Booli

බූලි ආර්ථිකය

අජිත් පැරකුම් ජයසිංහ

මේ දවස්වල රටේ ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම බූලි සමග සම්බන්ධය.

පිරිසක් බූලි රැගෙන පෝලිමේ යති.

නැතිනම් වාහන රැගෙන පෝලිමේ ගොස් ඉන් පසු ඒ තෙල් බූලිවලට පුරවාගෙන නැවත පෝලිමට එක්වෙති.

බූලිවලට තෙල් පුරවාගත් ඇතැමෙක් ඒවා වැඩි මිලට ද්විතීයක වෙළඳපොළේ විකුණති.

ද්විතීයක වෙළඳපොළේ විකුණන්නේ නැතත්, පෙට්‍රල් ගබඩා කර තබාගැනීම ඉතිරිකිරීමේ ගිනුමක මුදල් දැමීම වැනි දෙයකි. නිරන්තරයෙන් මිල වැඩිවන නිසා ලාභයක් ලැබේ.

පෙට්‍රල් වැනි ඉන්ධන ගෙවල්වල තබාගැනීම හා වාහනයේ බූලිවල රැගෙන යාම අවදානම් බව වැඩිදෙනෙකු තකන්නේ නැත. හදිසි අනතුරක් සිදුවුවහොත්, වාහනය ක්ෂණිකව දැවී යාමේ අවදානමක් බූලි නිසා ඇතිවේ. එවැනි අවස්ථාවලදී රක්ෂණාවරණයක්වත් නොලැබේ.

බූලි යනු සංස්කෘතික ප්‍රශ්නයකි. මේ දිනවල හැමෝම කතාකරන්නේ පවා ඉන්ධන ගැනය. ගෙදර ඉන්ධන ගබඩා කරගෙන සිටින අය, පෝලිම්ට පිටින් ඉන්ධන ගසාගත හැකි අය අතිශය උද්දාමයට පත්වෙති.

ඉන්ධන නැති අය දුක්වෙති.

ඉන්ධන සෙවීම සඳහා ද පෝලිම්වල යාම සඳහා ද සෑහෙන ඉන්ධන ප්‍රමාණයක් නාස්ති වේ.

රටේ ශ්‍රම බලකායේ විශාල පිරිසක් ඉන්ධන පෝලිම්වල කාලය කාදමති. වැඩ නොකරති.

මේ අතර, පොදු ප්‍රවාහනයේ තදබදයේ වැඩිවීමක් නැත.

බූලි ආර්ථිකයෙන් මිදෙන්නට නම්, මේ රටේ ඉන්ධන සුලබ විය යුතුය. ඉන්ධන සුලබ වන්නට නම් ඩොලර් තිබිය යුතුය. ඩොලර් උපයන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන්නට ද ඉන්ධන අවශ්‍යය.

එහෙත්, ඉන්ධන සුලබ වන විට මිනිස්සු ඉන්ධන නාස්තිය ද කරති.

ඉන්ධන නාස්තිය අවම කරන්නට නම්, ඉන්ධන මිල වැඩිවිය යුතුය. රජය ඉන්ධනවලින් බදු අයකිරීම අත්‍යවශ්‍යය. එසේම, ආනයන මිලට අඩුවෙන් කිසිසේත්ම ඉන්ධන විකිණීම අනවශ්‍යය.

ආනයනික ඉන්ධන මෙරට විකුණන බයිං ඇන් සෙලිං ව්‍යාපාරයකින් තෙල් සංස්ථාව පාඩු ලැබීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකිය. තෙල් සංස්ථාවේ දූෂණ, සේවක අතිරික්ත ප්‍රශ්නය, බව්සර් ජාවාරම් ආදිය අවසන් කළ යුතුය.

ඉන්ධන වෙළඳපොළ තවදුරටත් නිදහස් කළ යුතුය. තව තවත් සැපයුම්කරුවන්ට ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට අවස්ථාව ලබාදිය යුතුය.

ඉන්ධන මිල සූත්‍රයක් ක්‍රියාත්මක කළ යුතුය. එහෙත්, එහිදී මෙහෙයුම් වියදම් ගණනය කළ යුත්තේ තෙල් සංස්ථාවේ නාස්තියට ගැලපෙන අන්දමින් නොව, ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුවය. තෙල් සංස්ථාවේ පාඩු මහජනයා පිට නොපැටවිය යුතුය.