Mount Lavinia beach

අජිත් පැරකුම් ජයසිංහ

මුහුදින් පොම්ප කර ගල්කිස්ස වෙරළේ වැලි පිරවීම හා එම වැලි සේදී යාම සමග ශ්‍රී ලංකාවේ සමාජයේ හා මාධ්‍යවල ඇති වූ කතාබහ ගැන විමසා බැලීම ඉතා වැදගත් ය.

රු. මිලියන 890ක වියදමින් ඩෙන්මාර්ක සමාගමක් විසින් කරන ලද කොන්ත්‍රාත්තුවක් වූ මෙමගින් කළුතර කැලිඩෝ වෙරළේ, රත්මලානේ හා ගල්කිස්සේ වැලි පුරවන ලදී. ගල්කිස්සේ වැලි පිරවීම සිදු වුණේ අප්‍රේල් මාසයේ කොරෝනා ඇඳිරි නීති මැදයි. එම හේතුවෙන් එය ගැන සැක සංකා මතු විය. ලංකාවේ රජයේ හා නිලධාරීන්ගේ වැඩ ජනතාවගේ සැකයට භාජනය වීම ඉතා සාමාන්‍ය තත්වයකි.

එහෙත්, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරන දෙපාර්තමේන්තුව පවසන පරිදි සිදු වී තිබෙන්නේ ඩ්‍රෙජිං යන්ත්‍ර නතර කිරීම අධික වියදමකට හේතු වන නිසා මෙම වැලි පිරවීම කල් දැමීමට බැරි වීමයි.

ගල්කිස්සේ පිරවූ වැලි සේදී යාමත් සමග එම ව්‍යාපෘතියේ අයිතිකාරයන් සොයාගන්නට නැති විය. ආණ්ඩු විරෝධීන් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ආණ්ඩුව විවේචනය කරද්දී, ආණ්ඩුව ව්‍යාපෘතියේ වගකීම පසුගිය ආණ්ඩුව මත පටවන්නට උත්සාහ කළේ ය.

මේ අතර වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරන දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැහැදිලි කරන්නට දැරූ උත්සාහය අවසානයේදී දැවැන්ත විහිළුවකට මුල විය. එහෙත්, ඇත්ත කුමක් ද?

දැන් නැවතත් මාධ්‍ය ඔස්සේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හා ඉංජිනේරුවන් පැහැදිලි කරන පරිදි මෙම ව්‍යාපෘතිය ලොව දියුණු වෙරළ සංරක්ෂණ ක්‍රමයක් වන කෘත්‍රිම වැලි පෝෂණ ක්‍රමයකි. එය සමුද්‍ර ඛාදනය වැළැක්වීම සඳහා වෙරළ දිගට ගල්වැටි දැමීමට වඩා සාර්ථක ක්‍රමයකි. එහෙත්, එය වියදම් අධික ය. ගල් වැටි දැමීමෙන් වෙරළ තීරයේ සුන්දරත්වය මෙන්ම එහි විනෝදාස්වාද, ක්‍රීඩා, සංචාරක, ධීවර ආදී කටයුතු රැසකට බාධා පැමිණේ. කෘත්‍රිම වැලි පෝෂණ ක්‍රමය එසේ නැත.

නිලධාරීන් පවසන පරිදි මෙය අලුත් දෙයක් ද නොවේ. උණවටුන මුහුදු තීරයේ සමුද්‍ර ඛාදනය වළක්වාගෙන එහි සුන්දරත්වය රැකගත්තේ ද මෙම ක්‍රමයෙනි.

මෙහි විද්‍යාත්මක පසුබිම ද සරල ය. Longshore transport යනුවෙන් භූගර්භ විද්‍යාවේදී හැඳින්වෙන්නේ වෙරළේ වැලි ප්‍රවාහය ස්වාභාවිකව සිදු වන ආකාරයයි. ලංකාවේ බටහිර වෙරළේ මෙය සිදුවන්නේ දකුණේ සිට උතුරටයි. මෙම ප්‍රවාහය සඳහා වැලි ලබාගන්නේ ගංගා ඔස්සේ සේදී එන වැලිවලිනි. වැලි ගොඩදැමීම හා වෙනත් හේතු නිසා වෙරළදිග ස්වාභාවික වැලි ප්‍රවාහයට වැලි මදි වන විට මුහුද වෙරළෙන් වැලි ලබාගනියි. එය සමුද්‍ර ඛාදනයයි.

කෘත්‍රිම වැලි පෝෂණයේදී සිදුකරන්නේ නොගැඹුරු මහාද්වීපික තටකයෙන් හඳුනාගත් වැලි නිධිවලින් වෙරළට වැලි පොම්ප කිරීමයි. එමගින් අපේක්ෂා කරන්නේ ස්වාභාවික ප්‍රවාහනය සඳහා වෙරළබඩ වැලි ප්‍රවාහය ශක්තිමත් කිරීමයි. මෙය දියුණු රටවල භාවිතා කරන වෙරළ සංරක්ෂණ ක්‍රමයකි.

තත්වය එසේ නම්, දකුණු කොළඹ වැලි පෝෂණ ව්‍යාපෘතිය ගැන නිෂේධාත්මක අදහසක් ජනමාධ්‍ය ඔස්සේ, විශේෂයෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වූයේ කෙසේ ද?

මෙහි තිබෙන්නේ බරපතල සංවර්ධන සන්නිවේදන අර්බුදයකි. එක පැත්තකින් සංවර්ධනය දේශපාලනීකරණය වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස සංවර්ධනය දූෂණය සමග පැටලී තිබේ. සංවර්ධන විරෝධයක් සමාජය තුළ පැතිරෙන්නට එය එක් හේතුවකි.

සංවර්ධන විරෝධයට තවත් හේතුවක් වන්නේ පාරිසරික අන්තවාදයයි.

එහෙත්, මේ සියල්ලටමත් වඩා බරපතල කරුණක් වන්නේ විද්වතුන් තමන් කරන්නේ කුමක්ද යන්න හරිහැටි නොදැන සිටීමයි. ගල්කිස්සේ වැලි සේදී ගිය පසු නිලධාරීන් කීවේ ඒ වැලි දැම්මේ වැල්ලවත්තට පා වී යන්නට ය කියායි. එහෙත්, 2020 අප්‍රේල් 17දා ඩේලි මිරර් පුවත්පතට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසන පරිදි ගල්කිස්සේ සිදු වී තිබෙන්නේ වෙරළ වැලි ප්‍රවාහය ශක්තිමත් කිරීමක් නොව කෘත්‍රිම වෙරළ නිර්මාණයකි. (අදාළ වාර්තාව මෙතැනින්)

ගල්කිස්ස වෙරළේ පිරවූ වැලි සේදී යාමේ සිද්ධිය හෝදන්නට බැරි මොකක් හෝ පැල්ලමක් සහිත යමක් බව තවදුරටත් සැක කළ හැකි ය.

සුබවාදී සංවර්ධන සන්නිවේදනයක් මෙරට තුළ ඇති නොවීමට ප්‍රධාන හේතු මේවායි. සංවර්ධනය මෙහෙයවන විද්වතුන් විශ්වාසය බිඳගත් කල රටක සුබවාදී සංවර්ධන සන්නිවේදනයක් ඉතිරි වේ ද? ප්‍රශ්නය ඇත්තේ දේශපාලකයන් ළඟ පමණකැයි කියා පොදු සමාජ පිළිගැනීමක් තිබේ. එහෙත්, රාජ්‍ය නිලධාරීන් හා විද්වතුන් සම්බන්ධයෙන් ඇති ගැටලුව ඊටත් වඩා බරපතල ය.

5 thoughts on “ගල්කිස්ස වෙරළේ වැලි හා සංවර්ධන සන්නිවේදනයේ ගැටලු

  1. Niladaruwan menma desapalakayanta da siduwooye ekak kadatholu wasaadannata werademoo aachariyata siduwoo naspeththiyamaya !

  2. ප්‍රශ්ණය වනුයේ මේ පිලිබද යම්කිසිතාක් දුරට දැනුවත් සිවිල් ඉංජිනේරුවන්, මහාචාර්්‍යවරු පවා දේශපාලණ හොරණෑවලට යට වී පක්ශග්‍රාහීව , කරුණු කාරණා විහිලුවට , සම්ච්චලයට ලක්වන සේ සමාජ මාධ්‍ය වල අදහස් දැක්වීමයි…

Leave comment

Your email address will not be published. Required fields are marked with *.