Imported waste of Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ

ශ්‍රී ලංකාවට ආනයනය කර කොළඹ වරාය පරිශ්‍රයේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ හේලීස් සමාගමක ගොඩගසා තිබෙන රෝහල් කසළඅඩංගු බහාලුම් 242ක් එරටටම ප්‍රති අපනයනය කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය ඊයේ මධ්‍යම පරිසර අධිකාරියට නියම කළේය. එසේම, එම බහාලුම් මෙරටට ගෙන්වීමට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ද නීතිපතිවරයාට නියම කරන ලදී.

ශ්‍රී ලංකාවට කසළ ආනයනය කිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කරන ලද පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මේ පිළිබඳ අදහස් දක්වමින් ෆේස්බුක් සටහනක් තබා තිබිණි.

“මේ ප්‍රශ්නය පැන නැගුනු මොහොතේ දහස් ගණනක් සහෝදර ජනතාව හා පරිසරවේදීන් මේකට එරෙහිව හඬ නැගුවා. ආනන්ද සාගර හිමියන් වගේම තවත් පරිසරවේදීන් තොරතුරු සොයල දුන්න. ඒවගේම රජයේ නිලධාරීන් අපත් සමග හිටියා. ඔවුන් සියල්ල නොසිටින්න අපට මෙහෙම නඩුවක් උසාවියට ගෙනියන්න ඉඩ නොතිබෙන්න තිබුන. මම එහෙම කියන්නේ පරිසර අරගල වලට තනි අයිතිකාරයෝ නැහැ කියල මතක් කරන්න. අපි මොනවා කලත් පරිසර අධිකාරියේ , පරිසර අමාත්‍යංශයේ හා රේගුවේ නිලදාරීන් නොසිටින්න මේක කල් ඇදෙන වැඩක්වෙන්න තිබුන. සමහර රටවල් අවුරුදු හතර පහ සටන් කරනවා මේ වගේ බහාලුම් ආපසු යවන්න. බාසල් සම්මුති කාර්යාලය මේ කුණු යවන්න කටයුතු නොකරන්න අපිට මෙහෙම තීන්දුවක් නොලැබෙන්න තිබුන. ඒ නිසා මේ ජයග්‍රහණය එම ආයතන එක්ක බෙදාගන්න ඕන. මම දන්නා නම් වලින් පරිසර අදිකාරියේ අජිත් වීරසුන්දර මෙයට කෙලින්ම දායක වුනු කෙනෙක්. නීතිපති කාර්යාලයේ අයට මේක ලෙහෙසිවුනේ නැහැ. නමුත් රට වෙනුවෙන් වැඩකරපු නිසා ඔවුන් ඒවාට මුහුණදුන්න කියල මට හිතෙනවා. උසාවියේ විනිශ්චයකාරවරු මේ නඩුවේදී කටයුතු කරපු ආකාරය විශිෂ්ටයි කියල මට හිතෙන්නේ නඩුව අහන බොහෝ දිනවල මම උසාවියේ හිටපු නිසා. කොහොමවුනත් ඉතිරි රාජකාරිය තියෙන්නේ රේගු නිලධාරින්ටත්, පරිසර අධිකාරියේ හා අමාත්‍යංශ නිලදාරින්ටත්. මම දන්නා තරමින් කටුනායක තිබුණු අඩි 40 කන්ටේනර් 130 දැන් අඩි 20 කන්ටේනර් 330ක කියල ආරන්චියි. ඔක්කොම ටික නැවට ගෙනියයි කියල හිතමු. ඒ ටිකත් සිදුවෙලා කන්ටේනර් පටවාගෙන නැව ළඟදීම මුහුදේ යනවා බලන්න පුලුවන්වෙයි කියල හිතමු.”

රෝහල්වලින් ඉවත ලූ පාපිසි, මෙට්ට කැබලි වැනි අපද්‍රව්‍ය සහිත මෙම කුණු තොගය ශ්‍රී ලංකාවට රැගෙන ආ හේලීස් ෆ්‍රී සෝන් සමාගම මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර බලපත්‍රයක් ලබාගෙන නොතිබිණි.

2013 ජුලි 11 දින අංක 1818/30 යටතේ නිකුත් කරන ලද ගැසට් පත්‍රය මගින් නීතිගත කරන ලද හබ් ඔපරේෂන් ක්‍රමය යටතේ ප්‍රතිඅපනයනය සඳහා මෙවැනි භාණ්ඩ ගෙන්වීම් පහසුකම් සමාගම්වලට ලැබිණි. එලෙස ප්‍රතිඅපනයනය සඳහා ගෙන එන භාණ්ඩ සියල්ල රේගු නීති රීතිවලින්, ආනයන අපනයන නීතිවලින් සහ විනිමය නීතිවලින් නිදහස් කරනු ලැබූ අතර, රේගුවට මෙම භාණ්ඩ කිසිවක් පරීක්ෂා කළ නොහැකිය. රේගුවට බලය ඇත්තේ මෙම කන්ටේනර්වල ඇති සීල් එක පරීක්ෂා කිරීමට පමණක් බව සමස්ත ලංකා රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඇන්ටන් ප්‍රියශාන්ත පසුගිය වසරේ මාධ්‍යවලට පැවසීය.

මෙම අපද්‍රව්‍ය තොගය ආනයනය කිරීම, ඒවා වරායෙන් නිදහස් කරගැනීම හා ප්‍රතිඅපනයනය සඳහා සැකසීම යන කාර්යයන්ට හේලීස් ෆ්‍රී සෝන්, ඒ.ටී.එල් කලම්බු සහ සිලෝන් මෙටල් ප්‍රොසෙසින් සමාගම් සම්බන්ධ බව වාර්තා වේ.

මෙම භාණ්ඩ ශ්‍රී ලංකාවට අපනයනය කර ඇත්තේ එක්සත් රාජධානියේ ලියාපදිංචි වෙන්ගාඩ්ස් (Vengaads Ltd) නම් සමාගමක් විසිනි.

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අත්සන්කරුවන් වන බාසල් සම්මුතිය අනුව උපද්‍රවකාරී අපද්‍රව්‍ය අපනයනයනයේදී හා ආනයනයේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මෙහිදී රැගෙන නැත. එම සම්මුතිය පිළිබඳ විස්තර මෙතැනින්. Basel Convention>>

කෙසේ වෙතත්, ප්‍රතිචක්‍රීයකරණය යනු ගෞරවනීය ව්‍යාපාරයක් වන අතර, ඒ හා සම්බන්ධ ජාත්‍යන්තර ව්‍යාපාරවල ශ්‍රී ලාංකික සමාගම් නීත්‍යානුකූලව යෙදීම වැරදි ක්‍රියාවක් නොවේ. එය ශ්‍රී ලංකාව වැනි රටවලට ලැබෙන සීමිත ආර්ථික අවස්ථා අතරින් එකකි. රජය එවැනි කටයුතු දිරිගැන්වීම ආර්ථිකය සම්බන්ධයෙන් නරක දෙයක් නොවේ. එහෙත්, එහිදී ජාත්‍යන්තර සම්මුති හා දේශීය නීති රීති අනුව කටයුතු කළ යුතුය. මෙහි ගැටලුව තිබෙන්නේ ඒවා අනුගමනය නොකිරීමයි. මෙම කසළ තොගයෙන් පවා යකඩ හා ස්පොන්ජ් වෙන් කරගෙන ප්‍රති අපනයනය කර තිබේ. එහෙත්, මෙවැනි ව්‍යාපාර සිදුකළ යුත්තේ මනා නියාමනයක් සහිත පසුබිමක ය. ශ්‍රී ලංකාවේ රජයට හා එහි නියාමන ආයතන වන මධ්‍යම පරිසර අධිකාරිය වැනි ආයතනවලට මනා නියාමනයක් සිදුකිරීමේ ධාරිතා නැති බව මෙම නඩුවෙන් ද පෙනේ.

1 thought on “කුණු බිස්නස්, හේලීස් හා පරිසර යුක්තිය

Leave comment

Your email address will not be published. Required fields are marked with *.