Southern expressway

2 කොටස: එන්නත, භූගත ජලය, පොදු ප්‍රවාහනය හා තැපැල් සේවා යනාදිය (1 කොටස මෙතැනින්>>, 2 කොටස මෙතැනින්>>)

රොහාන් සමරජීව

වර්තමානයේ, ශ්‍රී ලංකා රාජ්‍යය බොහෝ දේ නරක ලෙස කරයි. ශක්තිමත් මහජන සෞඛ්‍ය පද්ධතියක් තිබියදී පවා, පිළිවෙලකට එන්නත ලබාදීම සඳහා සූදානම් වන්නට මාස ගණනක් ලැබී තිබුණත්, එන්නත පිළිවෙලකට ලබාදීමට රජය අසමත් වී තිබේ. පොදු ප්‍රවාහනය සංවර්ධනය කිරීම අමතක කර දමා ඇති එය අධිවේගී මාර්ග ඉදිකරයි.

ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ බොහෝ දේ හොඳින් කරන රාජ්‍යයකි. අවම වශයෙන්, රාජ්‍යය දේවල් කිහිපයක්වත් හරියට කළ යුතුය. ශ්‍රී ලංකා රජය විසින් හොඳින් කළ යුතුව තිබෙන දේවල් කීපය මොනවාද? ඉතා ඉහළ ප්‍රමුඛතාවක් සහිත සේවා සම්පාදනයෙන් පසු එයට අඩු ප්‍රමුඛ කාර්යයන් ආරම්භ කළ හැකිය.

ජාතික ආරක්ෂාව, නීතිය හා සාමය සහ යුක්තිය ද ඇතුළුව පොදු භාණ්ඩ  සම්බන්ධයෙන් වැරදි ප්‍රමුඛතාකරණය ගැන ලිපියේ පළමු කොටසේදී සාකච්ඡා කළෙමු.  වෙළඳපොළ පාලනය කිරීමට අසමත්වීම රාජ්‍ය්‍ය වෙතින් ප්‍රදර්ශනය විය. ඉහළ මට්ටමේ තොරතුරු අසමමිතිකභාවය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ලැබුණේ මිශ්‍ර ඇගයීමකි. නිශේධාත්මක බහිරතාවන් (negative externalities) විසින් ඇතිකරනු ලබන ගැටලුවලට ප්‍රතිකර්ම යෙදීම හා ධනාත්මක බහිරතාවන්ගේ (positive externalities) වාසි උපරිම කිරීම සඳහා ක්‍රියාමාර්ග අවශ්‍යය. ඉදිරියට සාකච්ඡා කරන්නේ ඒ ගැනයි.

බහිරතාවන්

බහිරතාවන් නිර්මාණය වන්නේ පුද්ගලයකුගේ හෝ සංවිධානයක ක්‍රියාමාර්ග ඒවා සමග කිසිදු සම්බන්ධතාවක් හෝ ගිවිසුමක් හෝ නැති අයට බලපාන විටයි.

ප්‍රතිඵලය හොඳ එකක් වන විට, එය ධනාත්මක බහිරතාවක් ලෙස විස්තර කරනු ලැබේ. යම් පුද්ගලයකු පෝලිමේ සිට කොවිඩ්-19 එන්නත ලබාගනු ඇත. එමගින් එම පුද්ගලයා කොවිඩ්-19 ආසාදනය වීමෙන් වළක්වනු ලැබේ. එසේම, නිරෝධායනය වීමේ අවශ්‍යතාවෙන් ද අනෙකුත් අහිතකර විපාකවලින් පීඩා විඳීමෙන් ද නිදහස් වේ. මෙම ක්‍රියාව එම පුද්ගලයා සමග සම්බන්ධ නැති සෙසු අයට ද වාසි අත්පත් කරදෙයි. වැඩි වැඩියෙන් මිනිසුන් එන්නත ලබාගත් විට, ආසාදනය පැතිරීමේ වේගය අඩු වේ. එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කරන අය පවා එය ලබාගන්නා අයගේ ක්‍රියාවෙන් වාසි ලබාගනිති. එවැනි තත්වයන් ධනාත්මක බහිරතාවන් වේ.

ධනාත්මක බහිරතාවන් හරහා පමණක් තමන්ට රෝගවලින් නිදහස් පරිසරයක වාසිය ලබාගත හැකි යයි මිනිසුන් සිතන්නේ නම්, ඔවුන් එන්නත හා ඒ හා සම්බන්ධ අපහසුතාවන් මගහරිනු ඇත. ඕනෑවට වඩා මිනිසුන් සංඛ්‍යාවක් මෙසේ සිතුවහොත්, එන්නතෙහි සමාජ වාසි ලබාගැනීමට බැරි වේ. රෝගය ලෝකයේ දිගටම පවතිනු ඇත. මෙහිදී රාජ්‍යයට මැදිහත් වන්නට සිදුවේ. එන්නත ගැනීම දිරිගන්වනවාට අමතරව, එන්නත් විරෝධීන්ට එරෙහිව බලහත්කාරය භාවිතා කරන්නට පවා සිදුවේ.

එන්නත ලබා නොගන්නා, සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකරන මිනිසුන්ට තම ක්‍රියාවේ ඍජු ප්‍රතිඵල භුක්ති විඳීමට හැකිවේ. එහෙත්, ඔවුන්ගේ චර්යාව හේතුවෙන් අනෙක් අයට පීඩා විඳීමට සිදුවේ. එයට හේතුව ඔවුන් විසින් රෝගය පැතිරවීම නිසා සමාජය සාමාන්‍ය තත්වයට පත්වීම සඳහා කල් ගතවීමයි. එය නිශේධාත්මක බහිරතාවකට නිදසුනකි.

පෞද්ගලික ඉඩමක කනිනු ලබන නළ ළිඳකින් වතුර ලබාගැනීම නීත්‍යානුකූල විය හැකිය. එහෙත්, විශාල ජල ප්‍රමාණයක් පිටතට පොම්ප කරනවා නම්, අවට අනෙකුත් ළිං සිඳීයාම හෝ භූගත ජලයේ ලවණතාව වැඩිවීම සිදුවිය හැකිය. එහිදී පීඩාවට පත්වන පාර්ශ්වයන් සමග වගකිව යුතු පුද්ගලයාගේ සම්බන්ධතාවක් නැත. මෙය ද නිශේධාත්මක බහිරතාවක් සඳහා උදාහරණයකි. වහාම ඇතිවන ප්‍රතිඵලයක් නැති වුවද, විශාල වතුර ප්‍රමාණයක් පිටතට ගතහොත්, අසම්බන්ධ පාර්ශ්වවලට ද නිශේධාත්මක ප්‍රතිඵල ඇතිවේ. රාජ්‍යය විසින් යම් ක්‍රියාමාර්ගයක් නොගතහොත්, සිදුවනු ඇත්තේ කිසිවකුට පානීය ජලය ලබාගැනීමට බැරිවීමයි. 

එහෙත්, එකම විසඳුම භූගත ජලය ලබාගැනීම තහනම් කිරීම හෝ සෑම නළ ළිඳක්ම දිනපතා පරීක්ෂා කිරීම නොවේ. මේ සඳහා ලබාදිය හැකි ප්‍රායෝගික විසඳුම් අතර, භූගත ජලය සම්බන්ධයෙන් පැහැදිලි පෞද්ගලික දේපල හිමිකම් ලබාදීම හා පාර්ශ්වයන්ට සාකච්ඡා කරන්නට ඉඩ ලබාදීම තිබේ. නළ ළිං මගින් පොදු ටැංකියකට ජලය පුරවා, හිමිකම තිබෙන සියලු පාර්ශ්වවලට මීටර් මගින් මැන ජලය ලබාදීම සහ විවිධ ස්වරූපවල නියාමනයන් ක්‍රියාත්මක කිරීම ද සිදුකළ හැකිය.

බහිරතාවන් නිසා ඇතිවන ගැටලු

බොහෝ අය පොදු භාණ්ඩ උවමනාවට වඩා පුළුල් ලෙස අර්ථ නිරූපණය කරති. උදාහරණයක් ලෙස, වර්තමානයේදී රජය විසින් සපයනු ලබන සියලු භාණ්ඩ හා සේවා පොදු භාණ්ඩ ලෙස සලකනු ලැබේ. එම නිසා රාජ්‍ය අංශය විසින් ඒවා දිගටම ලබාදිය යුතුව තිබේ යැයි ඔවුහූ කියති. ඒ ආකාරයටම, සෑම තැනකම ධනාත්මක හා නිශේධාත්මක බහිරතාවන් දැකීමේ ප්‍රවණතාවක් ද තිබේ. එමගින් රාජ්‍ය මැදිහත්වීම හෝ සැපයුම සඳහා ඉතා පළල් සාධාරණීකරනයන් රාජ්‍ය කේන්ද්‍රීය චින්තනය මුල් බස ඇති අපේ වැනි සමාජයන්හී දක්නට ලැබේ. 

දිගු දුර ගමන් යන වාහන දක්ෂිණ අධිවේගී මාර්ගය වෙත යොමුවීමෙන්  ගාලු පාර අද්දර ජීවත් වෙන හා එය භාවිතා කරන ජනයාට  යම් සහනයක් ලැබුණු බව ඇත්තකි. එහෙත්, දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා දරන ලද දැවැන්ත වියදම එමගින් පමණක් සාධාරණීකරනය කළ නොහැකිය. අලුත් පාර පිළිබඳ ආර්ථික සාධාරණීකරණය සිදුකළ යුත්තේ කෘෂිකාර්මික අපනයනවලට අවස්ථාව ලැබීම, අලුත් කම්හල් පිහිටුවන ස්ථාන විවෘත වීම සහ සංචාරකයන් ගුවන් තොටුපළේ සිට සංචාරක නිකේතනය කරා ඉක්මණින් ගෙන යාමේ හැකියාව ආදී කාරණා මත පදනම්වය. ගාලු පාරේ තදබදය හා මරණ අවම වීම අගය කළ යුතුය. සමස්ත පිරිවැය වාසි ගණනය කරන විට ඒවාද අදාළ කරගත යුතුය. එහෙත්, එය මූලික තර්කනය බවට පත් කර නොගත යුතුය.  

අධිවේගී මාර්ගය භාවිතා කරන්නන්ට ලැබෙන ඍජු වාසිය ගාස්තු හරහා ආපසු ලබාගත හැකිය. එහෙත්, ලංකාව වැනි රටක ආදායම් මගින් සියලු වියදම් ආවරණය වන්නේ නැත. ධනාත්මක බාහිර වාසි නිසා රාජ්‍යයට අධිවේගී මාර්ගය ඉදිකිරීමේ මූල්‍යමය වාසි නොතකා දීර්ඝ කාලීන ආර්ථික වාසි මත සාධාරණීකරනය කර ප්‍රතිපාදන සැපයිය හැකිය. බදු ගෙවන්නන්ගේ අරමුදලින් සිදුකරන වියදම් සාධාරණීකරනය කරන්නට සිදුවන්නේ විවිධාකාර බහිරතාවන් මත පදනම්වය.

නාගරික පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් ද ඒ හා සමාන තර්කනයක් යෙදේ. අසාමාන්‍ය ජන ඝනත්වයක් සහිත හොංකොං නගරයේ පොදු ප්‍රවාහනය හැර, ලොව අනෙකුත් සියලු නාගරික ප්‍රවාහන පද්ධතිවලට තම වියදම් ආදායමෙන් ආවරණය කරගත නොහැකිය. ඒ නිසා දිගටම සහනාධාර අවශ්‍ය වේ. නාගරික ජන ජීවිතයේ සමස්ත ගුණාත්මකභාවය මත ඇතිවන බලපෑම සැලකිල්ලට ගෙන මෙවැනි සහනාධාර සාධාරණීකරණය කළ හැකිය. පොදු ප්‍රවාහනය මගින් මාර්ග අවකාශය වඩාත් ඵලදායී ලෙස භාවිතා කළ හැකිය. එය නොමැති නම්, වැඩි වැඩියෙන් මාර්ග ඉදිකිරීම කරන්නට සිදුවේ. එසේ කළත්, වේගවත් වාහන ගමනාගමනයක් සිදුවන්නේ නැත. එහෙත්, වායු හා ශබ්ද දූෂණය නම් ඉහළ යන බව නියතය.

පොදු ප්‍රවාහනය යනු මුදල් අය කළ හැකි, මුදල් අය කළ යුතු සේවාවකි. එහෙත්, ඒ සමග සම්බන්ධ සැලකියයුතු බහිරතාවන් ප්‍රමාණයක් තිබෙන නිසා මෙහෙයුම් සහනාධාර දිගටම පවත්වාගැනීම මැනැවින් සාධාරණීකරනය කළ හැකිය. අවස්ථානුකූලව, එම සහනාධාර කුලී රථ හෝ කාර්ය බහුල නොවන කාලයන් තුළ සපයනු ලබන විශේෂිත සේවාවන්වලට ද ලබාදිය හැකිය.

බහිරතාවන් හා රාජ්‍ය මැදිහත්වීම 

ධනාත්මක හා නිශේධාත්මක බහිරතාවන් පුළුල් ලෙස හෝ පටු ලෙස අර්ථ නිරූපණය කළ හැකිය. එහිදී රාජ්‍යයේ ධාරිතාව සැලකිල්ලට ගත යුතුය. ස්කැන්ඩිනේවියානු රටවල හෝ සිංගප්පූරුවේ හෝ මෙන් රාජ්‍ය යාන්ත්‍රණය මැනැවින් ක්‍රියාත්මක වේ නම්, එහි වැදගත්කම  සම්බන්ධයෙන් පුළුල්ව විහිදෙන අර්ථකථනයක් පිළිගත හැකිය. එහෙත් මිලියන 1.4ක මානව සම්පත් තිබියදීත්, ධාරිතාව අතින් කුඩා ශ්‍රී ලාංකික රාජ්‍ය සේවය වැනි ඒවා සම්බන්ධයෙන් වඩාත් බුද්ධිමත් වන්නේ බහිරතාවන්ගේ වැදගත්කම පටු ලෙස අර්ථකථනය කිරීමයි.

අවසානයේදී භූමිකාවන් පරාසයක් තිබිය හැකිය. කැපීපෙනෙන බහිරතාවක් පවතින පමණින් රාජ්‍යය සැපයුම්වල සියලු පැතිකඩ ග්‍රහණය කරගත යුතු නැත. එය විසින් දැරිය යුතු වගකීම් ප්‍රමාණය තීරණය කළයුතු වන්නේ රාජ්‍ය ධාරිතාව හා එහි සීමිත සම්පත් සම්බන්ධයෙන් පවතින තරඟකාරී ඉල්ලුම මතය.

රාජ්‍යයට නියාමනකරුවකු ලෙස මැදිහත් විය හැකිය. එහෙත්, එහි පවා යම් මට්ටමක් තිබේ. 

ඝෝෂාකාරී සෙල්ලම් බඩුවක් භාවිතා කරන ළමයකු අසල්වැසියන්ට නිශේධාත්මක බහිරතාවන් ඇතිකරයි. එමගින් ඔවුන්ගේ නින්දට හා නිස්කලංක පැවැත්මට බාධා සිදුවේ. එහෙත්, නියාමන ව්‍යූහයක් විසින් සෙල්ලම් බඩුවලින් නිකුත් කළ හැකි ශබ්දය සඳහා ඩෙසිබල් සංඛ්‍යාව නියම කර, රාත්‍රියේ හා පාන්දර සෙල්ලම් බඩු ක්‍රියා විරහිත කර තිබෙනවාදැයි බලන්නට වැටලීම් කිරීම සඳහා නිලධාරීන් යැවීම එමගින් සාධාරණීකරනය කළ නොහැකිය. සැලකිල්ලට ගතයුත්තේ නාගරික ජන ජීවිතය සමග සම්බන්ධ ඉතා බැරෑරුම් බහිරතාවන් පමණි. නගරවල හරකුන් ඇතිකිරීම, වහා ගිනි ඇවිලෙනසුලු උපාංග භාවිතය ආදිය එවැනි බහිරතාවන් වේ.

ප්‍රමාණවත් කාලයක් හා ස්ථාවර තාක්ෂණය තිබේ නම්, බහිරතාවන් කළමනාකරණය කරගැනීම සඳහා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි විසඳුම් මහජනතාව තුලින්ම බිහි වනු ඇත. භූගත ජලය පිටතට ගැනීම සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රික්කයේ සම්ප්‍රදායික ක්‍රම තිබිණි. එම පැරණි ක්‍රම අස්ථාවර වුණේ ස්වයංක්‍රීය පොම්ප හා නව තාක්ෂණික ළිං විදුම් යන්ත්‍ර භාවිතය ප්‍රචලිත වීම සමගයි.  කරනු ලබන හානිය දැඩි නම්, බරපතල හා ආපසු හැරවිය නොහැකි නම්,  රාජ්‍යයට මැදිහත්වීමට තරම් එම බහිරතාවන් නොවටිනා බවට කලින් එළැඹුණු නිගමනයන් සංශෝධනය කිරීමට සිදු වනු ඇත.

මැදිහත්වීම සාධාරණීකරනය වන්නේ කුමන බහිරතාවන් සඳහාද යන්න තීරණය කිරීමේදී සැලකිය යුතු බැරෑරුම්, තීරණාත්මක සාධකය විය යුත්තේ රාජ්‍ය ධාරිතාවයි. එහෙත්, අවාසනාවට මෙන්, මෙම තීරණ ගන්නට යොමුවන්නේ දේශපාලනඥයන්ගේ හා ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ හදිසි කල්පනා මතය. එහිදී රාජ්‍ය ධාරිතාව ගැන බුද්ධිමත් ලෙස සලකාබැලීම සිදුවන්නේ අඩුවෙනි. සිංගප්පූරුවේදී සාධාරණීකරනය කළ හැකි මැදිහත්වීම් එරටට වඩා කාර්යක්ෂමතාවෙන් අඩු රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙන ශ්‍රී ලංකාවට ගැලපෙන්නේ නැත.   

බහිරතාවන් හේතුවෙන් සේවා සැපයුම් රාජ්‍ය හිමිකාරීත්වය ඇති සමාගම් විසින් කිරීම සාධාරණීකරනය වෙනවාද?

රජයට අයත් හා රජය විසින් මෙහෙයවනු ලබන තැපැල් ඒකාධිකාරයට ජනතාව හුරු වී තිබේ. බොහෝ රටවල තැපැල් සේවා මහජන මුදල් නාස්ති කරන අතර ප්‍රමාණවත් තරමින් ගුණාත්මක සේවාවක් ලබාදීමට අසමත්ය.  මිනිසුන් ලියුම් ලිවීම නැවැත්වීමෙන් පසු හා බිල්පත් විද්‍යුත් මාර්ගයෙන් ලබාදීම ස්ථාපිත වූ පසුව පවා, පාර්සල් බෙදාහැරීමට තැපැල් සේවා අවශ්‍ය විය හැකිය. ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය ප්‍රචලිත වූ විට, එය ද වෙනස් විය හැකිය. නමුත් මෙය හෙට අනිද්දා සිදු වන්නක් නොවේ.

යවන අයට හා ලබාගන්නා අයට තැපැල් සේවයෙන් ඍජුවම ප්‍රතිලාභ ලැබේ. එහෙත්, මුහුණට මුහුණ සේවා සපයන ස්ථාන සියල්ල සඳහා මිල අධික දේපළ සහ ගොඩනැගිලි අවශ්‍ය නොවීම වැනි  බාහිර වාසි ද තිබේ. ගුණාත්මකබව හා මිල සම්බන්ධයෙන් හොඳින්ම කටයුතු සිදුවන්නේ තරඟකාරීත්වය හරහාය. එහෙත්, ඕනෑම ජාල කර්මාන්තයක පරිද්දෙන්, තරඟකාරී සැපයුම්කරුවන් හට අන්තර් සම්බන්ධතා අවශ්‍ය වේ. එක් ජාලයක පැකේජ තවත් ජාලයක් විසින් පිළිගන්නා හෝ අඩු වශයෙන් එකම තැපැල් පෙට්ටිවලට ලබාදෙන හෝ සාධාරණ අන්තර් සම්බන්ධතා ස්වරූපයක් බලාත්මක කර නොතිබුණහොත් අලුතින් ක්ෂේත්‍රයට පිවිසෙන්නන් හට බාධක රැසකට මුහුණදීමට සිදුවේ.

වඩාත්ම යහපත් තත්වය වන්නේ රාජ්‍යයේ භූමිකාව නියාමනයට සීමා කිරීමයි. සියලු තරඟකාරී සේවා සපයන්නන් පෞද්ගලික අංශයට අයත් වේ. එහෙත්, එම ක්ෂේත්‍රයේ පෙර සිට පවතින රාජ්‍ය සංවිධානයක් හා ශ්‍රම බලකායක් තිබෙන විට, උරුමයක් සහිත සේවා සම්පාදකයකු ද සිටියි. එම සේවා සම්පාදකයාගේ වැඩ සංස්කෘතිය වෙනස් කළේ නැතිනම් සිදුවන්නේ අලුත් මෙහෙයුම්කරුවන් සමග සාර්ථකව තරඟ කිරීමට අසමත් වන එම සංවිධානය තව දුරටත් බදුගෙවන්නන්ට බරක් බවට පත්වීමයි. මෙය වළක්වාගත හැකි එකම ආකාරය වන්නේ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයයි. එමගින් පෞද්ගලික ආයතනයකට නව වැඩ සංස්කෘතියක් හඳුන්වාදීමේ බලය ලැබේ. ඉක්මණින්ම, රාජ්‍ය හිමිකාරීත්වය අවම කළ යුතුය. රජය නියාමන කාර්යයට පමණක් සීමා විය යුතුය.

ඉහත විස්තර කරන ලද පරිදි, රාජ්‍යයේ ප්‍රමුඛතා පිළිබඳ දේශපාලන සංවාදයක පදනම ලෙස නීති භාවිතා කළ යුතුය. විවිධ දේශපාලන සංවාද විසින් නිශ්චිත තත්වයන් සඳහා යෝග්‍ය පිළිතුරු මතුකරනු ඇත.

පරිවර්තනය: අජිත් පැරකුම් ජයසිංහ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඡායාරූපයට ස්තුතිය: ෂින්හුවානෙට් වෙත

1 thought on “අර්ථශාස්ත්‍ර 3: ශ්‍රී ලංකා රාජ්‍යය ප්‍රමුඛතාව දිය යුත්තේ කුමකටද?

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: