jetty in colombo port

අජිත් පැරකුම් ජයසිංහ

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ අයිතියෙන් 49%ක් ඉන්දියාවේ අදානි සමාගමට විකිණීමේ සැලැස්මක් ඇති බව පසුගිය බදාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වරාය වෘත්තීය සමිති සමග පැවැත්වූ සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය. අමුතු බසකින් කීවත් ඇත්ත එයයි. අමුතු බස් අනුව නම් සිදුවන්නේ “විකිණීමක් හෝ බදු දීමක් නොවේ. එය සංවර්ධනය කිරීම සඳහා හවුල් ආයෝජනයක් කි‍්‍රයාත්මක කරන අතර, ඒ අනුව අදාළ ආයෝජනයෙන් 51% ක අයිතිය ශී‍්‍ර ලංකාවටත් ඉතිරි 49% ක අයිතිය ඉන්දියාවේ අදානි සමාගමටත් හිමිවේ.” අප දන්නා ආකාරයට නම් ප්‍රාග්ධනය අනුව හිමිකාරිත්වය බෙදී යයි. හිමිකාරීත්වයක් නොලැබෙන දෙයකට ප්‍රාග්ධන ආයෝජනය කරන දානපති සමාගම් ගැන අප අසා නැත. එහෙම එකක් තිබේ නම් එය අමුතුම ධනවාදයකි.

මේ විකිණීම සාධාරණීකරණය කිරීම සඳහා ජනාධිපතිවරයා කියන්නේ පසුගිය ආණ්ඩුව හම්බන්තොට වරාය බදුදුන් බවයි. ඔහුගේ තර්කය අනුව, පසුගිය ආණ්ඩුව හම්බන්තොට වරාය චීනයට බදුදුන් නිසා වත්මන් ආණ්ඩුව නැගෙනහිර පර්යන්තයේ 49%ක් ඉන්දියාවට විකිණීම සම්බන්ධයෙන් ජනතාව විරුද්ධ විය යුතු නැත.

නැගෙනහිර පර්යන්තය විකිණීමේ ගනුදෙනුවට මුලපිරුවේ පසුගිය ආණ්ඩුව බවද කියනු ලැබේ. පසුගිය ආණ්ඩුව අනුගමනය කළ මූලෝපාය වෙනස් එකකි. එහෙත්, දැන් ඒ ගැන කතා කිරීම පවා තේරුමක් නැත. පසුගිය ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති හා උපායමාර්ග පසුගිය මැතිවරණ දෙකකදීම මහජනතාව ප්‍රතික්ෂේප කළහ. එපමණක් නොව, දේශීය සම්පත් කිසිසේත්ම නොවිකුණන බව හා විකිණූ සම්පත් පවා ආපසු පවරාගන්නා බව කී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකේ ජනවරමක් ද ලබාදුන්හ. ජනාධිපතිවරයා ඒකාධිපති බලතල පවරාගන්නා 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද සම්මත කරගත්තේය. දැන් ඉතින් ඔහුට දුන් පොරොන්දු අනුව කටයුතු කරන්නට ගැටලුවක් තිබිය නොහැකිය.

එහෙත්, ඇත්තෙන්ම ගැටලුවක් තිබේ. රජය බලයට පැමිණියේ වේගවත් සංවර්ධනයක් පිළිබඳ සිහිනයක් මහජන හදවත් තුළ නිර්මාණය කරමිනි. ඒ සඳහා වේගවත් ආර්ථික වර්ධනයක් අත්පත් කරගත යුතුය. වේගවත් ආර්ථික වර්ධනයක් අත්පත් කරගන්නට නම්, ලෝක ආර්ථිකය තුළ ශ්‍රී ලංකාවට තිබෙන අවස්ථා උපයෝගී කරගත යුතුය. නිමි ඇඳුම් අපනයනය කරමින්, මැද පෙරදිගට ශ්‍රමිකයන් පටවමින්, තේ, රබර්, පොල්වලින් හා සංචාරකයන්ගෙන් පමණක් එකී ආර්ථික වර්ධන වේගය අත්පත් කරගත නොහැකිය. එවැනි සංවර්ධනයක් අවශ්‍ය නම්, විදේශ ආයෝජකයන් ආකර්ශනය කරගත යුතුය. රාජ්‍ය ප්‍රතිපත්ති විදේශ ආයෝජන හිතවාදී විය යුතුය. එසේම, ඒවා ස්ථාවර ප්‍රතිපත්ති විය යුතුය.

විදෙස් ආයෝජකයන් මේ රටට පැමිණෙන්නේ ඔවුන්ට ලෝකයේ තිබෙන රටවල් දෙසීයක් පමණ අතර ශ්‍රී ලංකාව විශේෂ රටක් වෙනවා නම් පමණි. ශ්‍රී ලංකාව එවැනි විශේෂ වශයෙන් ආයෝජන හිතවාදී රටක් වන්නට නම්, එහි මනා යටිතල පහසුකම් තිබිය යුතුය. එනම්, විදුලිය, මහාමාර්ග, වරාය, ගුවන් තොටුපල ආදිය හොඳ තත්වයක තිබිය යුතුය. ශ්‍රම ඵලදායිතාව ඉහළ විය යුතුය. එනම්, සේවකයන්ට ගෙවන වැටුපට ඔවුන් ඉතා ඵලදායී සේවයක් සැපයිය යුතුය. ආයෝජන හිතවාදී, ස්ථාවර බදු ප්‍රතිපත්තියක් තිබිය යුතුය. රටේ සාමය, දේශපාලන ස්ථාවරභාවය ස්වාභාවික ආපදාවලින් ආරක්ෂාව වැනි කාරණා ද වැදගත්ය. ශ්‍රී ලංකාවේ මේ හැම ක්ෂේත්‍රයකම අඩුපාඩු තිබේ. දකුණු ආසියානු කලාපයේ වේගයෙන් සංවර්ධනය වන රටක් වන බංග්ලාදේශය බොහෝ කාරණා පැත්තෙන් ලංකාවට වඩා ඉදිරියෙන් සිටියි. අසල්වැසි බංග්ලාදේශයට නොගොස් ලංකාවට ආයෝජකයන් පැමිණෙන්නට නම් ලංකාව තව බොහෝ කැපකිරීම් කළ යුතුය. මූලික වශයෙන් රජය දැඩි ලෙස ආයෝජන හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුය. එසේ නොමැති නම්, විදෙස් ආයෝජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට තිබෙන අවස්ථාව ලබාගත නොහැකිය.

මේ වන විට කරලියට පැමිණ තිබෙන කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ විදෙස් ආයෝජනය සම්බන්ධයෙන් රජය ගන්නා තීරණය ශ්‍රී ලංකාවේ ආර්ථික මූලෝපාය සම්බන්ධයෙන් අතිශය වැදගත් එකක් බවට පත්වී තිබේ. එහෙත්, වත්මන් ආණ්ඩුවට ජනවරමක් තිබෙන්නේ මෙම ආර්ථික මූලෝපාය අනුව කටයුතු කිරීමට නොව, එයට සපුරා වෙනස් අන්දමින් කටයුතු කිරීමටයි. ආණ්ඩුව මුලින්ම අතතබා තිබෙන්නේ අතිශය සංවේදී රාජ්‍ය දේපලකටයි. එය ආණ්ඩුවට අතිශය අවාසිදායක තත්වයකි.

ආණ්ඩුව ඉදිරියේ තවත් දැවැන්ත අභියෝග රැසක් තිබේ. අවුරුද්දකට ඩොලර් බිලියන හතරකට වැඩි විදෙස් ණය ගෙවිය යුතුය. ණය ගෙවීම සඳහා විදේශ සංචිත භාවිතා කිරීමෙන් ශ්‍රී ලංකා රුපියලට ඇතිවන බලපෑම වළක්වාගැනීම සඳහා විදේශ සංචිත ශක්තිමත් කළ යුතුය. සම්ප්‍රදායික බටහිර අපනයන වෙළඳපොළවල් රැකගත යුතුය. අපේ බඩු මිලදීගන්නා රටවලින් පණවනු ලබන මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය වැනි කොන්දේසි සමග අනුගත විය යුතුය. මේ වන විට අපනයන ආදායම්, විදේශ රැකියාවලින් ලැබෙන ප්‍රේරණ, සංචාරක කර්මාන්තය ආදී බොහෝ ක්ෂේත්‍ර කඩාවැටී හමාරය. ඒ සියල්ල යළි නඟාසිටුවිය යුතුය. ඒ වෙනුවෙන් සහන ලබාදිය යුතුය. මේ අතර, බදුගෙවන ජනතාව අධික බදුබර, බඩු මිල, වැටුප් වැඩි නොවීම, රැකියා අහිමි වීම වැනි ප්‍රශ්න සමුදායකට මුහුණ දී සිටිති.

මේ අතරතුර ආණ්ඩුවේ දේශපාලන ගජමිතුරු හොර තක්කඩි කොවිඩ්-19 ඇන්ටිජන් කට්ටලයෙන්, ආපසු පැමිණෙන විදේශ ශ්‍රමිකයන්ගේ ගුවන් ටිකට්පතෙන්, නිරෝධායනයෙන්, සීනිවලින්, පොල්තෙල්වලින් පවා වංචා කරති. අදානි සමාගමට වරාය විකිණීමට තිබෙන මෙම අධික උනන්දුව කොමිස් මුදල්වලට පරිවර්තනය කරගෙන සලකා බැලිය යුතුය.

ලංකාවේ සියලු ආණ්ඩු සිය ආර්ථික ප්‍රතිපත්ති විවෘතව කතාකරන්නේ නැත. මැතිවරණවලට එක ජාතියක පොරොන්දු දී බලයට පැමිණි පසු කරන්නේ වෙන දෙයකි. සියලු නායකයන් පෙනීසිටින්නේ රට වේගයෙන් සංවර්ධනය කළහැකි මැජික් පොල්ලක් අතැති විජ්ජාකාරයන් ලෙසයි. ඔවුන් ශ්‍රී ලාංකිකයන්ගේ සිත් තුළ නිර්මාණය කරන්නේ සිංගප්පූරුව වැනි රටක් පිළිබඳ සිහිනයකි. මෙය ශ්‍රී ලංකාවට කිසිසේත්ම සැබෑ කරගත නොහැකි සිහිනයකි. මේ විජ්ජාකාරයන් ගෙදර යනවිට ඔවුන් වටා සිටි ගජමිතුරු බලවේග නම්, විජ්ජා බලයෙන් මෙන් ධනවතුන් වී සිටිනු දක්නට ලැබේ.

මේ රටේ ජනතාවට දැන් අවශ්‍ය ඒ සිහිනයෙන් මිදීමයි. ශ්‍රී ලංකාවේ දේශපාලකයන් විසින් ඉතිහාසයක් පුරා ජනතාවට කියා තිබෙන්නේ බොරුය. ඒ නිසා බටහිර සංවර්ධන මොඩලය වෙනුවෙන් රට සූදානම් කිරීම සඳහා කවුරු තව මොන බොරුව කිව්වත් ජනතාව පිළිගන්නේ නැත. බටහිර මොඩලයේ ආර්ථික සංවර්ධනයක් සඳහා අවශ්‍ය වේගවත් ආර්ථික වර්ධනය අත්පත් කරගැනීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ශ්‍රී ලංකාවේ කිසිදු ආණ්ඩුවකට දැන් සාමකාමී අන්දමින් නම් කරන්නට බැරිය. මර්දනයෙන් කරන්නට යන දේ විනාශයකින් කෙළවර විය හැකිය.

වත්මන් ආණ්ඩුව සේරුවාවල රන් නිධියක් සොයන්නේ ඒ නිසාය. එය ඩබ්ලිව්. ඒ. සිල්වාගේ හිඟන කොල්ලා නවකතාවේ තිබෙන අවසානය වැනි එකකි. අපේ සිහිනවලට අනාගතයක් තිබෙන්නේ සුරංගනා කතාවලයි. දැන් අවශ්‍ය සිහිනවලින් පිබිදී ඇත්ත දැකීමයි. ලංකාව කවදාවත් සිංගප්පූරුවක් නොවන බව දැනගෙන තියෙන මානව සංවර්ධනය රැකගන්නා වෙනත් විදියක් ගැන අප සිතිය යුුතුය.

1 thought on “සේරුවාවිල රත්තරං නැගෙනහිර ජැටියෙන් නැව්ගත වන හීන

Leave comment

Your email address will not be published. Required fields are marked with *.