IMF

අජිත් පැරකුම් ජයසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකමක් (Extended Fund Facility) ලබාගැනීම සඳහා රටවල් විසින් ප්‍රතිපත්ති හැඩගස්වාගැනීමේ ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙනවා. එමගින් වර්තමාන අර්බුදයට හේතු වූ ගැටලු නැවත ඇතිනොවන බව තහවුරු කළ යුතුයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා මගින් සිදුවනුයේ රටේ මූල්‍ය සම්පාදන අවශ්‍යතා මොනවාද යන්න සහ අවශ්‍ය ප්‍රතිපත්තිමය ප්‍රතිචාර මොනවාද යන්න තක්සේරු කිරීමයි. එහිදී අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති තෝරාගැනීම, සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ණය අයදුම් කරන රටට නිදහස තිබෙනවා.

ශ්‍රී ලංකාව අප්‍රේල් මාසයෙන් පසු පසුගිය සමයේ සිටියේ එම ක්‍රියාවලිය ඇතුළේයි. බංකොළොත් තත්වයට පත්වී සිටි, දේශපාලනික වශයෙන් අස්ථාවර තත්වයට පත්වී සිටි ශ්‍රී ලංකාවට එහිදී ගැටලු රැසකට මුහුණදීමට සිදුවුණා. ආර්ථිකය ගොඩගැනීම සඳහා රජයේ තිබෙන කැපවීම සහ තත්වයන් කළමනාකරණය කරගැනීමේ හැකියාව ප්‍රදර්ශනය කළ යුතු වුණා. ණය ගෙවීම පැහැරහැර සිටි ශ්‍රී ලංකා රජය තිරසර අන්දමින් ණය ආපසු ගෙවන ආකාරය පෙන්වාදිය යුතුව තිබුණා. ණය ආපසු නොගෙවන රටකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය දෙන්නේ නැහැ. එසේම, රජයේ ආර්ථික මූලෝපායන් ද පැහැදිලිව ප්‍රදර්ශනය කළ යුතු වුණා. මිල සූත්‍ර හඳුන්වාදීම, බදු පදනම ශක්තිමත් කිරීම, මුදල් මුද්‍රණය කිරීම සීමාකිරීම, දිළිඳු ජනයා සඳහා සහනාධාර සම්පාදනය ආදිය හරහා රජය ඒ සඳහා මුලපිරුවා. පසුගියදා ජනාධිපතිවරයා මුදල් ඇමති ලෙස ඉදිරිපත් කළ අතුරු අයවැය මේ ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා රජයේ කෙටිකාලීන ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙස සැලකිය හැකියි. අවසානයේදී රජය ඒ දුෂ්කර අභියෝගය ජයගත්තා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීම කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අරමුදල් සම්පාදනය කිරීමට පෙර රටක රජයක් විසින් යම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා එකඟ වීමයි. ‘ප්‍රතිපත්තිමය කොන්දේසි සහගතභාවයක්’ කෙරෙහි ඇපකැපවීමයි. 

ණය ඉල්ලීම ඉන්පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලබනවා. එහිදී සිදුවන්නේ එකඟවූ ප්‍රතිපත්තිමය වැඩසටහන ‘අභිලාෂය පළකිරීමේ ලිපියක්’ ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමයි. ඉන්පසු ‘අවබෝධතා ගිවිසුමකට’ එළඹෙන අතර රටේ ප්‍රතිපත්ති අභිලාෂයන් පිළිගන්නා ලෙස සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්පත් වෙත ප්‍රවේශය ලබාදෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් නිර්දේශ කරනවා.  

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම් ලබාදෙන්නේ වාරික වශයෙනි. ඉදිරි වාරික ලබාගැනීම සඳහා ප්‍රගතිය ප්‍රදර්ශනය කළ යුතුයි. වැඩසටහන නිසි ලෙස සිදුවන්නේදැයි තක්සේරු කිරීම සඳහා කාලීනව වැඩසටහන් සමාලෝචන පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාවට දළ වශයෙන් අවුරුද්දකට එක්සත් ජනපද ඩොලර් බිලියන 1.1ක් ණය ලබාගත හැකියි. එය වාර්ෂික විශේෂ ණය ලබාගැනීමේ හිමිකමෙන් (Special Drawing Rights – SDR) 145%ක්. එහි පොළිය 1-3% අතර වෙනවා. එහි ආපසු ගෙවීමේ කාලසීමාව අවුරුදු 4.5-10 අතර වෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකමකින් බලාපොරොත්තු වන්නේ රටක ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීමයි. ඒ සඳහා රජයේ අදායම ඉහළ නංවා ගැනීම, ඉන්ධන සහ විදුලිය පාරිභෝගිකයන්ට ලබා දීම සඳහා රාජ්‍ය ව්‍යවසායන්ට වැය කරන මුදලට සරිලන මුදලක් අය කර ගනිමින් එම රාජ්‍ය ව්‍යවසායන් ඇති කර ඇති අවදානම අවම කිරීම, මිල ස්ථාවරත්වය ඇතිකිරීම, මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කිරීම, ආර්ථික අර්බුදයෙන් දැඩි අවදානමට ලක් වූ සහ දිළිඳු පවුල්වලට එල්ල වන බලපෑම අවම කිරීම, නම්‍යශීලි විනිමය අනුපාත මගින් විදේශ සංචිත ඉහළ නංවා ගැනීම දුෂණය අවම කිරීම හරහා තිරසාර ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම අවශ්‍ය වෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් ආර්ථික විශ්වසනීයත්වය ඇතිකිරීමට ඉවහල් වෙනවා. විශේෂයෙන්ම ණය සම්බන්ධයෙන් විශ්වසනීයත්වය යළි ඇතිකරගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බවත්, ඒ සඳහා කැපකිරීම් කිරීමට රට සූදානම් බවත් එයින් කියැවෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකාවට ද්වි පාර්ශ්වීය හා බහු පාර්ශ්වීය ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට යහපත් පසුබිමක් දැන් නිර්මාණය වී තිබෙනවා.

එසේම, මිත්‍ර රටවලින් ආධාර ලබාගැනීමේ හැකියාව ද දැන් තිබෙනවා.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන ණය මුදල ලැබෙන්නේ ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමෙන් පසුවයි. ඒ මුදල් ප්‍රධාන වශයෙන්ම විදේශ සංචිත ශක්තිමත් කරගැනීම සඳහා යෙදවෙනු ඇති.

1 thought on “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතාව කුමක්ද?

  1. මේ වනවිටත් ශ්‍රී ලංකාවෙන් සෑහෙන කොටසක් ගිල දමා සිටින චීනය අපට කිසිදු ආධාරයක් දුන්නේ නැත. වෙනකක් තබා අපේ රට චීනයට තිබෙන ණය ගෙවා ගැනීමට නොහැකි බවත් එම ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙසත් දන්වන ලද කල්හි චීනය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔවුන්ගේම ණය සහ පොලිය ගෙවීමට අපට තවත් ණය මුදලක් දීමට සූදානම් විය. මෙය ගමේ ගොඩේ පොලී මුදලාලිලා කරන වැඩකි. චීනය සමග දීර්ඝකාලීනව ගනුදෙනුවලට යෑම නිසා මේ වන විටත් බලගතු රටවල් රැසක්ම ශ්‍රී ලංකාව සමග අමනාපයෙන් පසුවෙයි. උදාහරණයක් ලෙස අප චීනය පැත්තට නැමෙනවාට ඉන්දියාව කිසිසේත්ම කැමති නැත. එසේම ඉන්දියාවේ පැත්ත ගෙන සිටින බලවත් රාජ්‍යයද අප සමග විරසකය. ශ්‍රී ලංකාව අගතියට පත්වූ අවස්ථාවේදී චීනය මේ ගැන නිකන්වත් කල්පනා නොකිරීම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ගත්කල ඉතා නරකය. මනුස්සකම පැත්තෙන් ගත්කල හරිම දුෂ්ටය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය දීමට එකඟ වීමත් සමගම ශ්‍රී ලංකාවට දුෂ්කර කාලයක් උදාවනවා ඇත. ජාත්‍යන්තර අරමුදල වැනි සංවිධාන පිට රටවලට ණය දෙන්නේ කා බී ෆන් අරගෙන පිස්සු කෙළින්නට නොවේ. තම ණය ආපසු අයකර ගැනීමේ ක්‍රියාවලියේදී මුදල් ඉතිරි කිරීම සඳහා ආණ්ඩුව මේ මේ ආකාරයට හැසිරිය යුතු බව ඔවුහු යෝජනා කරති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය දෙන්නේ කොටස් වශයෙන් නිසා ආණ්ඩුවේ හැසිරීම නරක වුණොත් ණය මුදලේ ඊළඟ වාරිකය ලැබෙන්නේ නැත. මේ නිසා අප ඉදිරිපිට පවතින්නේ දුෂ්කර සමයකි. දුෂ්කරතා මැද්දේ හෝ ජීවිතය ගැටගසා ගත්තේ නම් ඊළඟ පියවර සඳහා අලුත් යමක් කිරීමට ඕනෑම රටකට පුළුවන. අප මුහුණ දී සිටින්නේද එවැනි තත්ත්වයකටය.

Leave a Reply to Lakshman Jayasinghe Cancel reply

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: