Udayanga Weerathunga

අජිත් පැරකුම් ජයසිංහ

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බලයට පත්වූ අලුත රට සංවර්ධනය කිරීම සඳහා ඇතැයි ප්‍රකාශ කළ උපාය මාර්ගවල සංචාරක කර්මාන්තයට අති විශාල අවධානයක් යොමු කර තිබිණි. වසර 2025 වන විට සංචාරක කර්මාන්තයෙන් රු. බිලියන 10ක ආදායමක් ලබාගැනීමට ජනාධිපතිවරයා ඉලක්ක කර තිබිණි.

ජනාධිපතිවරයාගේ මෙම ඉලක්කය අනුව යමින් 2020දී සංචාරකයන් මිලියන හතරක් ආකර්ෂණය කරගැනීමටත්, ඒ ඔස්සේ ඩොලර් බිලියන පහක ආදායමක් ලබාගැනීමටත් අපේක්ෂා කරන බව සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග 2020 වසර මුලදී පැවසීය. සංචාරක ඇමතිවරයා යථාර්ථවාදී නොවන ඉලක්කයක් නිවේදනය කර දින කීපයක් යද්දී චීනයෙන් නව කොරෝනා වයිරස ආසාදනය පැතිරීම වාර්තා විය.

2018 අවුරුද්දේ ශ්‍රී ලංකාව සංචාරක පැමිණීම් සම්බන්ධයෙන් තැබූ ඉලක්කය ලක්ෂ 25කි. එහෙත්, ඔක්තෝබර් 26 මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන විසින් සිදුකරන ලද දින 53 දේශපාලන කුමන්ත්‍රණය නිසා දෙසැම්බර් මාසේ සංචාරක වෙන් කිරීම් යම් ප්‍ර‍මාණයක් අවලංගු විය. එහෙත්, ලංකාවට සංචාරකයන් 2,333,796ක් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කළේය. එය 2017 වසරට සාපේක්ෂව සංචාරකයන් ලක්ෂ තුනකට වඩා වැඩි වීමකි.

සංචාරකයින් අතරින් වැඩි පිරිසක් පැමිණියේ ඉන්දියාව, චීනය, බ්‍රිතාන්‍යය, ජර්මනිය හා ඕස්ට්‍රේලියාව යන රටවලිනුයි.

2019දී සංචාරක පැමිණීම් ලක්ෂ 30 දක්වා වැඩි වෙනු ඇතැයි ද එමගින් ඇමරිකානු ඩොලර් බිලියන 4ක ආදායමක් ද ශ්‍රී ලංකාව බලාපොරොත්තු විය. එහෙත්, පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් 2019 වසරේ සංචාරක පැමිණීම අඩු වූ අතර එය 19 ලක්ෂයට මඳක් වැඩි විය.

මේ වන විට සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳවැටී තිබේ. එය යළි ගොඩගැනීම කෙරෙහි එයින් යැපුණු ලක්ෂ සංඛ්‍යාත ජනගහනයක් බලාපොරොත්තු තබා තිබේ.

2016 වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ සංචාරක හෝටල් කාමර සංඛ්‍යාව 22,336ක් විය. 2016දී සංචාරක කර්මාන්තය විසින් සපයන ලද ඍජු හා වක්‍ර රැකියා සංඛ්‍යාව 335,659ක් බව සංචාරක සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව පෙන්වා දුන්නේය.

සංචාරක කර්මාන්තය බිඳවැටෙන්නට පෙර සංචාරකයකු රටේ රැඳෙන සාමාන්‍ය කාලය දින අටක් වූ අතර දෛනික සාමාන්‍ය වියදම ඩොලර් 180ක් විය.

සංචාරක කර්මාන්තය නැවත පණගැන්විය යුතුය. කොවිඩ්-19 අතරතුරම එය සිදුකළ යුතුය. අනෙකුත් කටයුතු මෙන්ම සංචාරක කර්මාන්තය ද කොවිඩ්-19 අතරතුර පවත්වාගත යුතුය. ඒ වෙනුවෙන් රජය යම් යම් ප්‍රයත්නයන් දරණ බව පෙනේ. රජයට ඉහළින් සිටින බලවේගයක් වන රාජපක්ෂ පවුලේ දෙදෙනෙකු වන උදයංග වීරතුංග හා තිලක් වීරසිංහ විසින් පසුගිය දිනවල යුක්රේන සංචාරකයන් පිරිසක් රැගෙන ආවේ ඒ වෙනුවෙන් යයි තර්ක කළ හැකිය. එය එක්තරා අන්දමක අත්දැකීමක් ද විය.

එහෙත්, එම ක්‍රියාවලියේ දක්නට ලැබුණු ගැටලු නිසා එය සමාජයේ දැඩි විරෝධයට ලක්විය. මේ වන විට සංචාරක කර්මාන්තය තුළ කොවිඩ්-19ට අමතරව රාජපක්ෂ වයිරසය ද පැතිරෙමින් තිබේ. තිලක් වීරසිංහ යනු නාමල් රාජපක්ෂගේ බිරිඳ වූ ලිමිනි වීරසිංහගේ පියාය. සංචාරක කර්මාන්තයේ දැවැන්තයකු වන ඔහුගේ සමාගම්වලට මේ වන විට රාජ්‍ය බලය හරහා ව්‍යාපාර ලබාගන්නා බව පෙනේ. යුක්රේන පිරිස සම්බන්ධීකරණය කළ සංචාරක ඒජන්ත සමාගම, ඔවුන් රැඳී සිටින හෝටල්, යන එන බස් ආදිය පවා රාජපක්ෂ පවුලේ ගජමිතුරු ව්‍යාපාරිකයන්ට අයත් ඒවායි. විදේශ රටවල රැකියා කර ආපසු ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රමිකයන් මුදල් ගෙවා නිරෝධායනයට යොමු කරන සංචාරක හෝටල් ද මෙම ගජමිතුරු සමාජයේ ඒවායි.

යුක්රේන සංචාරකයන් මුඛ ආවරණ පවා නොපැළඳ ඊනියා ජෛව බුබුලක් තුළ නිදහසේ සැරිසරද්දී හා උදයංග වීරතුංග පුවත්පත් සාකච්ඡා පවා පවත්වද්දී යාල වනෝද්‍යානයේ සෆාරි රැගෙන ගිය ජීප් රථ රියදුරන්ට දින 14ක නිරෝධායනයකට ලක්වන්නට සිදුවීම ඔවුන් කම්පනයට ලක්කර තිබේ. සංචාරක කර්මාන්තය පිළිබඳ මතක තබාගත යුතු කරුණක් වන්නේ එහි කොඳු නාරටිය තිලක් වීරසිංහලා වැනි මහා ව්‍යපාරිකයන් නොවන බවයි. තිලක් වීරසිංහ ද අතීතයේ සංචාරක මගපෙන්වන්නකු ලෙස කටයුතු කර තිබෙන බව අසා ඇත්තෙමි. සංචාරක මගපෙන්වන්නන්, මගපෙන්වන රියදුරන් පමණක් නොව බීච්බෝයිලා පවා සංචාරක කර්මාන්තයේදී ඉතා වැදගත්ය. ඔවුන් ද විශාල සංචාරකයන් පිරිසක් මෙරටට රැගෙන එති.

සංචාරක කර්මාන්තය පුනර්ජීවනය කරන්නට දරන උත්සාහයන් තුළ මේ සියලු පාර්ශ්වකරුවන්ට අවස්ථා හිමි විය යුතුය. කොවිඩ්-19 ආපදාව සංචාරක කර්මාන්තය තුළ මහා සමාගම් ආධිපත්‍යය තහවුරු කරගන්නා ආපදා ධනවාදයක් නොවිය යුතුය. 

ආපදා ධනවාදය යන යෙදුම ප්‍රචලිත වුණේ ධනේශ්වර ගෝලීයකරණයට එරෙහි ව්‍යාපාරයේ ක්‍රියාකාරිනියක වූ නයෝමි ක්ලයින්ගේ THE SHOCK DOCTRINE නම් කෘතිය සමගයි. ආපදාවන් උපයෝගී කරගෙන ධනවාදය සිය උවමනාවන් ඉෂ්ඨ කර ගන්නා ආකාරය නයෝමි ක්ලයින් සිය කෘතියේ නේවා දෙයි. යුද්ධ, ස්වාභාවික ආපදා ආදී ව්‍යසනයන්ගෙන් කම්පිත ජනතාවන් හා රටවල් මතින් නිදහස් වෙළඳ ප්‍රතිපත්තිය ලෝකය තුළ සිය ආධිපත්‍යය තහවුරු කර ගත් අන්දම ඇය පෙන්වා දෙයි. ඉරාක සිවිල් යුද්ධය මැද ඇමරිකා එක්සත් ජනපදය ඉරාකයේ තෙල් සම්පත් ෂෙල් සහ බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් නම් බහුජාතික සමාගම්වලට හිමි වන පරිදි නීති සැකසූ අන්දම ඇය සිය කෘතියේ උදාහරණයක් ලෙස දක්වයි. ලංකාවේ ආණ්ඩුව සුනාමියෙන් පසු වෙරළේ සිට මීටර් සියයක් මෙපිටින් පදිංචි වීම තහනම් කර වෙරළ ධීවරයන්ගෙන් කොල්ල කන්නට දැරූ උත්සාහය පිළිබඳව ද ඇය සිය කෘතියේ සඳහන් කරන්නී ය.

කොවිඩ්-19 වසංගතය සමග ආපදා ධනවාදය යළි ක්‍රියාවට නැංවෙන බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. 

Translations

2 thoughts on “සංචාරක කර්මාන්තය තුළ කොවිඩ්-19 මැදින් මතුවන ආපදා ධනවාදය

  1. Thawamath weadikaa gathawemin pawathina Peni naatakaya da , Aapada dhawaadaye thawath viyaruwaki !

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: