මහාචාර්ය රොහාන් සමරජීව විසිනි

අර්ථශාස්ත්‍ර කියන්නේ රාජ්‍ය පාලනය ගැන විද්වත් රචනාවක්. එහි කර්තෘවරයා ලෙස සැලකෙන්නේ චන්ද්‍රගුප්ත මෞර්ය රජුගේ කාලයේ (ක්‍රි.පූ. 321-297) ජීවත් වූයේ යයි සැලකෙන කෞටිල්‍ය හෙවත් චානක්‍යයි. මෙම තීරු ලිපියේ අරමුණ කෞටිල්‍යගේ චින්තනය නැවත පණගැන්වීම නොවෙයි. මෙහි අරමුණ වන්නේ වර්තමාන අභියෝගවලදී රාජ්‍ය පාලනයට අවශ්‍ය නව චින්තනය නිර්මාණය කරගැනීම දිරිගැන්වීමයි. කෞටිල්‍ය ලිව්වේ එකල පැවති පාලනය වෙනුවෙනුයි. මා ලියන්නේ අපගේ ජනතාව හා අපගේ ජනරජය වෙනුවෙනුයි. කෞටිල්‍ය විසින් දෙන ලද උපදෙස් සියල්ලත් ක්‍රියාත්මක වුණේ නැහැ. මෙහිදීත් ඒක වෙන්නට පුළුවන්.   

අලුත් සිතුවිලි අවශ්‍ය ඇයි? අපව පාලනය කරනු ලබන්නේ අසමත් රාජ්‍යයක් විසින්. 1930 දශකයේ මහා ආර්ථික අවපාතය හා මැලේරියා වසංගතෙයේ සිට අපගේ ජනතාවගේ ජීවිතවල ක්‍රමානුකූල වෙනස්කම් සිදුවුණා. ගෝලීය ආර්ථික අර්බුදයේ හා දේශගුණික විපර්යාසයේ ස්වභාවය නිසා ඒවා තවදුරටත් තිරසර අන්දමින් කරන්නට හැකියාවක් නැහැ. ශ්‍රී ලංකාවේ දුර්වල රජය අවස්ථා පාවිච්චි කරන්නට පමණක් නොවෙයි, හානි අවම කරන්නට පවා අසමත් වන බව ඔප්පු කරමින් ඉන්නවා.

පොදු පිළිගැනීම කුමක් වුවත්, සමස්තයක් ලෙස සැලකුවාම ශ්‍රී ලංකාවේ තත්වයේ බිඳවැටීමක් නැහැ. (එහෙත්, සංවර්ධනයේ බොහෝ මානයන් සම්බන්ධයෙන් ගත්විට අප රට සිටින්නේ සාපේක්ෂව පසුපසිනුයි.) ජනතාව දැන් අතීතයේදී ජීවත් වූ කාලයට වැඩි කාලයක් ජීවත් වෙනවා. උපතේදී ආයු අපේක්ෂාව දැන් හැත්තෑගණන්. එය නිදහසට පෙර සමයේ තිබුණු අගය මෙන් දෙගුණයක් තරම් වෙනවා. හැම ගෙදරකම වගේ දුරකථනයක් තිබෙනවා. අන්තර්ජාල ප්‍රවේශය තිබෙන්නේ ජනගහනයෙන් අඩකට අඩු සංඛ්‍යාවකට පමණක් වීම වෙනම කාරණයක්. දුරකථන සේවා සම්බන්ධ ප්‍රතිසංස්කරණ පටන්ගන්නා සමයේ දුරකථන ලබාගැනීම සඳහා පොරොත්තු ලේඛනයේ ලක්ෂ තුනක් ජනතාව බලාසිටියා. නිවාසවලින් සියයට සීයකට ආසන්න ප්‍රමාණයකට විදුලිය ලබාදී තිබෙනවා. කාර් හා වෑන්ම නොවුණත්, පෞද්ගලික ප්‍රවාහන මාදිලි පසුගිය කාලයේ ඉතා වේගයෙන් වර්ධනය වුණා. ඒ හේතුවෙන් ඇති වුණ මාර්ග තදබදය ප්‍රශ්නයක් වුණත්, ඇතැම් ස්ථාන කරා ළඟාවීමේ ගමන් කාලය කෙටි වී තිබෙනවා. 

සැබෑ ජයග්‍රහණත් තිබෙනවා. ඒවා අත්පත් කරගෙන තිබෙන්නේ අවිධිමත් ක්‍රියාමාර්ග හා ආපසු ගෙවීමට දුෂ්කර ණය ආදිය මගිනුයි. එසේම, විධිමත්, ප්‍රකාශිත ප්‍රතිපත්ති මත පදනම් වෙලාත් නෙමෙයි. අවස්ථා කීපයකදී හැර, ආර්ථික ඵලදායිතාව වර්ධනය කරගැනීම කෙරෙහි හා රජයේ ධාරිතාවන් ගොඩනැගීම කෙරෙහි අවධානයක් යොමුකර නැහැ. වෙනිසියුලාව හා සිම්බාබ්වේ වැනි සාපේක්ෂව ඉහළ මට්ටමේ මානව සංවර්ධනයක් සහිත රටවලින් නිරූපණය වූ ආකාරයට, දිග්ගැසුණු ආර්ථික අවපාතයන් හේතුවෙන් ජීවන තත්වයන් ඉක්මණින් බිඳවැටිය හැකියි. සිංගප්පූරුව හා දකුණු කොරියාව අල්ලන්නට කයිවාරු ගහනවා වෙනුවට අප දැන් වටහාගත යුතු වන්නේ බංග්ලාදේශයත් අප පසුකර යන බවයි.

බිඳවැටෙන රාජ්‍ය හැකියාව

(ලොව සාර්ථකම ආයෝජකයකු ලෙස සැලකෙන) වොරන් බෆට් වරක් කී ආකාරයට හෙළුවැල්ලෙන් පීනන අය අතට අසුවන්නේ රැල්ල බැසගිය පසුයි. 1930 දශකයෙන් පසු, ලෝක ආර්ථිකය දැවැන්තම හැකිළීමට ලක්වන මෙම කාලයේදී ශ්‍රී ලංකාවේ අනාරක්ෂිත තත්වය කැපීපෙනෙනවා. ශ්‍රී ලංකාවේ වානිජ අපනයන ප්‍රමාණවත් තරම් විවිධාංගීකරණය වෙලා නැහැ. ඒ නිසා ඒවා දිනෙන් දින වැඩි වැඩියෙන් දුෂ්කරතාවලට මුහුණ දෙනවා. එයට හේතුව ඉල්ලුම අඩුවීමයි. සංචාරක කර්මාන්තය ඇතුළු සේවා අපනයනයෙන් ලැබෙන ආදායම් කොවිඩ්-19න් පසු යථා තත්වයට පත්වන්නට කාලයක් ගතවේවි. ණය ගෙවන්නට තවත් ණය ගැනීම පසුගිය කාලයේ සෑම රජයකම පිළිවෙත වුණා. එහෙත්, ණය ශ්‍රේණිගත කිරීම් පහළ වැටීම නිසා ශ්‍රී ලංකාවට දැන් එය ද පහසු නැහැ. ප්‍රතිපත්ති අස්ථාවරත්වය තමයි එසේ ශ්‍රේණිගත කිරීම් පහළ බසින්නට හේතුව.

අපනයන ආදායම් බිඳවැටීම හමුවේ රජය ප්‍රතිචාර දැක්වූයේ දුරදිග කල්පනා නොකළ ආනයන සීමාකිරීම් මගිනුයි. එම ප්‍රතිපත්තිය පසුපස තිබුණේ අතිසරල වානිජ චින්තනයක්. ඒ අනුව, සියලු ආනයන නරක දේ ලෙස සැලකුවා. එසේම, රාජ්‍යයන් අතර වෙළඳ ශේෂයන් බරපතල ආර්ථික දර්ශක ලෙස සැලකුවා. වර්තමාන ආර්ථිකය තුළ අපනයනය සඳහා ආනයනයන් අත්‍යවශ්‍ය වන බව ඔවුන් හරිහැටි වටහාගෙන නැහැ. අපනයනය කරන්නට තේ වවන්නට පවා පොහොර අවශ්‍ය වෙනවා. තේ අසුරන ද්‍රව්‍ය පවා ආනයනය කරනවා. ප්‍රතිඵලය වන්නේ අවිනිශ්චිතභාවය, ප්‍රමාදය හා දූෂණය සඳහා අවස්ථා උදාවීමයි. බොහෝ විට කාර්යක්ෂම නැති පිරිසක් වන රාජ්‍ය නිලධාරීන්ට පුළුල් බලතල පැවරීම අසමත් වීමට හොඳ මාර්ගයක්.

බොහෝ නිරීක්ෂකයන් දකින ආකාරයට ශ්‍රී ලංකා රාජ්‍යයේ මෙහෙයුම්කරුවන්ගේ කාර්යයන් ඵලදායී ලෙස ඉටුකිරීමේ හැකියාව පහත බසිමින් තිබෙනවා. එයට එක් හේතුවක් වන්නේ රාජ්‍ය අසමත්කම් නිරීක්ෂකයන්ගේ අගතියක් ලෙස සැලකීමයි. අප්‍රසන්න මතකයන් මතුවන්නට ඉඩ තිබෙනවා. එසේම අප සන්සන්දනය කරන්නේ සමාන ව්‍යූහයනුත් නෙමෙයි.  

පළාත් සභා නවය විසින් වාර්ෂිකව ලක්ෂ හැත්තෑවක් පමණ මෝටර් වාහන හසුරුවනවා. වර්තමාන තත්වය වාහන අයිතිය දහස් ගණනකට සීමා වී තිබුණු යුගයට වඩා සපුරා වෙනස්. විදුලි සංදේශ වැනි ඇතැම් අංශවල ගනුදෙනු ප්‍රමාණය හා ඒවායේ කාර්යක්ෂමතාවත් වැඩිවෙලා. තරගකාරීත්වය හඳුන්වාදීමෙන් හා රාජ්‍ය ඒකාධිකාරය ආදායම් මත රඳාපවතින වාණිජ ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමෙන් තමයි මේ සාර්ථකත්වය අත්පත් කරගත හැකිවුණේ.

සියලුම රාජ්‍ය ආයතන ඒකාධිකාරයන්. රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගොස් කලකිරීමට ලක්වන අයෙකුට එය පෞද්ගලික අංශයෙන් ලබාගන්නට බැහැ. ආදායම් හා වියදම් මත රඳාපවතින විනය බොහෝ රාජ්‍ය ආයතනවලට නැහැ. එවැනි ආයතන අභ්‍යන්තරයෙන්ම ප්‍රතිසංස්කරණ හඳුන්වාදී තිබෙන්නේ ඉතා කලාතුරකින්. වැඩිවන සංකීර්ණ ඉල්ලුමත් සමග සමානුපාතිකව බොහෝ රාජ්‍ය ආයතනවල ධාරිතාවන් වැඩි වී නැහැ. එහි ප්‍රතිඵලය වන්නේ සේවා ගුණාත්මකභාවය පිරිහීමයි. අතෘප්තිමත් ‘පාරිභෝගිකයන්ට’ තමන්ගේ අසතුට ඵලදායී ලෙස සන්නිවේදනය කරන්නටවත් හැකියාවක් නැහැ.

තම මානව ප්‍රාග්ධනයේ ගුණාත්මකභාවය තහවුරු කරගන්නට හා එය අඛණ්ඩව උසස් කරන්නට රජය යොමුකරන්නේ අඩු අවධානයක්. මනා කාර්යසාධනයක් තිබෙන සංවිධානයක පදනම වන්නේ නිසි බඳවාගැනීමේ ක්‍රියාවලියයි. එහිදී පරීක්ෂණ හා සම්මුඛ සාකච්ඡා මාලාවක් පැවැත්විය යුතුයි. එයට වගකිවයුතු අය අයදුම්පත්වල ගුණාත්මකභාවය ගැන අසතුටටත්, ප්‍රතික්ෂේප වන්නන් ප්‍රමාණය වැඩිවීම ගැන සතුටටත් පත්වෙනවා. උපාධිධාරීන් හෝ දේශපාලකයන් විසින් තෝරාගත් අය විශාල කණ්ඩායම් ලෙස බඳවාගැනීම තමයි බඳවාගැනීමේ සාමාන්‍ය ක්‍රමය. සම්මුඛ පරීක්ෂණ පවත්වන විටදී වුණත් කරනු ලබන්නේ පළපුරුද්දේ අවුරුදු ගණන බැලීම හා සහතිකවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම වැනි යාන්ත්‍රික දේවලුයි.

සේවකයකු වෙනුවෙන් වන වියදම වැටුපට හා වරප්‍රසාදවලට සීමාවෙන්නේ නැහැ. ව්‍යාපෘති වෙනුවෙන් මිල ගණන් ඉදිරිපත් කරන අය මෙය දන්නවා. ඒ නිසා ඔවුන් ඍජු වියදම් ද එයට එකතු කරනවා. සේවකයකුගෙන් ඵලදායී සේවයක් ලබාගැනීමට පරිගණක, කාර්යාල පහසුකම් ආදිය සැපයිය යුතුයි. සේවකයන් වෙනුවෙන් කරනු ලබන වියදම් ස්පර්ශීය දේවලට පමණක් සීමාවෙන්නේ නැහැ. කලින් කල සිදුකරන සමාලෝචන, පුහුණු සැලසුම් සැකසීම හා ක්‍රියාත්මක කිරීම, වෘත්තීය සංවර්ධන ක්‍රියාකාරකම් ආදියේ වියදම එයට ද එකතු විය යුතුයි. ඇතැම් සංවිධාන මෙවැනි යාවත්කාලීන කිරීම් වෙනුවෙන් සැලකිය යුතු අවධානයක් යොමුකරනවා. ඒවා වාර්ෂික වාර්තාවේ ලේඛනගත කරනවා. දැනුම පරණ වන්නට ගතවන කාලය ඉතා කෙටියි. ඒ නිසා, මානව ප්‍රාග්ධනයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීමට නොවෙයි නම් ඒ මට්ටමෙන් පවත්වාගෙන යාමට හෝ මුදල් වියදම් නොකිරීම මෝඩකමක්. මානව ප්‍රාග්ධනය තමයි සංවිධානයක ප්‍රධාන සම්පත.  

ශ්‍රී ලංකාවේ රාජ්‍යය පිළිබඳ දීර්ඝකාලීන නිරීක්ෂකයකු වන මහාචාර්ය මයික් මුවර් පෙන්වා දී තිබෙන පරිදි රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ඒක පුද්ගල වියදම අඩුවෙමින් තිබෙනවා. ඒ අතර සේවක සංඛ්‍යාව වැඩිවෙමින් තිබෙනවා. ගෙවන වැටුප අඩු මට්ටමක තබාගැනීමටත්, පුහුණුව සඳහා රජයේ වියදම් අවම කිරීමටත් හැම ආකාරයකම පාලනයන් ඇති කර තිබෙනවා (ඒ වෙනුවට ඇතැම් විට කුප්‍රකට තීරු බදු රහිත වාහන වැනි වරප්‍රසාද ලබාදෙනවා).

ගොඩනැගිලි හදන්නට සල්ලි තියෙනවා. ඒත්, ඒවායේ වැඩකරන සේවකයන්ට සාධාරණ වැටුපක් ගෙවන්නට අරමුදල් නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස, රාජ්‍ය ආයතනවල ප්‍රධානම සම්පත වන මානව සම්පත් දැඩි ලෙස පිරිහෙනවා. සංවිධානයට අවශ්‍ය කාර්යසාධනය සමග රජයේ සේවකයන්ගේ පුද්ගල දිරි දීමනා අනුගත කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. වැටුප් වර්ධක ස්ථිර ක්‍රියාවලියක්. කාර්යසාධන මිනුම් යාන්ත්‍රිකයි.

සම්පත් හිඟ සංවිධානයක් ඕනෑවට වඩා සේවකයන් බඳවාගෙන ඔවුන්ට පිළිවෙලක් නැති දිරි දීමනා ගෙවන විට සීමිත අවස්ථා වෙනුවෙන් පොරකෑම තමයි අවසානයේදී සිදුවන්නේ. නායකයන්ගේ ශක්තිය වැයවන්නේ ආයතනයේ සාමය ඇතිකරන්නටයි (එය තමයි රජයේ ආයතනවල මූලික කාර්යසාධන දර්ශකය). බාහිර සේවාදායකයන්ට සේවය සැපයීම එයට දෙවෙනි වෙනවා. ප්‍රගාමී මුලපිරුම්, මූලෝපායික ගොඩනැගීම් හා ස්ථාවර ලෙස ඒවා ක්‍රියාත්මක කිරීම් සඳහා ඉතිරිවන්නේ කෙටි කාලයක්. මෙම සංවිධානවල බොහොමයක් ක්‍රියාකාරකම් ප්‍රතිචාරාත්මකයි. එනම්, මාධ්‍යවල පළ වූ විවේචනයක් හෝ ඇමතිවරයාගේ හදිසි කල්පනාවක් වැනි හේතු මතයි ඒවා සිදුවන්නේ. අවිධිමත් ප්‍රතිචාර දැක්වීම් සඳහා ඇමතිවරුන් හා නිලධාරීන් අභිමතය අනුව බලය පාවිච්චි කරනවා. එහෙත්, එවැනි බලයක් පාවිච්චි කිරීමට පවා ධාරිතාවක් අවශ්‍යයි. ප්‍රතිඵලය වන්නේ රාජ්‍ය අංශයේ ධාරිතාව පහතවැටීමයි. දවස පුරා රැස්වීම් හා ලිපි කටයුතු නිසා නායකයන්ටත් ප්‍රගාමී මුලපිරුම් සඳහා කාලයක් නැහැ. ඊළඟ අර්බුදයේදී චක්‍රය නැවත සිදුවෙමින් කඩාවැටීම වේගවත් වෙනවා. 

තීරණ ගැනීම හා ක්‍රියාත්මක කිරීම සඳහා ඉඩදෙන නීතිමය පරිසරයක් අවශ්‍ය බව සිවිල් සමාජ නායකයන්ගේ රැස්වීමකදී මා අවධාරණය කළා. දුර්වල රාජ්‍යයක් තිබෙන එකේ ගැටලුව මොකක්ද කියා මගෙන් ප්‍රශ්නයක් නැගුවා. ලිබටේරියන්වරුන් හෙවත් ස්වාධීනතාවාදීන් අතරත් මෙසේ සිතන කොටසක් සිටිනවා. ඔවුන්ගේ චින්තනය සැකසෙන්නේ රොනල්ඩ් රේගන්ගේ දැක්මක් අනුවයි. “රජය අපගේ ප්‍රශ්නවලට විසඳුම නෙමෙයි. රජය තමයි ප්‍රශ්නය.” මෙහි තර්කානුකූල ප්‍රතිඵලය වන්නේ අඩු කාර්ය ප්‍රමාණයක් හරිහැටි කරන රජයකුයි. එම රජය කළ යුත්තේ මහජනයාට ස්ථාවරත්වය සපයන එක. එහිදී වෙනත් අය වෙනුවෙන් ධනය නිර්මාණය කරන අය බැහැර නොකළ යුතුයි.

පුදුමයට හේතු වන කාරණයක් වන්නේ, ව්‍යාපාරිකයන් පවා රජයේ කාර්යක්ෂමතාව අපේක්ෂා නොකිරීමයි. පවත්නා ව්‍යාපාරික සංස්කෘතිය තුළ ධනය නිෂ්පාදනය වන්නේ රජය හරහා ලාභ නිර්මාණය කළ හැකි අවස්ථා නිර්මාණය කරගැනීමෙන් හා  තරගකරුවන් මර්දනය කරවාගැනීමෙනුයි. දේශපාලන බලය ඇති අය ධනය හා බලය රාශිභූත කරගැනීම සඳහා තම තනතුරු භාවිතා කරනවා. ඒ සඳහා නිලධාරීන්ගේ හා ව්‍යාපාරික සහචරයන්ගේ සහාය ලබාගන්නවා. රජයේ අකාර්යක්ෂමතාව මේ හැමකෙනෙකුගේම අරමුණුවලට ගැලපෙනවා. රජය සම්බන්ධයෙන් අපට භාවිතා කරන්නට සිදුවන්නේ Kleptocracy හෙවත් චෞර පාලනය කියන වචනයයි. 

දියසේන නොපැමිණීම

1990 දශකයේදී කර්මාන්ත අමාත්‍යාංශය විසින් පවත්වාගෙන ගිය බලපත්‍ර අධිරාජ්‍යය සාර්ථක ලෙස බිඳදමා, 2001දී ශ්‍රී ලංකා ආර්ථිකය අවපාතයෙන් ගලවාගැනීමෙන් රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවෙ ආර්ථිකය කළමනාකරණය කිරීම සඳහා යෝග්‍ය කළමනාකරුවකු බව පෙන්වූවා. එහෙත්, 2015-19 වකවානුවේදී මෙම කීර්තියට දරුණු හානියක් සිදුවුණා. දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය සාර්ථක ලෙස අවසන් කිරීමෙන් හා කොළඹ නගරය අලංකාර කිරීමෙන් ගෝඨාභය රාජපක්ෂ වැඩකරන නායකයකු ලෙස කැපීපෙනුණා. පසුගිය මැතිවරණ ව්‍යාපාරයේදී ප්‍රචාරය කරනු ලැබුවේ එයයි. එහෙත්, ඔහුගේ පාලනයේ පළමු වසර තුළදී ඒ ප්‍රතිරූපය බිඳවැටුණා.  

පද්ධතියේ අසාර්ථකත්වය සම්බන්ධයෙන් පුද්ගලයන්ට දොස් පැවරීම ලේසියි. එහෙත්, වරද තිබෙන්නේ පිරිහුණු රාජ්‍ය ධාරිතාව තුළයි.

ඍණ වර්ධනයකට මුහුණ දී සිටි ආර්ථිකය එම තත්වයෙන් ගලවාගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ විසින් භාවිතා කරන ලද යාන්ත්‍රණය ඒ වනවිටත් තිබුණේ ගරාවැටෙමිනුයි. ඔහුගේ 2015-19 කාලයේදී දක්නට ලැබුණු වෙනස වුණේ ඔහු 2001-04 කාලයේදී කළ අන්දමින් රාජ්‍ය යාන්ත්‍රණයේ ජරපත් කොටස් ක්‍රියාත්මක කරවීමේ නම්‍යශීලීත්වයෙන් යුක්ත නොවීමයි. එසේම, ඔහු විසින් රජය තුළට ගෙන එන ලද බාහිර පුද්ගලයන් ද අපේක්ෂා ඉටුකිරීමට අසමත් වුණා.

ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් ගත්විට පෙනෙන දෙය වන්නේ පටු ලෙස නිර්ණය කරන ලද කලාපයකදී ඵලදායී බව පෙනුණු මෙහෙයවීම හා පාලනය ජනාධිපතිවරයකු ලෙස මුහුණ දෙන්නට සිදුවන සංකීර්ණ පද්ධති ප්‍රශ්න සම්බන්ධයෙන් යෝග්‍ය නැති බව ඔප්පු වීමයි. මූලික ප්‍රශ්නය වන්නේ රාජ්‍ය ධාරිතාවේ පහතවැටීමයි. එය තම කාර්යයන් ඉටුකිරීමට අසමත් වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයා වර්තමාන හෝ හිටපු හමුදා නිලධාරීන් කෙරෙහි විශ්වාසය තබනවා. එය හරියට කලින් සිටි පාලකයන් තමන්ගේ පාසල් මිතුරන් කෙරෙහි විශ්වාසය තැබුවා වගෙයි. එහෙත්, අවසානයේදී අවබෝධ වන්නේ ඔවුන්ගේ කුසලතා මෙම කාර්යයන්ට නොගැලපෙන බවයි.  

කාටවත් ශ්‍රී ලංකාව බේරාගන්නට බැහැ. ශ්‍රී ලාංකිකයන් දියසේන කුමාරයාගේ මිථ්‍යාව පසුපස ඕනෑවට වඩා කාලයක් ගෑටුවා. පළමු රාජසිංහ (ක්‍රි.ව. 1581-1593) දියසේන කුමාරයාගේ ආසන්නයටම පැමිණියා. එහෙත්, ආක්‍රමණිකයා පරදවන්නට ඔහු ද අසමත් වුණා. උඩරට රජවරුන් අතරින් සාර්ථකම රජු වූ දෙවන රාජසිංහ (ක්‍රි.ව. 1629-1687) ලන්දේසීන් සමග කළ ඇසුර නිසා ඔහු ගැන කතාකරන විට ‘ඉඟුරු දී මිරිස් ගත්තා වාගේ’ යන ප්‍රස්ථාව පිරුළ සඳහන් වෙනවා. බුදුන්ගේ උපතින් වසර 2,500කට පසු ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත්වන්නට එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායකට වාසනාව තිබුණා. ඔහු තමයි වර්තමාන දේශපාලකයන් අතරින් දියසේන මිථ්‍යාවට වැඩියෙන්ම සමීප වූ නායකයා. එහෙත්, අවසානය සිදු වූ ආකාරය අප හැම කෙනෙකුම දන්නවා. වාර්ගික ගැටුම් ඇවිලුණා. ආර්ථික අවපාතය ඇරඹුණා. අවසානයේදී ඔහු ඝාතනයට ලක්වුණා.

එය 16වන හා 17වන සියවස්වලදී පැවති ප්‍රාථමික ආර්ථිකයන් හා සීමිත සමාජයන් තුළ පවා අසාර්ථක වූ මිථ්‍යාවක්. වර්තමාන සංකීර්ණ ආර්ථිකයකදී හා ජනරජ දේශපාලන සමාජයක් තුළදී එහි තේරුමක් නැහැ. බණ්ඩාරනායක ඛේදවාචකයෙන් පවා පාඩමක් ඉගෙන නොගත් අපගේ ජනතාව දියසේන කුමාරයා සෙවීම නතර කළේ නැහැ. බුද්ධ ජයන්තියෙන් අවුරුදු 60කට පසු දැන්වත් අප දියසේන මිථ්‍යාවෙන් මිදිය යුතුයි.

විසඳුම ආයතනික එකක්. එය පුද්ගලයකු මත රඳාපවතින එකක් නෙමෙයි. යළි පිබිදෙන ආසියාවේ පවතින අවස්ථා ලබාගැනීමෙන් අප වළක්වන බාධක ඉවත් කරන්නට හා වසංගත, ජනවිකාස වෙනස්කම් හා පාරිසරික විපර්යාස තර්ජන කළමනාකරණය කරගන්නට අපට උදව් කරන්නට කිසිදු තනි පුද්ගලයකුට හැකියාව නැහැ. 

රාජ්‍යය ප්‍රතිසංස්කරණය කිරීම හා වෙනස් කිරීම හැර වෙනත් විකල්පයක් නැහැ. එහෙත්, සම්පූර්ණ රාජ්‍යයම පරිගණකයක් සේ ෂට් ඩවුන් කර රීස්ටාට් කළ නොහැකියි. (සුවිශේෂ තත්වයන් තුළදී සමහර කොටස් සම්බන්ධයෙන් නම් එහෙම කරන්නට සිදුවේවි.) රාජ්‍ය සේවකයන් සියලුදෙනා ගෙදර යවා අලුත් පිරිසක් බඳවාගන්නට බැහැ. (අලුතෙන් සුදුසු අය සොයාගන්නේ කොහෙන්ද?) රාජ්‍යය ප්‍රතිසංස්කරණය කිරීම ගමනේ යෙදී සිටින නැවක් අලුත්වැඩියා කරනවා වැනි දෙයක්. අර්ථශාස්ත්‍ර ලිපි පෙළෙහි අරමුණ වන්නේ 21වන සියවසේ ශ්‍රී ලංකාවට ගැලපෙන රාජ්‍ය පාලනයක් නිර්මාණය කරගැනීමේ අභියෝගාත්මක කාර්යයට අවශ්‍ය චින්තනය දිරිගැන්වීමයි.

(පරිවර්තනය අජිත් පැරකුම් ජයසිංහ විසිනි)

Translations

1 thought on “රාජ්‍ය පාලනයේ අලුත් සිතීමක් සඳහා අර්ථශාස්ත්‍ර

  1. Pawathina chanda krame yatathe , dubala ho nusudusu ho pudyalayan raajya palaneta musuwenne bahutharayak nodiyunu manas laabhien nisai .
    Honda manas den inna wedihitiyanta deahagatha kieima apahasui . Ae sandaha thoraa gatha yuththe pera paasal yugaye sita kramikawa ihalata lamunya .
    Honda adyapanknhyanta adyapana paripaalanaya baara diya yuthuya .
    Lamo kiyaviemata menma balannath purudukala yuthuya .
    Saahithya haa sawundrya praguna kiriema wedagath .
    Maanawa dayaawa menma upahasaya da uthpraasaya da handuna genmata daayakawana vishwa saahithya rasa vindviya yuthuya .
    Aek yugayaka Kumaran Rathnam paare Mahajana Prakaasakayo namin Soviat deasaye poth hithanna beri adu mudalata vikunana kadayak punchi loku kawruth welandagaththa thaamath mathakai.
    Tholsthoy pannaye saahithya kiyawoo boho aya oya kiyana yahapath minissu woo bawa athisayokthiyak nowe .
    Hebei owhoo DIYASENAYAN soyanta giye netha kisivitaka , UTHOPIYAAWAK sewwaa misa !

Leave a Reply to Sarath warnakulasuriya Cancel reply

Your email address will not be published. Required fields are marked with *.