nan petta makan

නාන් පෙට්ට මකන් (මා හැදූ පුතා)

අජිත් පැරකුම් ජයසිංහ

චරණ ටීවී එකේ ගියපු නාන් පෙට්ට මකන් (මා හැදූ පුතා) නම් 2019 නිෂ්පාදිත, සාජි එස්. පැලමල් නම් අධ්‍යක්ෂවරයකුගේ මලයාලි චිත්‍රපටය අද බැලුවා. එයට පසුබිම් වෙන්නෙ 2018 ජුලි මාසයේදී කේරලයේ කොචිහි එමකුලම්හි මහරාජාස් කොලේජ්හිදී ඝාතනය වුණ අභිමන්යු නම් දෙවන වසරේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයාගේ කතාව.

අභිමන්යු කේරලයේ තමිල්නාඩු මායිමේ වට්ටවඩා නම් ගමේ කලින් වතු කම්කරු හා පසුව කෘෂි කම්කරුවන් වුණ ඉතා දිළිඳු පවුලකින් පැවත ආ රසායන විද්‍යා ශිෂ්‍යයෙක්. ඉන්දියාවේ බලවත් ශිෂ්‍ය සංගමයක් වන ඉන්දීය ශිෂ්‍ය බලමණ්ඩලයේ (SFI) ක්‍රියාකාරිකයකු වූ ඔහු මරාදැමුවේ කැම්පස් පෙරමුණ නම් ඉන්දීය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමග සම්බන්ධ ක්‍රියාකාරිකයෙකු විසිනුයි.

මේ මරණයට හේතු වූ ගැටුම පිළිබඳ විවිධ අදහස් පවතිනවා. SFI ආධිපත්‍යයට විරුද්ධව විවිධ විවේචනත් තිබෙනවා. කෙසේ වෙතත්, මෙම චිත්‍රපටයේ SFI නිරූපණය වන්නේ ඉතා නිවැරදි කොමියුනිස්ට් ව්‍යාපාරයක් ලෙසයි. අභිමන්යුගේ චරිතය මෙම චිත්‍රපටය තුළ ඉතා විචිත්‍ර අන්දමින් නිර්මාණය කරනු ලබනවා. එය සත්‍යයත්, ප්‍රබන්ධයත් මනාව සම්මිශ්‍රණය කරමින් නිර්මාණය කරනු ලබන ශෝකාන්ත වීරකාව්‍යයක්. ඉන්දීය ශිෂ්‍ය දේශපාලනය හා සරසවි ජීවිතයත් එමගින් අපට විවෘත කෙරෙනවා.

එය දේශපාලන ප්‍රොපගැන්ඩා චිත්‍රපටයක්. එහෙත්, එය ඉතා මනස්කාන්ත නිර්මාණයක්. අති විශිෂ්ට අන්දමින් රූපමය වශයෙන් නිර්මාණය කළ කතාවක්. ප්‍රොපගැන්ඩා පැත්තෙන් ගත්තොත් එය කොමියුනිස්ට්වාදය කෙරෙහි ජනයා ආකර්ශනය කරගත හැකි සාර්ථක ප්‍රචාරණාත්මක නිර්මාණයක්.

බොහෝ අය චිත්‍රපටවලින් යථාර්ථය දකින්නට උත්සාහ කරනවා. එහෙත්, මෙවැනි චිත්‍රපට කියන්නේ අදාළ සිදුවීම හෝ චරිත ගැන අධ්‍යක්ෂවරයාගේ ආඛ්‍යානයක්. ඒ නිසා චිත්‍රපට ඇත්ත යයි සිතන්න එපා. රසවිඳින්න.

ලංකාවෙ විජේවීර චරිතය, ඩී.එස්. සේනානායක චරිතය ආදිය ගැන චිත්‍රපට කරපු අධ්‍යක්ෂවරුන් තමන්ගේ මූලික කාර්යය ප්‍රේක්ෂකයන් තුළ රස නිෂ්පත්තිය බව වටහා ගත්තා නම් අපට මෙවැනි රසපූර්ණ චිත්‍රපට නරඹන්නට අවස්ථාව ලැබෙන්නට ඉඩ තිබුණා.

නාන් පෙට්ට මකන් (මා හැදූ පුතා) බලන්න.