Skills Development

අජිත් පැරකුම් ජයසිංහ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2021-2030 දශකය නිපුණතා සංවර්ධන දශකය ලෙස නම් කිරීම ඉතා වැදගත් සංවර්ධන මූලෝපායකි. ඒ සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන වාගාලංකාර බහුල නිවේදනය අනුව මේ පසුපස භාෂාවෙන් ශිල්ප දක්වන වෘත්තීයවේදීන්ගේ ව්‍යාපෘතියක් තිබෙන බව පෙනෙන මුත්, ඇත්තට ම ක්‍රියාත්මක කරනවා නම් එය ඉතා අගනා දේශපාලන වැඩකි.

Translations by Creative Content Consultants

ශ්‍රී ලංකාවේ සමාජ සංවර්ධනය සඳහාත්, දරිද්‍රතාව පහළ හෙළීමටත් තිබෙන ප්‍රධාන ම මාර්ග වන්නේ ශ්‍රම බලකායේ නිපුණතා සංවර්ධනය කිරීම හා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමයි. කුමන ආණ්ඩුවක් බලයට පැමිණියත්, මෙය අනිවාර්යයෙන් ම කළ යුතුව තිබේ. පසුගිය ආණ්ඩුවේ සංවර්ධන මූලෝපාය තුළ ද නිපුණතා සංවර්ධනය කෙරෙහි වැඩි බරක් තබන ලදී. ජාතික වෘත්තීය සුදුසුකම් හෙවත් NVQ ක්‍රමය සංවර්ධනය කිරීම කෙරෙහි දක්වන ලද අවධානය හා කාර්මික විද්‍යාල අධ්‍යාපනය ගාස්තුවලින් නිදහස් කිරීම එවැනි ප්‍රගතිශීලී පියවර දෙකකි.

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය “නිපුණතා” නිර්වචනය කරනු ලබන්නේ, කාර්යයන් ඉටු කිරීම සඳහා සේවකයින්ට අවශ්‍ය දැනුම, දක්‍ෂතාවය, හැකියාවන් හා හැසිරීම් ලෙසයි.

නිපුණතා සංවර්ධන දශකයේ ඉලක්කය වන්නේ ගෝලීය ප්‍රවනතාවනට සහ ධරණීය සංවර්ධනය සඳහා වන 2030 ගෝලීය න්‍යායපත්‍රයට යෝග්‍ය පරිදි ඊළඟ පරපුරේ නිපුණතා ගොඩනැගීම බව දැක්වේ.

ශ්‍රී ලංකාවේ පාසල් හා උසස් අධ්‍යාපනය ප්‍රාමාණිකව ඉහළ මට්ටමක තිබේ. ප්‍රාථමික අධ්‍යාපනය ඉතා හොඳ මට්ටමක තිබෙන මුත්, ශ්‍රී ලංකාවේ සිසුන් තෘතීයක අධ්‍යාපනයට සම්බන්ධ වීම 20%කට අඩු ය. එය දකුණු ආසියානු සාමාන්‍යයට වඩා අඩු තත්වයකි. මේ අතර, අධ්‍යාපනයෙහි ගුණාත්මකභාවය සම්බන්ධ බරපතල ගැටලු තිබේ. යාන්ත්‍රික හා පුරුද්දට සිදු කරන අධ්‍යාපනය මගින් කුසලතා පූර්ණ, දියුණු පුරවැසියකු නිර්මාණය වන්නේ නැත.

නිපුණතා සංවර්ධනය වැදගත් වන්නේ මෙම සංදර්භය තුළයි. එහෙත්, නිපුණතා සංවර්ධනයේදී පුද්ගලයන්ගේ තෝරාගැනීම් ද ඉතා වැදගත් වේ. තමන් කැමති උසස් අධ්‍යාපන මාර්ගයක් තෝරාගැනීම සඳහාත්, ඒ ඔස්සේ ඉදිරියට යාමටත් අවස්ථා හිඟකම ශ්‍රී ලංකාවේ බරපතල ගැටලුවකි.

මේ වන විට ශ්‍රී ලාංකික මධ්‍යම පන්තික දහස් ගණනක් අවුරුදු පතා උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වෙති. ඔවුන් යන රටවල් අතර, බංග්ලාදේශය, නේපාලය, අසර්බයිජානය, බෙලරස්, ඉතියෝපියාව වැනි රටවල් පවා තිබේ. ඇතැමෙකුගේ අරමුණ උසස් අධ්‍යාපනයට වඩා සංවර්ධිත රටවලට සංක්‍රමණය වීමයි. කෙසේ වෙතත් මෙම සිසුන්ගෙන් කොටසකට හෝ මුදල් ගෙවා ශ්‍රී ලංකාවේදී ම උසස් අධ්‍යාපනය සඳහා පහසුකම් සැපයිය හැකිව තිබේ.

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා විදේශ ආයෝජන සහ ජාත්‍යන්තර සිසුන් ආකර්ශනය කරගැනීමෙන් ආදායම් උත්පාදනය සිදුකළ හැකි පරිදි අධ්‍යාපන පද්ධතිය පරිවර්තනය කිරීමේ ඉලක්කයක් ද රජය සතු බව වාර්තා වේ.

එසේම, ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයන්ගේ නිපුණතා සංවර්ධනය කිරීම මගින් ඔවුන්ගේ ආදායම් වර්ධනය කිරීම හා ඔවුන් විසින් සියරට එවන මුදල් හෙවත් ප්‍රේරණවල වටිනාකම වැඩි කරගැනීම ද රජයේ ඉලක්කයකි.

Photo Credit to the Canadian High Commission of Sri Lanka

Translations

Leave comment

Your email address will not be published. Required fields are marked with *.