රජයේ දැවැන්ත මිනිස් බල සංචිතය සඳහා අයදුම්පත් කැඳවේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දිළිඳුභාවය පිටුදැකීම සඳහා වන නව නිර්මාණාත්මක සංකල්පයක් වන බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය සඳහා ලක්ෂයක් දෙනා බඳවාගැනීමේ අයදුම්පත් කැඳවීමේ දැන්වීම අද දින පුවත්පත්වල පළ වී තිබේ. මෙම අයදුම්පත් කැඳවා තිබෙන්නේ අලුතින් පිහිටුවන ලද බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසිනි. අයදුම්පත් ලබන පෙබරවාරි 15දා හෝ ඊට පෙර ග්‍රාමසේවා නිලධාරිවරයා වෙත භාර දිය යුතුය.

Translations by Creative Content Consultants

වයස අවුරුදු 40ට අඩු අයදුම්කරුවන්ට මේ සඳහා ඉදිරිපත් විය හැකි ය. මෙහි විශේෂත්වය වන්නේ අධ්‍යාපන සුදුසුකම් අවම අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව දීමයි. අධ්‍යාපන සුදුසුකම් නුසුදුසුකමක් වූ අවස්ථාවක් රජයේ සේවයේ මීට පෙර තිබී නැත. ජනාධිපතිවරයාගේ අදහස වන්නේ අධ්‍යාපන සුදුසුකම් සහිත පුද්ගලයන් රජයේ කම්කරු රැකියාවලට බඳවා ගත් විට ඔවුන් තමන්ට අදාළ කාර්යය හරිහැටි නොකරන බවයි.

අයදුම්කරුවන් සමෘද්ධි සහනාධාර ලබන, ලැබීමට සුදුසු එහෙත් නොලැබෙන පවුලක රැකියා විරහිත සාමාජිකයකු වීම හෝ වයස්ගත, රෝගාතුර දමව්පියන් හෝ ආබාධිත සාමාජිකයන් සිටින පවුලක රැකියාවක් නොමැති සාමාජිකයකු වීම මේ සඳහා සුදුසුකම් ලෙස සැලකේ.

බඳවා ගන්නා අයට මාස හයක අඛණ්ඩ පුහුණුවක් සපයනු ලබන අතර පුහුණු කාලය තුළ රු. 22,500ක දීමනාවක් සැපයේ. පුහුණුව සාර්ථකව අවසන් කරන්නන්ට ප්‍රාථමික ශිල්පීය නොවන ස්ථිර තනතුරු ලැබෙන අතර වසර දහයක කාලයෙන් පසු විශ්‍රාම වැටුප් හිමිකම ලැබේ.

පුහුණුව සඳහා අදාළ ක්ෂේත්‍ර පහත දැක්වේ. අයදුම්කරුවන්ට තමන් කැමති ක්ෂේත්‍ර හතරක් නම් කළ හැකි ය. පුහුණුව සඳහා තෝරාගැනීමේදී එය සලකා බලනු ලැබේ.

  1. කෘෂි නිෂ්පාදන සහායක
  2. සාත්තු සේවා, පවිත්‍රතා සේවා සහායක
  3. ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන සහායක
  4. ආපදා කළමනාකරණ සහායක
  5. පරිසර කළමනාකරණ සහායක
  6. අලෙවි සේවා සහායක
  7. ප්‍රවාහන කටයුතු සහායක
  8. පරිගණක, තොරතුරු තාක්ෂණ, දුරකථන ක්‍රියාකරු හා සන්නිවේදන සහායක
  9. මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සහායක
  10. අරක්කැමි, භෝජනාගාර සේවක හා බොජුන්හල් සහායක
  11. තරු පංතියේ සංචාර හෝල්, බංගලා සහායක, ක්‍රීඩාංගන, පිහිනුම් තටාක සහායක සහ ජීවිතාරක්ෂක සහායක
  12. ක්‍රීඩා ආයතන, කායවර්ධන මධ්‍යස්ථාන සහායක, ක්‍රීඩාංගන, පිහිනුම් තටාක සහායක සහ ජීවිතාරක්ෂක සහායක
  13. වඩු කාර්මික හා වඩු සහායක
  14. ඇඳුම් මැසීම
  15. පෙදරේරු හා පෙදරේරු සහායක
  16. රූපලාවන්‍ය මධ්‍යස්ථාන සහායක
  17. විදුලි කාර්මික හා විදුලි කාර්මික සහායක සේවා
  18. රියදුරු හා රියදුරු සහායක
  19. සත්ව පාලනය හා ධීවර කටයුතු සහායක
  20. ඉන්ධන පිරවුම්හල් හා රථවාහන පිරිසිදු කිරීමේ සහායක
  21. දැල් හා ධීවර ආම්පන්න අලුත්වැඩියා සහායක
  22. අවි රහිත ආරක්ෂක නියාමක
  23. පූර්ව ළමා විය සංවර්ධන සහායක
  24. වැද්දුම්කරු සහායක සහ ජල නල කාර්මික
  25. ගෘහපාලන, සුබසාධන හා නඩත්තු

මෙම ලැයිස්තුව නිරීක්ෂණය කිරීමේදී දැකිය හැකි කාරණයක් වන්නේ මෙම ක්ෂේත්‍රවල දැනටත් රට තුළ පුරප්පාඩු රැසක් තිබෙන බවයි. එම පුරප්පාඩු වැඩිපුර තිබෙන්නේ පෞද්ගලික අංශයේ ය.

මෙම බලකායේ සේවකයන්ගේ සේවාවන් පෞද්ගලික අංශයට ද ලබාගත හැකි ය. මෙමගින් රජය දැවැන්ත මිනිස්බල සංචිතයක් නිර්මානය කිරීමට සැලසුම් කර ඇති බව පෙනේ. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ වකවානුවේදී නිර්මානය කරන ලද රජයට අයත් රක්නා ලංකා සමාගමෙහි ද, ඇවන්ට්ගාඩ් නම් රාජ්‍ය අනුග්‍රහය ලත් පෞද්ගලික සමාගමෙහි ද මෙම ලක්ෂණ දක්නට ලැබිණි.

බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක ම රජයේ රැකියා 350කට වඩා නිර්මාණය වන බව වාර්තා වේ. මෙම බලකාය මෙහෙයවීම සඳහා උපාධිධාරීන් 10,000ක් ඉදිරියේදී දෙපාර්තමේන්තුවට බඳවා ගැනේ.

දිළිඳුභාවය පිටුදැකීම හා සංවර්ධනය සඳහා සහනාධාර ලබාදීමට වඩා මෙය සාර්ථක වැඩසටහනක් විය හැකි ය. එහෙත්, මෙම බලකාය සම්ප්‍රදායික රාජ්‍ය සේවයෙන් වෙනස් අන්දමින් වැඩ විනයක් සහිතව ගොඩනගා ගැනීමට හා පවත්වා ගැනීමට රජය වගබලා ගත යුතු ය. ඉදිරි ඡන්දයේදී මෙම පිරිස් දේශපාලන පක්කලිකම් කිරීමට යොදා ගතහොත් බලාපොරොත්තු වන වෙනස එතනින් ම අවසන් වනු ඇති අතර රාජ්‍ය සේවයට තවත් පිළිකා සෛල ලක්ෂයක් පමණක් එක්වීමෙන් වැඩසටහනෙහි හරය අවසන් වනු ඇත.