GalleFace

ආර්ථික ප්‍රතිසංස්කරණවලට එරෙහි බොරු තර්ක

සී ජේ අමරතුංග

අද මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන සාකච්ඡාව බොහෝ දුරට සිදුවන්නේ ප්‍රායෝගික වශයෙන් හඳුනාගත් ප්‍රශ්න සහ ඒවාට පිළියම් යෝජනා ආකාරයෙනි. එමෙන් ම අනෙක් අතින් සාකච්ඡාවට ලක්ව ඇත්තේ ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ බෙදීයාමේ පවතින විෂමතා අවම කිරීම සහ වත්මන් අර්බුදය තුළ විශාල ලෙස පීඩාවට ලක්වන අඩු ආදායම් ලබන ජන කොටස් සඳහා ආරක්ෂණ ජාලයක් පිළිබඳව ය.

මෙම ප්‍රශ්න පිලිබඳ ප්‍රායෝගික මට්ටමේ සාකච්ඡාව එක තලයක පවතිද්දී ඇතැම් වාමාංශික සහ ජාතිකවාදී පිරිස් එයට ප්‍රහාර එල්ල කිරීමට  තමන්ගේ එල්බගත් මතවාද මත පදනම් වන බව පෙනෙන්නට තිබේ. ඒවා බොහෝ විට පදනම් වී ඇත්තේ හිතලු සහ ඇතැම් විට අසත්‍ය තර්ක මත බව ද  පෙනෙන්නට තිබෙන කරුණකි.

මෙහි දී බොහෝ විට සිදු වන්නේ ආර්ථික ප්‍රතිසංස්කරණ ‘නව ලිබරල්’ කියා නම් කොට ඒ පිළිබඳව තමන්ගේ හිතලු සහ මිථ්‍යා මත පිහිටා ප්‍රහාර එල්ල කිරීම යි.

මොන ලේබලය ඇලෙව්වත් මෙම ප්‍රතිසංස්කරණ දැන් කළ යුතුව ඇත. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම තවත් කල් දැමිය නොහැකි ය. ඒවා ජනතාවට දරන්නට බැරි බරකි. රජය කුඩා කළ යුතු ය. වෙළෙඳපොළ නිදහස් කොට තරඟකාරී කළ යුතු ය. මෙම ප්‍රතිසංස්කරණ නොමැතිව අද මේ රටේ අර්බුදයට විසඳුම් සෙවීම හෝ රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැගීම හෝ කළ නොහැකි ය. මෙය මහ  පොළොවේ යථාර්ථය යි.

මිථ්‍යාදෘෂ්ටික වාමාංශිකයින් කරන්නේ “ඔය නම් නව ලිබරල්වාදය යි. ඕක හරියන්නේ නැත” කීම පමණකි. කරුණු දැක්වීමක් හෝ විකල්පයක් ඉදිරිපත් කිරීමක් හෝ නැත. එයට ඇත්ත හේතුව නම් මොවුන් තවමත් සිටින්නේ සෝවියට්  වර්ගයේ සමාජවාදී ආර්ථික සිහිනයක වීම යි. ඒක කෙලින් කියා ගන්න ද බැරි ය. ඒ එය ජනතාවට පීඩාකාරී ක්‍රමයක් බව දැන් බොහෝ දෙනා දන්නා නිසා ය. 

කෙසේ වෙතත්, එම මතවාදයේ සිට කරන විග්‍රහයේ දී අතාර්කික වීම සහ ඇතැම් මිථ්‍යාවන් ගොඩනගා ගැනීමක් ද  සිදුවෙයි.

මෙය තේරුම් ගැනීමේ දී ‘ප්‍රෑන්ක්ෆර්ට් පාසැල’ නැතහොත්  ‘ප්‍රෑන්ක්ෆර්ට් ගුරුකුලය’ ලෙස හඳුන්වන මාක්ස්වාදී විද්වතුන්ගේ අදහසක් වැදගත් වේ යැයි සිතමි. ජර්මනියේ ප්‍රෑන්ක්ෆර්ට් විශ්ව විද්‍යාලයෙන් ඇරඹුණු මෙම කණ්ඩායම ලෝක යුද්ධ සමයේ ඇමෙරිකාවට සංක්‍රමණය වුහ. තියඩෝ අඩොනෝ , මැක් හොක්හයිමර් , හර්බට් මාකියුසේ ඇතුළු විද්වතුන් ගණනාවක් මෙයට සම්බන්ධව සිටියහ.

ධනවාදී ක්‍රමය ගැන මාක්ස් ගේ ඇතැම් ධනාත්මක අදහස් සේ ම, සමාජවාදයේ අනිවාර්ය බව, නිර්ධන පන්ති විප්ලවය ආදී අදහස්  ද ප්‍රතික්ෂේප කළ මොවුහු  මාක්ස්වාදය සමග  මනෝ විද්‍යාව සහ සමාජ විද්‍යාව තම විග්‍රහයන් සඳහා විවේචනාත්මක ලෙස යොදාගත් කණ්ඩායමක් වුහ..

සමාජය පිලිබඳ ඔවුන්ගේ විවේචනයේ දී අවධානයට ලක් කළ කරුණක් වුයේ නිදහස් මිහිසුන් නොසිටීම යි. නිදහස් මිනිසෙකු කියා ඔවුන් කීවේ යම්කිසි අදහසක් යම් කරුණු සමග ඉදිරිපත් කළ විට එම කරුණුවල සත්‍ය අසත්‍යතාවය මත පදනම්ව තීරණයකට පැමිණිය හැකි අයෙකි. ඔවුන්ට අනුව මේ සමාජයේ එබඳු අය විරල ය. සිටින්නේ දැනටමත් යම් අදහසක්, මතවාදයක් දරන උදවිය යි. ඔවුන් කරන්නේ තමන් ඉදිරියට එන අදහස් තමන්ගේ මතවාදය අනුව විග්‍රහ කර ගැනීම යි.තමන් විසින් ගොඩ නගා ගන්නා සංකල්ප සහ හැඟීම් මත ප්‍රතිචාර දැක්වීම යි.  කරුණු මත තීරණයකට එළඹීම එහි දී සිදුවන්නේ නැත.

නව ලිබරල්වාදය ගැන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන වමේ ජනප්‍රිය මතය ගොඩ නැගෙන්නේ ද ඒ ආකාරයෙනි. නව ලිබරල් ප්‍රතිසංස්කරණ ප්‍රබල ලෙස ක්‍රියාවට නැගුවේ බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර් සහ ඇමෙරිකාවේ රොනල්ඩ් රේගන් විසිනි. දෙදෙනා ම සෝවියට් සමාජවාදයේ හතුරෝ වෙති. එබැවින් ඔවුන් සහ ඔවුන්ගේ දර්ශනය ද වාමාංශිකයින් දුටුවේ ප්‍රතිගාමීත්වය වශයෙනි. සියලු විවේචන ගොඩ නැගෙන්නේ එම සන්දර්භයෙනි.

කෙසේ වෙතත්, ඇත්ත ප්‍රතිගාමීත්වය තිබුණේ අනෙක් පැත්තේ ය. සෝවියට් සමාජවාදය තුළ ය. ලෝකයේ සංවර්ධනයට තිබු ප්‍රධාන බාධාව එය යි.

1933 තරම් ඈත කාලයේ ම ඒ බව දුටු මාක්ස්වාදී න්‍යායාචාර්ය කාල් කෞට්ස්කි කීවේ ලෝක සමාජවාදයට විශාල ම තර්ජනය සෝවියට් දේශය බිඳ වැටීම නොව එය දිගට ම පැවතීම බව යි. මහාචාර්ය නෝම් චෝම්ස්කිගේ මතය නම් සෝවියට් ක්‍රමය බිඳ වැටීම ලෝක සමාජවාදීන්ගේ ජයග්‍රහණයක් බව යි.

එම සමාජවාදයේ සන්දර්භයෙන් නව ලිබරල්වාදයට එරෙහිව බිහිවන විවේචනය බොරු සහ මිථ්‍යාවන්ගෙන් ගහන ය. ඒ නිසාම එය නව ලිබරල්වාදය පිලිබඳ යථාර්ථවාදී විවේචනයකට බාධාවකි.

එබඳු එක විවේචනයක් නම් ඉහළ ආදායම්ලාභීන්ට බදු සහන දුන් විට එහි ප්‍රතිලාභ සමාජයේ පහළ පන්තිවලට ගලා යන බව නව ලිබරල්වාදීන් කියන බව යි. එය හඳුන්වන්නේ පහළට ගලා යාමේ (Trickle down) න්‍යාය වශයෙනි. පහර ගහන්නේ එම න්‍යායට යි. එසේවුව ද, නව ලිබරල් අදහස්වල නුතන ප්‍රකාශකයකු බව කිව හැකි මහාචාර්ය තෝමස් සොවෙල් මේ ගැන ලිපියක් ලියමින් කියන්නේ එබඳු න්‍යායයක් කිසිදු ආර්ථික විද්‍යාඥයකු විසින් ඉදිරිපත් කොට නැති බව යි. මෙයින් පෙනෙන්නේ වාමාංශිකයින් පහර දෙන්නේ තමන් විසින් ම නිර්මාණය කොට නව ලිබරල්වාදය මත පටවන ලද න්‍යායකට බව ය. මිථ්‍යාවේ තරම එයින් පෙන්නුම් කරයි.

නව ලිබරල්වාදය සැලසුම්කරණයට විරුද්ධය යන්න තවත් ප්‍රවාදයකි. නමුත් ඔවුන් කියන්නේ ඉතා සාර්ථක සැලසුම්කරණය නම් වෙළෙඳපොළ සැලසුම් කිරීම බව යි. එම සැලසුම්කරණය රාජ්‍ය ආධිපත්‍යයට ලක් කළ තරමට මහජනයාට තම සැලසුම්කරණය අපහසු වන බව ඔවුහු කියති. මෙරට සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ අත්දැකීම් පෙන්නුම් කරන්නේ එම අදහසේ සත්‍යතාවය යි.

මේවා නිදසුන් පමණකි. අනෙක් මිථ්‍යාවන් ගැන අදහසක් ඇති කර ගැනීමට මේ ප්‍රමාණවත් ය..

ඊළඟ ප්‍රශ්නය සියලු ආර්ථික ප්‍රතිසංස්කරණවලට එරෙහි ව මෙම ලේබලය සහ ඒ සමග බැඳුනු මිථ්‍යා ප්‍රබන්ධ යොදා ගැනීම යි.

අද ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ සමග ඉහළ ආදායම් ලාභීන් සඳහා බදු වැඩිකර ඇති බවත්, අඩු අදායම් ලාභීන් සඳහා සහනාධාර වැඩිකර ඇති බවත් ප්‍රකට කරුණකි.  එසේ වුව ද, මෙම ප්‍රතිසංස්කරණ ද මිථ්‍යාදෘෂ්ටික වාමාංශිකයින්ට පෙනෙන්නේ ‘නව ලිබරල්’ වශයෙනි.

මෙලෙස මිථ්‍යාව වැපිරීම සමාජ ප්‍රගමනයට බලවත් හානියකි.  

(2022 දෙසැම්බර් 4 අනිද්දා සමබිම අතිරේකයෙහි පළ විය.)