IMF-staff-level-agreement

අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk

කලින් ප්‍රකාශ කළ නොහැකි යෝජනා කිහිපයක් තිබෙන නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකා රජය ඇතිකරගත් කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම ප්‍රසිද්ධ කිරීමේ තීරණය ගත යුත්තේ මුදල් ඇමතිවරයා බව කතානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. බදු සංවේදී කාරණා ඇතුළත්වීම ඊට හේතුවයි. ඒ සමගි ජන බලවේගයේ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙසයි. සජබ මේ අවස්ථාවේ කටයුතු කරන ආකාරය තුළ යම් කඩාකප්පල්කාරී උවමනාවක් ඇතැයි සිතිය හැකි ලක්ෂණ තිබෙනවා.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය අනුව තීරණ ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. රාජ්‍යය සම්බන්ධ සියලුම දේ සියලු දෙනාගේ සහභාගීත්වයෙන් තීරණය කරන්න බැහැ. ඇතැම් තීරණ, තීන්දු ගැනීම සඳහා රාජ්‍යය තුළ නිශ්චිත ව්‍යූහයන් නිර්මාණය කරලා තියෙනවා. උදාහරණයක් විදියට අපරාධකරුවෙකුට දෙන දඬුවම තීරණය කරන්නෙ මහජනතාව එකතු වෙලා නෙමෙයි. සමහර විට, රාජ්‍යය වෙනුවෙන් ඒ තීරණය ගන්නේ එක් මහාධිකරණ විනිසුරුවරයෙකු වෙන්නට පුළුවන්. මරණ දඬුවම ක්‍රියාත්මක කරන ආකාරය තීරණය කරන්නෙ සමස්ත මහජනතාව එකතු වෙලා නෙමෙයි. ජනාධිපතිවරයා විතරයි ඒක තීරණය කරන්නෙ. ඒ සියල්ල ප්‍රජාතන්ත්‍රවාදීයි. ප්‍රජාතන්ත්‍රවාදය සංකල්පීය දෙයක් විතරක් නෙමෙයි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි දෙයක් විය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය උගුලක් විය යුතු නැහැ.

තවත් උදාහරණයකින් පැහැදිලි කළොත්, යුද්ධයකදී යුද සැලසුම් මහජනතාවට බලපාන මූලික ප්‍රධාන දෙයක්. ඒත්, එහෙමය කියලා ඒවා ප්‍රසිද්ධ කරන්නෙ නැහැ. ඇමරිකාව බින් ලාඩන්ට ගහන විදිය කලින් ප්‍රසිද්ධ කළා නම් බින් ලාඩන්ට ගහන්න වෙන්නෙ නැහැ.

ආර්ථිකය සම්බන්ධයෙනුත් එහෙමයි. ඇතැම් කාරණා කල්තබා ප්‍රසිද්ධ කළාම ඒ උපායමාර්ගයන් සාර්ථක කරගන්න බැහැ. විශේෂයෙන්ම බදු පනවන හැටි කල්තබා ප්‍රසිද්ධ කරන එකෙන් වෙන්නෙ අගතියක්. රටක ජනතාව විසින් පත්කරගෙන ඉන්න ආණ්ඩුව හා රාජ්‍ය නිලධාරීන්ව එතනදී විශ්වාස කරන්නට මහජනතාවට සිදුවෙනවා. රටක නායකයන්ව හා නිලධාරීන්ව විශ්වාස කරන එකේ වරද මොකක්ද? ඒ විශ්වාසය කඩ නොකිරීම ඔවුන්ගේ පත්වීමේ මූලික කොන්දේසියක්. ඒ විතරක් නෙමෙයි, එහෙම කළොත් ඔවුන්ට දඬුවම් කරන්නටත් පුළුවන්.

රාජ්‍ය නායකයන් හා නිලධාරීන් එහෙම විශ්වාස කරන්නට ජනතාව සූදානම් නැතිනම් එතන ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කොන්දේසියක් නැහැ. ඒක රාජ්‍ය අර්බුදයක්. ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදයක්. ඒ කියන්නේ, එතන තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයක් නෙමෙයි, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අභිලාෂයක් විතරයි.

ප්‍රජාතන්ත්‍රවාදය වුණත් ගොඩනගන්නට සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදීවම නොවෙයි. කිසිම දේක පරම තත්වයක් නැහැ. සාපේක්ෂවයි සැලකිල්ලට ගන්නට ඕනැ.

මහජනතාවට මෙයට අධිකරණය හරහා අභියෝග කරන්නටත් පුළුවන්. එතනදී තීරණ ගන්නෙත් සමස්ත මහජනතාව නෙමෙයි. තනි විනිශ්චයකාරවරයෙක්. කෙසේ වෙතත්, ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය වෙනම බලයන් තුනක් නිසා අධිකරණයට බැහැ ව්‍යවස්ථාදායකයේ බලය අභිභවා යන්නට.

සමගි ජන බලවේගය මෙම ගිවිසුම හෙළිදරව් කරන්නැයි කරන බලපෑමට පාර්ලිමේන්තුව හරහාම ප්‍රජාතාන්ත්‍රික විසඳුමක් සොයන්නට පුළුවන්. ආර්ථිකය සම්බන්ධ රාජ්‍ය රහස් අඩංගු එම ලේඛනය සම්බන්ධයෙන් වගකීම කැබිනට් මණ්ඩලය විසින් භාරගනිමින් එය ප්‍රසිද්ධ නොකළ යුතු බවට යෝජනාවක් පාර්ලිමේන්තුවේම සම්මත කරගන්නට පුළුවන්.

රාජ්‍ය බලය හා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ එකක් නෙමෙයි, දෙකක්. බලයයි ප්‍රජාතන්ත්‍රවාදයයි හැම තිස්සෙම එකට යන්නෙ නැහැ. ඒ දෙක අතරෙ ප්‍රතිවිරෝධයක් තමයි තියෙන්නෙ.

1 thought on “බලය, ප්‍රජාතන්ත්‍රවාදය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාව

  1. ඉංග්‍රීසින් රටින් බැහැරව යද්දී ඔවුන් මේ භූමිය මත ඉදි කළ කිසිවක් ආපසු ගෙන ගියේ නැත. රාජ්‍ය පාලනය භාරගත් මෙරට නායකයන්ට පැවරී තිබුණේ එතැන් සිට ඉදිරියට රට ප්‍රගතිය කරා මෙහෙයවීමය.

    බි්‍රතාන්‍ය යටත් විජිතයක්ව පැවැති ශ්‍රී ලංකාව ණය නැති රාජ්‍යයකි. පුරවැසියන්ගේ ජීවන තත්ත්වය රැකී තිබුණු අතර ලෝකයට අතනොපා ජීවත් වන්නට හැකි රටක පුරවැසියන් ලෙස ආඩම්බරයක් අපට තිබිණි. ඊනියා නිදහස යනුවෙන් පට්ට ගැසූ නිදහස යටතේ ණය නැති ජාතියක් වූ ලංකාව අද ලෝකයේ බංකොලොත් රාජ්‍ය අතර පෙරමුණෙහි සිටී. බහුතරයක් ජනතාව පසුවන්නේ සාදුකිනි. අවසානයේ බලන විට අපට බරපතළම අනර්ථය සිදුකර ඇත්තේ අපේ නායකයන්ය. එළිසබෙත් රැජිනගේ අභාවය ගැන මෙරට පුරවැසියන් සංවේදී වන්නේ ඒ නිසාය

Leave a Reply to Lakshman Jayasinghe Cancel reply

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: