Cartoon by Ajith Perakum Jayasinghe

අර්බුදය තවත් තීව්‍ර කරන ජීඑස්පී ප්ලස් අහිමි වීම

අජිත් පැරකුම් ජයසිංහ

2021 අභියෝග මොනවාද?’ මැයෙන් 2021 ජනවාරි 1දා මෙම වෙබ් අඩවියේ ලිපියක් ලියමින් අපි මෙසේ විමසුවෙමු. “අනෙක් සියලු රටවල් ලංකාව ගිලගන්නට බලාගෙන සිටී යයි සිතන අපට ඉන්දියාව, එක්සත්, ජනපදය, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, ජපානය, ඔස්ට්‍රේලියාව වැනි බලවත් රටවල් සමග යහපත සම්බන්ධතා රැකගත හැකිවෙයිද? ජීඑස්පී ප්ලස් වැනි බදු සහන සුරැකෙයිද? චීනය අපට ඇති තරම් මුදල් දෙයිද? ඒ වෙනුවෙන් කුමක් ආපසු ගනීවිද? ගෝලීයකරණය වූ ලෝකයේ ජාත්‍යන්තරය සමග සුහද සම්බන්ධතා රැකගනිමින් එක්ව ගමනක් යන්නට අපට හැකිවේද? ලෝකයම තරහා කරගෙන වෙන්ව ගමනක් යා හැකිද? ආනයන තහනම් කරමින් අපනයන පමණක් කරගෙන පැවතිය හැකි සොඳුරු ආර්ථික උපායමාර්ගය ලෝකය පිළිගනියිද? ශ්‍රී ලංකාවේ පාලකයන්ට එරෙහිව යළි මතුවිය හැකි මානව හිමිකම් හා යුද අපරාධ චෝදනා රටට කුමන අන්දමින් බලපායිද?”

ශ්‍රී ලංකාවට ලබාදෙන ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය ඉවත් කරන්නැයි යෝජනාවක් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සම්මත වී තිබේ. 705 මන්ත්‍රීන් සිටින යුරෝපා පාර්ලිමේන්තුවේ මෙම යෝජනාවට විරුද්ධව, ලංකාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළේ 15දෙනෙකු පමණි. ලංකාවට තිබෙන ජාත්‍යන්තර පිළිගැනීමේ තරම එසේය.

ශ්‍රී ලංකාව මහා මානව හිමිකම් උල්ලංඝනයන් නැවත සිදුකිරීමේ මාර්ගය වෙත යොමු වී තිබෙන අවදානම කෙරෙහි අවධානය යොමුකරන යුරෝපා සංගම් පාර්ලිමේන්තුව ජීඑස්පී ප්ලස් ඉවත් කිරීමට හේතු ලෙස දක්වන්නේ සිවිල් රාජ්‍ය කටයුතුවලට හමුදාව මැදිහත්වීම වැඩිවීම, වගවීමේ ක්‍රියාවලිවලට දේශපාලනික බලපෑම් කිරීම, (වගකීම්වලින්) බැහැර වන බවට කයිවාරු ගැසීම, සිවිල් සමාජයට තර්ජනය කිරීම හා ත්‍රස්ත විරෝධී නීති භාවිතා කිරීමයි.

යුරෝපා සංගමය සංවර්ධනය වෙමින් පවතින රටවලට තම වෙළඳපොළට පිවිසීම සඳහා තීරු බදු සහන සහිත ප්‍රවේශය ලබාදෙන්නේ මානව හිමිකම් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුති 27ක් ක්‍රියාත්මක කිරීම හා යහපාලනය මත පදනම්වය.

ශ්‍රී ලංකාවේ වර්තමානයේ බලයේ සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා ඔහුගේ මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර වැනි අය රාජ්‍ය ත්‍රස්තවාදය ප්‍රකාශ මගින් අගය කර ඇති, රාජ්‍ය ත්‍රස්තවාදයේ නියැලුණු, එය අගය කරන ප්‍රකාශ සිදුකරන, එම ඉතිහාසය ගැන පම්පෝරි ගසන දෙදෙනෙකි.

2015ට පෙර පැවති රාජපක්ෂ පාලනයේ නායකයන්ගේ අපරාධ ගැන විමර්ශනය කළ රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර දැන් අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ නඩු පැවරීමකින් තොරව සිරගත කර තිබේ.

කවියකු වූ අහ්නාෆ් ජසීම් අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරගත කර සිටියි.

මුස්ලිම් නීතීඥයකු වන හිජාස් හිස්බුල්ලා, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදිඋදීන් වැනි අයගෙන් පලිගැනීම සඳහා ඔවුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරගත කර තිබෙන බව පෙනේ.

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ දෙවන ප්‍රධාන අපනයන වෙළඳපොළයි. වසරකට යුරෝපා සංගමයේ රටවලට කරනු ලබන අපනයනවලින් ශ්‍රී ලංකාවට යුරෝ බිලියන 2.3ක් ලබාගැනීමට හැකි වී තිබෙන්නේ ජීඑස්පී ප්ලස් තීරුබදු සහන නිසාය. මහින්ද රාජපක්ෂ පාලන සමයේ රටට අහිමි වූ ජීඑස්පී ප්ලස් නැවත ලබාගැනීමට යහපාලන රජය සමත් විය. ජීඑස්පී ප්ලස් සහනය ඉවත්වීම ශ්‍රී ලංකාවේ ඇඟලුම්, මාළු, සෙරමික්, රබර් වැනි නිෂ්පාදන රැසකට බලපායි. ඒවා ශ්‍රී ලංකාවේ අපනයනවලින් 66%කි.

යුරෝපා සංගමයේ රටවල් සමග ශ්‍රී ලංකාව කරන වෙළඳාමෙන් අවුරුද්දකට රුපියල් බිලියන 220ක පමණ වාසිදායක වෙළඳ ශේෂයක් ශ්‍රී ලංකාවට ලැබේ.

මේ වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් දැඩි හුදකලාභාවයකට තල්ලු වෙමින් තිබේ. ඉදිරි මාස හයක කාලය තුළ ඩොලර් බිලියන තුනකට වැඩි විදේශ ණය ගෙවිය යුතුව තිබේ. රටේ විදේශ සංචිත ඩොලර් බිලියන හතරකට ආසන්න සංඛ්‍යාවකට පහත වැටී තිබේ. ශ්‍රී ලංකාවේ අග්‍ර හවුල්කාර රට වී තිබෙන චීනය හෝ මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සැලකියයුතු උපකාරයක් නොකරන්නේ මන්දැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා විමසීය.

මේ ලිපියත් කියවන්න:

Will Sri Lanka lose GSP+ again?

Creative Content Consultants