හොරාකාපු සල්ලි ආපසු ගන්න ලේසිම හා විප්ලවීයම ක්‍රමේ

(උපහාසාත්මක රචනයකි. සීරියස් නොගන්න. මෙහි අරමුණ මෙය කෙතරම් ප්‍රායෝගික නොවන දුෂ්කර දෙයක්දැයි පෙන්වා දීමයි)

මේ ක්‍රමය පොලිසිය ඉතා හොඳින් දන්නවා. ඒ නිසා මේකෙ කිසිම අලුත්බවක් නැහැ.

අපි හිතමු X කියන පවුල හොරකම් කරපු සල්ලි පිටරට හංගලාය කියලා.

පැහැරගන්නවා X පවුලම. කට්ටියම වෙන් වෙන් වශයෙන් හිරකරනවා බාහිර කිසිදු තොරතුරක් නොලැබෙන විදියට හුදකලාව. හැබැයි, මේක ලේසි නැහැ. ආණ්ඩුවට මානව හිමිකම් ප්‍රශ්න එනවා. ඒ නිසා ඉක්මණින්, පරිස්සමෙන් කරන්න ඕනැ. අරාජික, අවුල් සහගත කාලයක් නම් වඩා ලේසියි. නීතිය හා අවනීතිය කවලමේ තමයි වැඩේ යන්නෙ. රජයේ පූර්ණ අනුග්‍රහය අවශ්‍යයි.

ඔහොම දවස් කීපයක් ඉන්න ඇරලා හුදකලාව ප්‍රශ්න කරනවා. ඇත්ත කියන්නෙ නැහැ.

ඔන්න ඔතෙන්දි තමයි ටැක්ටික්ස් පාවිච්චි කරන්න ඕනැ. පවුලේ සංවේදී කාරණා මෙතනදි පාවිච්චි කරලා කියනවා ඇත්ත කිව්වොත් චාන්ස්, නැතිනම් ලොස් කියලා. කොහොම හරි එකෙකුව බ්‍රේක්ඩවුන් කරගන්න ඕනැ.

ඉන් පස්සෙ පරස්පර සාක්ෂි ගලපමින් ප්‍රශ්න කරන්න ඕනැ. වැඩියෙන් වමාරන එකාට උපරිම සැප දෙන්න ඕනැ. පවුලෙ ආදරණීයයන්ව පෙන්නන්න ඕනැ. ජීවිතාසාව වඩවන්න ඕනැ. පුළුවන් නම් දිනාගන්න ඕනැ. ඌවම දාන්න ඕනැ ප්‍රශ්න කරන්නත්.

ඔය විදියට ඔක්කොම තොරතුරු වමාරාගන්න පුළුවන්.

හැබැයි, මේ ක්‍රමෙන් ඔය පිටරට තියෙන එක දේපලක්වත් ආපහු ගන්න බැහැ.

කේපී මෙතඩ් එක වැදගත් මෙතනදීයි. කේපීව අල්ලගෙන කළේ ඌ ලවාම පුළුපුළුවන් ඒවා ටික හීන්සැරේ බාගන්න එක. ඒ අතරෙ ඌට සැපෙන් ඉන්න ඉඩඅරින්න ඕනැ.

මේක ආණ්ඩුවකට හිටපු රාජ්‍ය නායක පවුලක් සම්බන්ධයෙන් කරන්න අමාරුයි. කරන්න වෙන්නෙ හොර කල්ලි මට්ටමෙන් මිස රාජ්‍යතාන්ත්‍රිකව නෙමෙයි. කේපී මෙතඩ් එක සිදුවුණෙත් හොර කල්ලි මට්ටමෙන්. ඒකට රාජ්‍ය අනුග්‍රහය ලැබුණා. මානව හිමිකම් ප්‍රශ්න ආවෙ නැහැ.

මේ වැඩේ විධිමත්, ප්‍රජාතාන්ත්‍රික, සම්භාවනීය ආණ්ඩුවකින් කරන්න බැහැ. හැබැයි, හොරකල්ලි, ත්‍රස්ත කල්ලි මට්ටමේ ලංකාවේ දේශපාලන පක්ෂ තියෙනවා. එවැනි පක්ෂෙක ආණ්ඩුවකට මේක කරන්න පුළුවන්.

මේ දේ කරන්නෙ නිල පොලිසිය වුණත්, ඒවා කරන අය ගන්න අවදානම ඉහළ නිසා ඒ අයටත් ඉහළ ප්‍රතිලාභ දෙන්න වෙනවා.

ලොකු අවදානමක් ගන්න වෙනවා. දූෂිත මාර්ග හරහා තමයි ඒ සල්ලි ආපසු ගන්න පුළුවන් වෙන්නෙ. මොනව කළත් ඔක්කොම නෙමෙයි. සෑහෙන කොටසක් උන්ටත් නැහැ, අපටත් නැහැ.

ඔය හොරාකාපු සල්ලිවලින් ඔබේ ජීවිතය සුඛිත මුදිත කරන බව පොරොන්දු වෙන අයියලා කියන කතා සුන්දර වුණාට ඒවා අතිශයෝක්ති හා ව්‍යාජෝක්තිවලින් පිරිලා. හොරාකාපු ධනය ආපසු ලබාගන්න එක ඉතා දුෂ්කර ජාත්‍යන්තර විමර්ශන ක්‍රියාවලියක්. හැබැයි, බැරි නැහැ. ඒකෙන් රට ගොඩදාන්න ගොඩක් කල් යනවා.