෙක වැනි හේතු නිසා ය. එහෙත්, එය සංචාරක කර්මාන්තය සඳහා වටිනා යටිතල පහසුකමක් ලෙස දැන් සැලකිය හැකි ය. ඒ නිසා ඉතිරි මුදල ද වැය කර එය සම්පූර්ණ කළ යුතු ය.

ඒ අතර, ජනාධිපතිවරයා කියන මේ සොරකම ගැන වහා විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු ය. අනුෂ පැල්පිට, ගෝඨාභය ජයරත්න වැනි අයගෙන් ප්‍රශ්න කළ යුතු ය. එසේම, මෙවැනි වංචාවක් පිළිබඳ දැනුවත්ව සිටිමින් ඒ පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදුකිරීමට අවශ්‍ය පියවර නොගත් ජනාධිපතිවරයා ද මේ සම්බන්ධයෙන් වගකිව යුතු ය.

(ඡායාරූපය: කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පෙනෙන නෙළුම් කුලුන – Praja.lk)