Colombo Lotus Tower

නෙළුම් කුලුනු මත ගැටුම සිරිසේන-මහින්ද දීගයේ අවසානයයි

නෙළුම් කුලුන සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නගන ලද රු. බිලියන දෙකක් සමග චීන සමාගමක් අතුරුදහන් වූ බවට වූ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැඩි පිළිතුරක් දී තිබේ.

Translations by Creative Content Consultants

නෙළුම් කුලුන භාර විදුලි සංදේශ නියාමන කොමිෂම එවකට ද පැවතියේ ඍජුව ම ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ ය. ඔහු පවසන්නේ 2012 ඔක්තෝබර් 9 දින රු. බිලියන දෙකක් චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික්ස් සමාගමේ ගිනුමට බැර කළ බවයි. අදටත් නෙළුම් කුලුනේ වැඩකටයුතු කරන්නේ එසේ මුදල් ලබාගත් චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික්ස් සමාගම බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

නෙළුම් කුලුන ඉදිකිරීමේ මුළු ඇස්තමේන්තුව වූ ඩොලර් මිලියන 104.3න් 85%ක් ණයට සැපයීමට චීනයේ එක්සිම් බැංකුව එකඟ වී තිබේ. ඉතිරි 15% ශ්‍රී ලංකා රජය විසින් ආයෝජනය කළ යුතු අතර එම මුදල අත්තිකාරමක් ලෙස ගෙවිය යුතු වූ බව හිටපු ජනාධිපතිවරයා පවසයි. මෙම රු. බිලියන දෙක චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට ගෙවා ඇත්තේ ඒ අනුව ය.

චීන ණය යටතේ කරන ව්‍යාපෘති සම්බන්ධයෙන් කොන්ත්‍රාත්කරුවන් නම් කරන්නේ චීන රජය විසින් බව ද, චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික්ස් හා ALIT සමාගම්වල හවුල් ව්‍යාපාරයක් ඒ අනුව නම් කරන ලද බව හිටපු ජනාධිපති පවසයි. මෙම සමාගම් දෙක ම චීන රජයට අයත් මහා පරිමාණ සමාගම් දෙකක් බව රාජපක්ෂ පවසයි.

කරුණුවලට අමතරව මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයාගේ නිවේදනයේ ජනාධිපතිවරයාට බැන අඬගැසීම් රැසක් අඩංගු ය.

2012දී රජය, විදුලි සංදේශ නියාමන කොමිෂම, චීනයේ එක්සිම් බැංකුව සහ චීන සමාගම් දෙකක් සමග එළඹුණු ත්‍රෛපාක්ෂික ගිවිසුමකට අනුව, ශ්‍රී ලංකා රජය විසින් අත්තිකාරමක් ලෙස ALIT නම් සමාගමකට රු. බිලියන දෙකක අත්තිකාරමක් ගෙවන ලද බවත්, 2016දී සොයාබලන විට එම සමාගම අතුරුදහන් වී ඇති බව සොයාගත් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නෙළුම් කුලුන විවෘත කරමින් පැවසී ය. “අපි පරීක්ෂණයක් ආරම්භ කළා. චීන තානාපති කරුණාසේන කොඩිතුවක්කුට නිල වශයෙනුත්, මා පෞද්ගලිකවත් කිව්වා සොයාබලන්න. එවැනි සමාගමක් ලොව කොහේවත් නැහැ. චීන තානාපතිටත් දැනුම් දුන්නා. එය බීජිං ලිපිනයක්. එම ස්ථානයේ සමාගමක් නැහැ.”

මෙම තත්වය තුළ මේ නෙළුම් කුලුන සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකර සත්‍යය හෙළිදරව් කිරීමට රජය වගබලාගත යුතු ය. වත්මන් ජනාධිපතිවරයා බොරුකාරයෙකු ද, හිටපු ජනාධිපතිවරයා බොරුකාරයෙකු ද, නැතිනම් දෙදෙනාම බොරුකාරයන් ද යන්න එවිට හෙළිදරව් වනු ඇත.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇති වී තිබෙන බෙදීමේ ගැඹුර ප්‍රදර්ශනය කරයි. 2019 ඔක්තෝබර් 26 ව්‍යවස්ථා කුමන්ත්‍රණය මගින් ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත්කිරීමෙන් පසු මෙම දෙදෙනා අතර ඇති වූ දරුණු ම මත ගැටුම මෙයයි.

මේ වන විට, මෙම පක්ෂ දෙක අතර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සන්ධානයක් ගොඩනගාගැනීමේ සාකච්ඡා සිදුවෙමින් තිබෙන මුත්, එම සන්ධානය නොහැදෙන එකක් බවට මෙම මත ගැටුම ප්‍රබල සාක්ෂියකි.

ශ්‍රීලනිප සමග සන්ධානයකට එළඹෙන්නේ නැතිව ජනාධිපතිවරණය ජයගත නොහැකි බව විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ සහ තවත් බලවේගවල මතය බව වාර්තා වේ.

මේ අතර, නෙළුම් කුලුන ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව පිරිනැමීමේ සිට එහි සියලු කටයුතු සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) අද දින(18) තීරණය කළේය.