Kandakadu Rehabilitation Centre

යුද හමුදාවේ කන්දකාඩු කඳවුර මත්ද්‍රව්‍ය වැරදිකරුවන් පුනරුත්ථාපනයට සුදුසුද?

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්දේ කන්දකාඩුහි පිහිටි, යුද හමුදාව විසින් පාලනය කරනු ලබන මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ කඳවුරේ ගැටුමකින් එක් සිරකරුවකු මියගොස් තිබේ. තවත් පිරිසක් පළාගිය බවක් ද කියැවේ. මේ සමගම අවධානය යොමු විය යුතු දීර්ඝකාලීන ගැටලුවක් කෙරෙහි අවධානය යොමුකිරීම අපගේ අරමුණයි. එනම්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බව කියන පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීම සඳහා හමුදාව සහ තවත් අංශ අවිධිමත් ලෙස යෙදවීම කෙතරම් නිවැරදිද යන්නයි.

පහත දැක්වෙන කරුණු උපුටාගනු ලැබුවේ මේ සම්බන්ධයෙන් Harm Reduction International විසින් සිදුකරන ලද සමීක්ෂණයක වාර්තාවෙනි.

හෙරොයින් ග්‍රෑම් දහයට අඩු ප්‍රමාණයක් සමග අත්අඩංගුවට පත්වන පුද්ගලයන් මාස හයකට වැඩි කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටී නම්, විමර්ශන හමාර කර තිබේ නම් සහ අනෙකුත් නිර්ණායක ද සපුරා තිබේ නම්, ඔවුන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන ලෙස 2021 ජනවාරි මස රජයේ නීතීඥවරුන්ට උපදෙස් මාර්ගෝපදේශයක් නිකුත් කරන ලදී. කෙසේ වෙතත්, භාවිතයේදී පවතින උවමනාවට වඩා පුළුල් හා අත්තනෝමතික තත්වයන් හේතුවෙන් රජයේ නීතීඥවරුන්ට ඇප ලබාදීමට විරුද්ධ වීමේ හැකියාව තිබේ. මේ හේතුව නිසා මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන්ට ඇප ලබාදීම සීමා වේ.

රජය විසින් මෙන්ම පෞද්ගලික අංශය විසින් ද පරිපාලනය කරනු ලබන මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථාන ශ්‍රී ලංකාවේ තිබේ. වඩාත්ම ප්‍රසිද්ධ මධ්‍යස්ථාන දෙක වන්නේ කන්දකාඩු හා සේනපුරයි. එම ස්ථාන දෙක හමුදාව විසින් කලින් භාවිතා කරනු ලැබුවේ, 2009දී අවසන් වූ යුද ගැටුමෙන් පසු, කලින් සටන්කරුවන් ලෙස සැලකුණු පිරිස් ‘පුනරුත්ථාපනය’ කිරීමටයි. දැන් ද ඒවා මෙහෙයවනු ලබන්නේ හමුදාව විසිනි.

2007 වසරේ හඳුන්වා දෙන ලද 2007 අංක 54 දරන ඖෂධවලට ඇබ්බැහි තැනැත්තන් (ප්‍රතිකාර හා පුනරුත්ථාපන) පිළිබඳ පනත අනුව, මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට සැක සහිත ඕනෑම පුද්ගලයකු වෛද්‍ය ඇගයීමක් වෙත යොමුකර මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කළ හැකිය.  මහේස්ත්‍රාත්වරයාට එම පුද්ගලයා අනිවාර්ය මත්ද්‍රව්‍ය පුනරුත්ථාපනය වෙත යොමු කළ හැකිය. එය සිදුකරනු ලබන්නේ ‘මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම’ පිළිබඳ වෛද්‍ය ඇගයීමක් මත හෝ ආඥාපනත යටතේ දඬුවමක් ලෙසයි. එම ආඥාපනතේ 10 කොටස අනුව පොලිසියට සාක්ෂි නොමැතිව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හා අත්තනෝමතික ලෙස රඳවා තැබීමට හැකිය. එමගින් ඔවුන් අනිවාර්ය මත්ද්‍රව්‍ය පුනරුත්ථාපනය සඳහා යොමුකිරීමේ තීන්දුවක් ලබාගත හැකිය.

199 අංක 46 දරණ ප්‍රජා පාදක විශෝධන පනත මගින් සිරගත කිරීම වෙනුවට වෙනත් විකල්ප සම්පාදනය කරනු ලැබේ. ඒ ඔස්සේ, සිරගත කිරීම අත්‍යවශ්‍ය නොවන සුළු වැරදි සම්බන්ධයෙන් වැරදිකරුවන් වන අයට සිරගත කිරීම නොවන දණ්ඩනයන් පැනවිය හැකිය. එසේම, දණ්ඩනය අවුරුදු දෙකකට අඩු සිරගත කිරීමක් වන වැරදි සම්බන්ධයෙන් ද ප්‍රජා විශෝධනය භාවිතා කළ හැකිය. කෙසේ වෙතත්, මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා පුද්ගලයන් අත්අඩංගුවට ගත් පුද්ගලයාට මත්ද්‍රව්‍ය සම්බන්ධ ඉතිහාසයක් හා පෙර වැරදි තිබේ නම්, ප්‍රජා විශෝධන ක්‍රියාමාර්ගයේ කොටසක් ලෙස එම පුද්ගලයා අනිවාර්ය මත්ද්‍රව්‍ය ප්‍රතිකාර සඳහා යොමුකිරීමට විනිශ්චයකාරවරයාට සිදුවේ. පනත අනුව, ප්‍රජා විශෝධනය සඳහා වැරදිකරු එකඟ විය යුතුය. එහෙත්, මෙම කැමැත්ත නිදහස් අන්දමින් ලබාගන්නේ යයි සැලකිය නොහැකිය. එය ප්‍රතික්ෂේප කළහොත් සිදුවන්නේ සිර දඬුවමකට ලක්වීමයි. එබැවින්, මේ අනුව ද, මත්ද්‍රව්‍ය ප්‍රතිකාර බලහත්කාර රඳවාගැනීමට ආසන්න තත්වයක් වේ.

හානි අවම කිරීමේ සේවා මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයන්ගේ සෞඛ්‍ය හිමිකම්වල අත්‍යවශ්‍ය උපාංගයක් බව ජාත්‍යන්තර මානව හිමිකම් යාන්ත්‍රණයන් විසින් පිළිගෙන තිබේ. එසේම, අනිවාර්ය මත්ද්‍රව්‍ය රඳවා තබාගැනීම් සහ ප්‍රතිකාර මගින් පහත දැක්වෙන තත්වයන් උල්ලංඝනය වේ. එනම්, බලහත්කාරයෙන් රඳවා තබාගැනීම තහනම් කිරීම, වධහිංසනය හා අයහපත් සැලකිලි තහනම් කිරීම සහ සෞඛ්‍යය සඳහා තිබෙන හිමිකමයි.

රාජ්‍ය හා පෞද්ගලික සියලු පුනරුත්ථාපන වැඩසටහන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටීම මත පදනම් වූ ඒවාය. ඒවායේදී හානි අවම කිරීමේ සේවා සැපයෙන්නේ නැත. මෙම මධ්‍යස්ථානවල ප්‍රචණ්ඩත්වය සුලබය. ඒවා සිදුකරන්නේ එක්කෝ ‘ප්‍රතිකාර’ ලෙසයි. නැතිනම්, දඬුවම් ලෙසයි. කලින් එම ස්ථානවල රඳවා තබනු ලැබ සිටි පුද්ගලයන් විසින් වාර්තා කරන ලද පරිදි, පහරදීම්, කෑම නොදී සිටීම්, අධික වෙහෙසකර ශාරීරික ව්‍යායාම, දිගු කාලයක් ගස්වල බැඳ තැබීම, සාමූහික දඬුවම් සහ වෙනත් ආකාරවල අවමන් සහගත ක්‍රියා එම ස්ථානවල සිදුවේ.

නිදහස් කිරීමෙන් පසු ප්‍රතිකාර සම්බන්ධයෙන් හෝ නැවත සමාජගත වීමේදී හෝ සහායක් ලැබෙන්නේ නැති තරම්ය. නිරතුරුවම අපකීර්තියට ලක්වීම සහ පොලිසිය විසින් හිංසනයට ලක්කිරීම පිළිබඳ අනිවාර්ය පුනරුත්ථාපනයට ලක්කරන ලද පුද්ගලයන් විසින් වාර්තා කර තිබේ. එමගින් සමාජ හා ප්‍රජා ප්‍රති ඒකාබද්ධකරණයට සහ ජීවනෝපාය අවස්ථාවලට බාධා සිදුවේ.