Rohan Samarajiva

1 කොටස (සමාරම්භක ලිපිය මෙතනින්>> රාජ්‍ය පාලනයේ අලුත් සිතීමක් සඳහා අර්ථශාස්ත්‍ර )

මහාචාර්ය රොහාන් සමරජීව විසිනි

දේවල් කීපයක් හොඳින් කරන, පොදු ජනතාවට ස්ථාවරත්වය දෙන, අනෙක් අය වෙනුවෙන් ධනය හා රැකියා නිර්මාණය කරන අය බැහැර නොකරන රජයක් පිළිබඳ සමාරම්භක කොලමේ සඳහන් කළා. එය තමයි අප අරගල කළ යුතු අරමුණ. ශ්‍රී ලංකාවේ රජය විසින් හොඳින් කළ යුතුව තිබෙන දේවල් කීපය මොනවාද?

Translations by Creative Content Consultants

රජයේ මූලික කාර්යයන් පිළිබඳ එකඟත්වයක් නිර්මාණය කරගැනීම උදෙසා දේශපාලන සංවාදයක් ගොඩනගන්නට පහත දැක්වෙන නිර්ණායක ප්‍රයෝජනවත් වේවි.

රජය විසින් පොදු භාණ්ඩ සැපයිය යුතුයි. වෙළඳපොළ බලය පාලනය කළ යුතුයි. ව්‍යාපාර තොරතුරු ගලායාමේ තිබෙන අසාධාරණයන් හෙවත් තොරතුරුවල අසමමිතිකත්වය දුරු කිරීමට කටයුතු කළ යුතුයි. අසුබවාදී ආර්ථික ක්‍රියාකාරීත්වයන් හෙවත් නිශේධාත්මක බහිරතාවන් (negative externalities) නිසා නිර්මාණය වන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදිය යුතුයි. සුබවාදී ආර්ථික ක්‍රියාකාරීත්වයන් හෙවත් ධනාත්මක බහිරතාවන් (positive externalities) හරහා වාසිදායක තත්වයන් උපරිම කළ යුතුයි. ලිපියේ දිග වැඩි වන නිසා මෙම ආර්ථික ක්‍රියාකාරීත්වයන් පිළිබඳ වැදගත් සාකච්ඡාව මෙම ලිපියේ දෙවෙනි කොටස සඳහා ඉතිරි කරනවා.

පොදු භාණ්ඩ (public goods)

පොදු භාණ්ඩ කියන්නේ රජය විසින් වර්තමානයේ සපයන දේ නොවෙයි. පොදු භාණ්ඩ යන තාක්ෂණික යෙදුමේ නිර්වචනයට ඇතුලත් වන්නේ සැමට එක ලෙස සේවා ලැබෙන බවට (තරඟකාරිත්වයක් නැතිකම; non-rivalry) හා පිරිසකට අසාධාරණයක් නොකරන බවට (බැහැර නොකරනබව; non-excludability) පරීක්ෂාවෙන් සමත් වන භාණ්ඩ පමණයි. වර්තමානයේ රජය කරන ඇතැම් කාර්යයන් පැහැදිලිවම පොදු භාණ්ඩ ලෙස සැලකිය නොහැකියි. ශ්‍රී ලංකා රජය එක් කාලයක එඬේරමුල්ලේ හැලි වළං කර්මාන්තයක් කළා. මරදානේ බුරියානි උයන කෑම කඩයක් පවත්වාගෙන ගියා.  මේවා වචනයේ පරිසමාප්තියෙන් වෙළෙඳපොලට සැපයිය හැකි පෞද්ගලික භාණ්ඩ වේ.

මා භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීම නිසා එය පරිභෝජනය කිරීමේ ඔබේ හැකියාවට බලපෑමක් සිදුවන්නේ නැතිනම් මගේ පරිභෝජනය ඔබේ පරිභෝජනයට බාධාවක් වන්නේ නැහැ. එයට හොඳම උදාහරණය තමයි ජාතික ආරක්ෂාව. සෑම රාජ්‍යයක් විසින්ම අඩු වැඩි මට්ටම්වලින් ජාතික ආරක්ෂාව සපයනවා.  මට ජාතික ආරක්ෂාව ලැබීම නිසා ඔබට ලැබෙන ආරක්ෂාව අඩු වන්නේ නෑ.  මේ තමයි පළමු කොන්දේසිය.

දෙවෙනි කොන්දේසිය තමයි එම තත්වය සැමට භුක්ති විඳීමට හැකි වීම. විශාල කරදරයක් හා වියදමක් නොකර භාණ්ඩයක් හෝ සේවාවක් භාවිතා කරන්නකුට එම භාණ්ඩය හෝ සේවාව නොදී සිටිය හැකි විය යුතුයි. මිල ගෙවන උදවියට පමණක් භාණ්ඩය දෙන්නට බැරිනම්, නොගෙවන අයට නොදීම දුෂ්කර හෝ වියදම් සහගත කාර්යයක් නම්, එතැන වෙළෙඳපොළක් පවත්වාගන්නට බැරි වෙනවා.

පොදු භාණ්ඩ ලෙස සැලකිය හැක්කේ භාණ්ඩ හා සේවාවන් අතලොස්සක් පමණයි. වෙළඳපොළ විසින් පොදු භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ නැහැ. පොදු භාණ්ඩ අවශ්‍ය නම්, ඒවා නිපදවිය යුතු වන්නේ බදු මුදලින්.  රාජ්‍යය විසින්.

ජාතික ආරක්ෂාව වැනි පොදු භාණ්ඩ සඳහා සුලබ උදාහරණවලින් එම සංකල්පය කුමක්දැයි හරිහැටි පැහැදිලි වන්නේ නැහැ. පුරවැසියන්ගේ දෛනික ජීවිතයට එහි බලපෑම අවමයි. හැම කෙනෙකුටම බලපාන පොදු භාණ්ඩයක් තමයි පිරිසිදු වාතය. විශේෂයෙන්ම නගරවලදී මෙය අදාළයි. පිරිසිදු වාතයෙන් මිනිසුන් බැහැර කරන්නට බැහැ. එය ලබාදීම වෙනුවෙන් මුදල් අයකරන්නට බැහැ. එම නිසා, කිසිදු පෞද්ගලික සැපයුම්කරුවෙකු පිරිසිදු වාතය නිෂ්පාදනය කරන්නට හෝ වායු දූෂණය අවම කරන්නට හෝ ආයෝජනය කරයි කියා බලාපොරොත්තු වන්නට බැහැ.  එවැනි ක්‍රියාකාරකම් සඳහා අරමුදල් සම්පාදනය කරන්නට සිදුවන්නේ බදුගෙවන්නන්ටයි. එයට රජයේ බලහත්කාරය පාවිච්චි කරන්නටත් සිදුවෙනවා.  

ජාතික ආරක්ෂාව

විදේශීය ආක්‍රමණවලින් හා බලහත්කාරයන්ගෙන් ආරක්ෂා වීම ලෙස අර්ථ නිරූපණය කර තිබෙන ජාතික ආරක්ෂාව නම් පොදු භාණ්ඩය සැපයිය හැකි ආකාර කීපයක් තිබෙනවා. ජාතික ආරක්ෂාව සඳහා අනිවාර්යයෙන් යුද, ගුවන් හා නාවික හමුදා නඩත්තු කිරීමට අවශ්‍ය නැහැ. 

සිවිල් යුද්ධයක් ජයග්‍රහණය කිරීමෙන් පසු, 1948දී, කොස්ටාරිකාවේ ජනාධිපති හොසේ ෆිගර්රෙස් ෆෙරර් එරට හමුදාව විසුරුවාහැරියා. වසර 1949දී, එම විසුරුවාහැරීම කොස්ටාරිකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද ඇතුළත් කළා. හමුදාව වෙනුවෙන් වෙන්කරන ලද අරමුදල් දැන් කැපකරනු ලබන්නේ ආරක්ෂාව, අධ්‍යාපනය හා සංස්කෘතිය වෙනුවෙනුයි. කොස්ටාරිකාව පොලිස් මුර බලකායක් පවත්වාගෙන යනවා. කොස්ටාරිකාව දූපතක් නෙමෙයි. එහෙත්, එරට විදේශ ආක්‍රමණවලට ගොදුරු වී නැහැ. අසල්වැසියන් සමග යුද්ධවලට ද පැටලී නැහැ. සෙසු ලතින් ඇමරිකානු රටවල නිරන්තරයෙන් සිදුවන ආකාරයේ කුමන්ත්‍රණ ද එරට සිදුවන්නේ නැහැ. 

දැවැන්ත හමුදාවක් නොමැතිව අපට පැවතිය හැකිය යන අදහස පවා බොහෝ ශ්‍රී ලාංකිකයන් තුළ කම්පනයක් නිර්මාණය කරන්න ඉඩ තියෙනවා. දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය පරාජය කිරීම සඳහා හමුදාව අවශ්‍ය වූ බව ඇත්තක්. එහෙත්, කොටි සංවිධානය කියන්නේ දේශීය ප්‍රශ්නයක්. විදේශීය බලවේගයක් නෙමෙයි. කොටි සංවිධානය වැනි දේශීය බලවේගවලට එරෙහිව ක්‍රියාමාර්ග වඩා හොඳින් ගතහැක්කේ විශේෂ කාර්ය බලකාය වැනි ප්‍රති ත්‍රස්ත ඒකකවලටයි. එය පොලිසියේ කොටසක්. ත්‍රිවිධ හමුදාවට අයත් නැහැ.

ඉන්දියාව 1987දී ශ්‍රී ලංකාවේ ජාතික ස්වෛරීභාවය උල්ලංඝනය කිරීම මුහුදේ හා ගුවනේ හමුදා ධාරිතාවන් අවශ්‍ය වීමට සාක්ෂි ලෙස ඇතැමෙකු විසින් පෙන්වා දෙන්නට පුළුවන්. එහෙත්, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය යාත්‍රා හරවා යැවීම හුදෙක් සංකේතාත්මක ක්‍රියා පමණක් බව හැඟීම්බර නොවී විමසා බැලුවොත් පෙනේවි. ඉන්දීය ගුවන් යානා විසින් අපගේ ගුවන් අවකාශය ආක්‍රමණය කළ අවස්ථාවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සංකේතාත්මක විරෝධයක්වත් පළකළේ නැහැ.

ශ්‍රී ලංකාවේ භූමි පිහිටීම හා බලයේ තිබෙන දැඩි අසමමිතිකබව සැලකිල්ලට ගත්විට වැටහෙන දෙයක් වන්නේ, අපගේ ජාතික ආරක්ෂාව වඩා හොඳින් දිනාගත හැක්කේ ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකභාවයෙන් හා බහුපාර්ශ්වීය එකඟතා ඇසුරෙන් මිස දැවැන්ත හමුදා නඩත්තු කිරීමෙන් නොවන බවයි. අපගේ ජාතික ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වඩාත් ඵලදායී ආදර්ශය සපයන්නේ සිංගප්පූරුව මිස තායිවානය නොවේ. ඉහළ මට්ටමේ අන්තර්ක්‍රියා ඔස්සේ ඉන්දු ශ්‍රී ලංකා සම්බන්ධතාව කළමනාකරණය කරගැනීම මගින් හතරවන ඊලාම් යුද්ධය කාලයේදී ලැබුණු ජාතික ආරක්ෂාව ආයුධ වෙනුවෙන් හෝ මිනිසුන් වෙනුවෙන් හෝ කෙතරම් මුදල් වැය කළත් ලබාගත නොහැකි වූ දෙයක්. (ජාතික ආරක්ෂාව අර්ථ නිරූපණය කරන්නේ විදේශීය ආක්‍රමණවලින් හා බලහත්කාරයන්ගෙන් ආරක්ෂා වීම ලෙසයි.)

අභ්‍යන්තර ආරක්ෂාව වෙනුවෙන් විධිමත් ලෙස පුහුණු කරන ලද, කාර්යක්ෂම පොලිස් ඒකක පවත්වාගැනීම අවශ්‍යයි. නාවුක ආරක්ෂාව හා ශ්‍රී ලංකාවේ විස්තෘත ආර්ථික කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් වෙරළාරක්ෂක බලකායක් පවත්වාගෙනයාමත් අවශ්‍යයි. එවැනි වටිනාකම් මෙමගින් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එහෙත්, භූමිකාවන් හා පුහුණුවීම් සම්බන්ධයෙන් වර්තමානයේ තිබෙන අවුල්සහගතබව නිසා ලැබෙන ප්‍රතිඵලය එතරම් ප්‍රශස්ත එකක් නෙමෙයි.   

කාර්යක්ෂම විදේශ සේවාවක් විසින් ශ්‍රී ලංකාව වැනි කුඩා රාජ්‍යයක ජාතික ආර්ථිකයකට කළ හැකි දායකත්වය තේරුම්ගැනීම මගින් කැපීපෙනෙන ප්‍රතිඵල ලබාගත හැකියි. එහෙත්, අවාසනාවට මෙන්, අපගේ තානාපති කාර්යාල වර්තමානයේදී කටයුතු කරන්නේ නිල රාජ්‍ය තාන්ත්‍රික සේවා සම්පාදකයන් ලෙසයි. එසේම, රටින් බැහැර බලවත් පුද්ගලයන්ට සුපුරුදු බත් මාළු කන්නට අවස්ථාවක්. නැතිනම් පාලකයන්ගේ නෑයන්ට හා මිතුරන්ට සුවපහසු රැකියා අවස්ථාවක්. විදේශ ප්‍රතිපත්ති අරමුණු ඵලදායී ලෙස ඉටුකිරීම කෙරෙහි තබා තිබෙන්නේ ඉතා අඩු බරක්.   

නීතිය හා සාමය

නීතිය හා සාමය වියුක්ත වශයෙන් ගත් කල පොදු භාණ්ඩයක ගුණාංග ප්‍රදර්ශනය කරනවා. එහෙත්, විශේෂිත කර සැලකූ විට, තරඟකාරිත්වයක් නොමැතිබව හෝ බැහැරකිරීමක් සිදු නොවන බව පෙන්නුම් කරන නිර්ණායක නීතිය හා සාමය විසින් සම්පූර්ණ කරන්නේ නැහැ.   

අධිකරණයේ විශාල වශයෙන් නඩු ගොඩගැසෙද්දී, ඇතැම් නඩු පමණක් පෝලිම පැනීමෙන් පෙන්නුම් කරන්නේ අධිකරණ සම්පත් භාවිතයේදී එක් අයෙකු විසින් තවත් අයෙකුගේ සම්පත් භාවිතය අහිමි කරන බවයි. ගැටුම් නිරාකරණය වෙළඳපොළ මාර්ගයෙන් ද සිදුකළ හැකියි. වානිජ බේරුම්කරණය එම කරුණ ඔප්පු කරන සාක්ෂියක් ලෙස සැලකිය හැකියි. කෘෂි නිෂ්පාදන සොරකම් කිරීම සම්බන්ධ පැමිණිලිවලට පොලිසියෙන් විසඳුම් නොලැබෙන බව බොහෝ ගොවීන් මැසිවිලි නගනවා. සොරුන් අල්ලාගෙන පොලිසියට ගෙනැවිත් භාර දෙන ලෙස නිලධාරීන් කියන බවයි ගොවීන් පවසන්නේ. තමන්ගේම ආරක්ෂක උපකරණ හා පිරිස් යෙදවීමෙන් විශාල ගොවිපළවලට ආරක්ෂාව පුද්ගලිකව තහවුරු කරගන්නට පුළුවන්. ඒ අනුව, ධනවත් අයට නීතියේ සහ සාමයේ වාසිය ලබාගන්නට පුළුවන්. අනෙක් අයට පිළිසරණක් නැහැ.  

රජය නීතිය හා සාමය සම්පාදනය කිරීම සම්බන්ධයෙන් මැදිහත් නොවිය යුතු යයි කිසිදු දේශපාලන හෝ ආර්ථික න්‍යායාචාර්යවරයෙකු තර්ක කරන්නේ නැහැ. ආන්තික ස්වාධීනතාවාදීන් හෙවත් ලිබටේරියන්වරුන් පවා නීතිය හා  සාමය සම්බන්ධයෙන් රජයේ වගකීම පිළිගන්නවා. ඒ ආකාරයටම කුලී හමුදා මගින් යුද්ධ කර භූමිය අත්පත් කරගන්නටත් පුළුවන්. එයට හේතුව, ජාතික ආරක්ෂාව සම්බන්ධ පොදු යහපත සම්පාදනය කිරීම සඳහා තවමත් සීමිත සම්පත් භාවිතා කිරීම අවශ්‍ය වීමයි. සත්‍ය භාවිතාවේදී නීතිය හා සාමය සැපයීම සැබෑ පොදු භාණ්ඩයක්ද යන්න විමසා බලන පරීක්ෂණ සමත් වෙන්නේ නැහැ.    

ශ්‍රී ලංකා පොලිසියේ 80,000කට වැඩි නිලධාරීන්ගෙන් අඩකට වඩා කරන්නේ දේශපාලනඥයන් ආරක්ෂා කිරීම බව මෑතදී වගකිවයුතු ඇමතිවරයෙකු පැවසුවා. ලංකාවේ නීතිය හා සාමය පිළිබඳ අඩුපාඩුවලට හේතු වන්නේ සම්පත් මේ අන්දමින් වැරදි සහගත ලෙස භාවිතා කිරීම බව පැහැදිලියි. අධිකරණ නවීකරණය වැළැක්වීම සඳහා නීති මාෆියාව විසින් කරනු ලබන ක්‍රියා වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුවෙන් ආණ්ඩුවට තීරණ ගන්නන් දක්වන අකැමැත්ත රාජ්‍යයේ මූලික කාර්යභාරයක් වන නීතිය හා සාමය පවත්වාගැනීමෙහි වැදගත්කම පිළිබඳ ඇගයීමක් නැති බවට සාක්ෂියක්. මෙම නොසලකාහැරීම තුළ ආර්ථික ප්‍රතිවිපාක රැසක් තිබෙනවා. උදාහරණයක් ලෙස, ශ්‍රී ලංකාව ව්‍යාපාර කිරීමේ පහසුව පිළිබඳ ශ්‍රේණිගත කිරීමෙහි සිටින්නේ පහළ තලයකයි. ආයෝජකයන්ට නීතිය සහ සාමය ගැන අධික අවදානම් සහගත හැඟීමක් ඇතිවීම එයට හේතුවයි.

පොදු භාණ්ඩ සම්බන්ධ ඇතැම් කාරණා සම්පාදනය කරන ආකාරය පැහැදිලි ඇසකින් විශ්ලේෂණය කර බැලිය යුතුයි. ජාතික ආරක්ෂාව, නීතිය හා සාමය වැනි ඇතැම් පොදු භාණ්ඩ සම්පාදනය කරනු ලබන්නේ අඩුවෙනුයි (උදා: 1988ට පෙර සහ හතරවන ඊලාම් යුද්ධය අතරතුර ජාතික ආරක්ෂාව සසඳා බලන්න). තවත් සමහර ඒවා සම්පාදනය කිරීමක් වෙන්නේම නැහැ (උදා: ප්‍රධාන නගරවල පිරිසිදු වාතය). එම නිසා, රාජ්‍ය ප්‍රතිසංස්කරණ ප්‍රමුඛතා හා පොදු අරමුදල් ප්‍රශ්ස්ථ ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් මගපෙන්වීම සිදුකළ යුතුයි.

වෙළඳපොළ බලය

කිසියම් සමාගමක් හෝ අතලොස්සක් භාණ්ඩ හා සේවා සැපයීම සම්බන්ධ ඒකාධිකාරයක්/ කතිපයාධිකාරයක් පවත්වාගෙන යන විට, ඉල්ලන සියල්ලන්ට සැපයුම් කෙරෙන්නේ නැහැ. ගුණාත්මකභාවය අඩුවෙනවා. මිළ ඉහළ මට්ටමක පවතිනවා. බොහෝ රටවල තරඟකාරීත්ව නීති තිබෙනවා. ඒකාධිකාරයන් කඩා බිඳදමන්නට ක්‍රියාමාර්ග ගනු ලබනවා. සැපයුම්කරුවන් කිහිපදෙනෙකු අතර අශුද්ධ සන්ධාන ගොඩනගාගැනීම අමාරු වෙනවා. ආනයන බාධක ඉවත් කිරීමෙන්, වෙළඳපොළ බලය පාවිච්චි කිරීම දුෂ්කර තත්වයට පත්කරන්නට ශ්‍රී ලංකාව වැනි ඇතැම් කුඩා ආර්ථිකයන්ට හැකියාව තිබෙනවා. උදාහරණයක් ලෙස, පසුගිය සමයේ නිවෙස්වල නානකාමර සනීපාරක්ෂක භාණ්ඩ මිල පහළ මට්ටමක තබාගත්තේ ආනයනවලට ඉඩදීමෙනුයි. දැන් එවැනි ආනයන තහනම් කර තිබෙනවා. දේශීය නිෂ්පාදකයන් කල්ලිගැසී මෙරට නිෂ්පාදනවල මිල දෙගුණයකින් පමණ ඉහළනංවා තිබෙනවා. 

වෙළෙඳපොල බලය පාවිච්චි කර අධික ලාභ ලබන්නන්ට හා ධනය රැස්කරගන්නන්ට එරෙහිව ශ්‍රී ලංකා රජය කටයුතු කරන්නේ නැහැ. ආනයන සම්බාධක හා අතුරු බදු පැණවීම මගින් රජය පාරිභෝගිකයන් ගසාකෑමට දිරිදෙනවා. බොහෝ අවස්ථාවලදී ඒකාධිකාරයන්ගේ අයිතිය රජය සතුයි. සෑමවිටම, රජය සතු හෝ රජයේ සහාය ලබන ඒකාධිකාරයන්/ කතිපයාධිකාරයන් විසින් ජනනය කරනු ලබන ලාභය ලබාගන්නේ සාමාන්‍ය ආකාරයට නෙමෙයි. එය කරනු ලබන්නේ දේශපාලනික අරමුණු සහිතවයි. උදාහරණ ලෙස, දේශපාලන හිතවතුන්ට වැටුප් ලබාදීම, අතිරික්ත සේවක පිරිසක් නඩත්තු කිරීම, දූෂිත අන්දමින් සමාගම් සමාජ වගකීම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, දේශපාලකයන්ට හා දේශපාලන වැඩසටහන්වලට අනුග්‍රහ දැක්වීම ආදිය සැලකිය හැකියි. ඇතැම් අවස්ථාවලදී ඒකාධිකාරයන් පාඩු ලබනවා. එම පාඩු පියවන්නේ බදුගෙවන්නන්ගේ මුදල්වලින් දෙන සහනාධාර හරහායි.   

අකාර්යක්ෂම දේශීය සැපයුම්කරුවන් ආරක්ෂා කිරීම වෙනුවට පාරිභෝගිකයන්ගේ සුබසාධනය තහවුරු කිරීම සඳහා රජය ප්‍රමුඛතාව දෙනවා නම්, නානකාමර සනීපාරක්ෂක කට්ටල වෙනුවෙන් තරඟකාරී වෙළඳපොළක් නිර්මාණය කරන්නට පුළුවන්. එවිට ඔවුන් ඉදිරිපත් කරන්නේ යෙදවුම් පිරිවැය වැඩිවීම හෝ විදේශ තරඟකරුවන් නිෂ්පාදන වියදමට අඩු මිලට විකිණීම (dumping) වැනි සුලබ තර්කයි.

දේශීය නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන පිරිවැය ඉහළ යෑමේත්, ඔවුන් තරඟකාරී නොවීමේත් හේතුව බලශක්ති පිරිවැය නිසායි. අකාර්යක්ෂම රාජ්‍ය ඒකාධිකාරයන් හා දේශපාලනික වශයෙන් ගනු ලබන මිල තීරණ හේතුවෙන් විකෘති වී තිබෙන බලශක්ති ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණය කරනවා වෙනුවට වත්මන් රජය කරන්නේ මෙතෙක් සිදුකර තිබෙන සුළු හෝ ප්‍රතිසංස්කරණයක් තිබේනම් ඒවා ද ආපසු හැරවීමයි. උදාහරණයක් ලෙස, ලංකා විදුලිබල මණ්ඩලයේ කෙටිකාලීන බලශක්ති මිලදීගැනීම් සම්බන්ධ දූෂිත ක්‍රියාමාර්ග හා ඉන්ධන මිල සූත්‍රය එසේ ආපසු හරවන ලද ප්‍රතිසංස්කරණ ලෙස සැලකිය හැකියි.  

ශ්‍රී ලංකාව වෙළෙඳපොල ග්‍රහණය කර ගැනීමේ චේතනාවෙන් නිෂ්පාදන පිරිවැයට අඩු මිලට භාණ්ඩ ගලා ඒම වැළැක්වීම සඳහා අවශ්‍ය විදග්ධ ආර්ථික විශ්ලේෂණයක් සිදුකිරීම සඳහා අවශ්‍ය ධාරිතාව රජයට නැහැ. එහෙත්, ශ්‍රී ලංකාව තුළට එවන ආනයන වැළැක්වීම සඳහා නීති පැණවීම සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුව ප්‍රගතියක් අත්කරගත්තා. මූලික ප්‍රශ්නවලට විසඳුම් තිබෙන බව එයින් පෙනෙනවා. එහෙත්, අතයට ගනුදෙනු හේතුවෙන්, දේශපාලන හා පෞද්ගලික වාසි ලබාගන්නට හැකි සම්බාධක හා අතුරු බදු පණවන්නට දේශපාලකයන් පෙළඹෙනවා.

වෙළඳපොළ බලය පාලනය කිරීම යනු වැරදි රාජ්‍ය ප්‍රතිපත්ති නිවැරදි කිරීමේදී ප්‍රමුඛතාව දිය යුතු කලාපයක්. එයින් අනතුරුව, තරඟකාරීත්ව කොමිෂන් සභාවක් වැනි නිල ව්‍යූහයක් පිහිටුවන්නට පුළුවන්.

තොරතුරු සම්බන්ධ අසමමිතිකත්වය

තැන්පතු භාරගන්නා මුල්‍ය ආයතන විසින් ඔබගේ මුදල් ලබාගෙන ඔබට අනාගතයේදී වරප්‍රසාද ලබාදී මුදල් ද ආපසු ලබාදීමට පොරොන්දු වෙනවා. වෛද්‍යවරුන් රෝගවලට හේතු හඳුනාගෙන ප්‍රතිකාර නිර්දේශ කරනවා. බොහෝ අවස්ථාවලදී එම ප්‍රතිකාර සපයන්නෙත් ඔවුන්මයි. මුල්‍ය සමාගම්වලට ඔවුන් දුන් පොරොන්දු ඉටුකිරීමට හැකියාව තිබේද යන්න සාමාන්‍ය පාරිභෝගිකයාට දැනගන්නට අමාරුයි. එසේම, වෛද්‍යවරුන් විසින් පිරිනමනු ලබන ප්‍රතිකාරවල ස්වභාවය තේරුම් ගන්නට, ඒවා උචිතම ඒවාදැයි තීරණය කිරීමට රෝගීන්ට බැහැ.  මෙවන් ගනුදෙනු වල එක පාර්ශවයකට අඩු තොරතුරුත්, අනික් පාර්ශවයට වැඩි තොරතුරුත් තියෙනවා.  ඒකයි අසමමිතිකතාවය.

තොරතුරු ප්‍රශ්න සම්බන්ධ විසඳුම් රජයේ මැදිහත් වීමෙන් තොරවත් සපයන්නට පුළුවන්. උදාහරණයක් ලෙස, ජාත්‍යන්තර වෙළඳාමට ආවේණික තොරතුරු හා ඒ හා සම්බන්ධ විශ්වාසය පිළිබඳ ප්‍රශ්න විසඳාගෙන තිබෙන්නේ ලෝක ආණ්ඩුකරණයක් නොමැතිවයි. බැංකු හා විවිධ සහතිකකරණ අධිකාරීන් විසින් විසඳුම් සපයා දී එමගින් හොඳ ව්‍යාපාර නිර්මාණය කරගෙන තිබෙනවා. එහෙත් ඇතැම්විට, බලහත්කාරය  අවශ්‍ය වෙනවා. රජය ප්‍රයෝජනවත් වන්නේ එවිටයි.    

රජය විසින් සක්‍රිය ලෙස බැංකු හා මූල්‍ය සමාගම් අධීක්ෂණය කරන්නේ නැතිනම්, ජනතාව නැවතත් මෙට්ට අස්සේ සල්ලි හංගන්නට පටන් ගනීවි. සක්‍රිය අධීක්ෂණය සඳහා විශේෂඥභාවය හා සම්පත් අවශ්‍යයි. එසේම, බලහත්කාරී අන්දමින් බලය පාවිච්චි කරන්නටත් අවශ්‍යයි. සත්‍ය අන්දමින් ගිනුම් පවත්වාගැනීම හා වාර්තා කිරීම නොකරන ආයතනවලට දඬුවම් කිරීමේ බලය නියාමකවරුන්ට තිබිය යුතුයි.

නැවත නැවතත් මූල්‍ය සමාගම් අසාර්ථක වීම මගින් තැන්පත්කරුවන්ට හානි සිදුවීමෙන් නිරූපණය වන්නේ වෙළඳපොළ තොරතුරු සම්බන්ධ අසමමිතිකත්වය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ප්‍රමාණවත් කාර්යයක් නොකරන බවයි. අනෙක් පැත්තෙන්, ආහාර නිෂ්පාදනවල ලේබල්කරණයෙහි සිදුවන දියුණුව මගින් පෙන්නුම් කරන්නේ යහපත් වර්ධනයන් ද සිදුවන බවයි. තොරතුරු සම්බන්ධ අසමමිතිකත්වයන් සම්බන්ධයෙන් වැඩි අවධානයකින් කටයුතු කිරීමෙන් භාණ්ඩ හා සේවා විමධ්‍යගත ලෙස සම්පාදනය කිරීම දිරිගැන්වෙනවා. එය වඩා හොඳ ආර්ථිකයක් නිර්මාණය කිරීමට දායක වෙනවා.  

මීළඟට 

දෙවන කොටසේදී අප සාකච්ඡා කරන්නේ නිශේධාත්මක බහිරතා නිසා මතුවන ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන ආකාරය හා සුබවාදී බහිරතා මගින් වාසි උපරිම කරගන්නා ආකාරයත් පිළිබඳවයි.

පරිවර්තනය: අජිත් පැරකුම් ජයසිංහ

Translations

3 thoughts on “අර්ථශාස්ත්‍ර 2: රාජ්‍යය ප්‍රමුඛතාවය දියයුත්තේ කුමටද?

  1. Raajya ya mea mohothe pramukathawe diya yuththe , Anjela Merkel pannaye nayakayan sitina aanduwak pathkara genmata ya .

  2. Anura Disanayeka ta idiiri aandu bala huwamaaruwakadie , suviseasha ilakkayak himi viyayuthu menma himi wae yai mang poorwokathanaya karanawaaya .
    Ebevin ohu menma ohu vennaun , Angela Merkel kiyaviema yahapathya .

Leave a Reply to Sarath warnakulasuriya Cancel reply

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: