Cartoon by Ajith Perakum Jayasinghe

රන්ජන්ගේ හඬපට සම්බන්ධ මූලික ගැටලුව ඒවා සොරකම් කිරීම හා ප්‍රසිද්ධ කිරීමයි

රන්ජන් රාමනායකට පෞද්ගලිකව ඕනෑ කෙනෙකු සමග ඕනෑ දෙයක් සාකච්ඡා කිරීමට අයිතිය තිබේ. එසේ කරනු ලබන ප්‍රකාශ විමර්ශනයකදී යම් සාක්ෂියක් විය හැකි මුත්, ඒවා ප්‍රසිද්ධ ප්‍රකාශ නොවේ.

Translations by Creative Content Consultants

ඒවා පටිගත කරගැනීම ඔහුගේ පෞද්ගලික ක්‍රියාවකි. තමා සමග කතා කරන පුද්ගලයාගේ අවසරය නොමැතිව දුරකථන ඇමතුම් පටිගත කිරීම හා හඬගොනු සුරක්ෂා කර තබාගැනීම බරපතල ආචාරධාර්මික ගැටලුවකි. එහෙත්, ඇතැම් අවස්ථාවලදී මෙවැනි රහස් පටිගත කරගැනීම් දේශපාලකයකුට මෙන් ම මාධ්‍යකරුවකුට ද ප්‍රයෝජනවත් විය හැකි නිසා එය හරි ද වැරදි ද යන්න තීරණය කළ යුත්තේ සංදර්භයට අදාළව ය.

තමන්ගේ දත්ත අනාරක්ෂිත තත්වයට පත්කිරීමටත් වඩා අනුන්ගෙන් අවසර නොමැතිව ලබාගෙන සේව් කර තබාගන්නා ලද දත්ත අනාරක්ෂිත තත්වයට පත් කිරීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක වගකිව යුතු ය. ඒවා බරපතල ආචාරධාර්මික ගැටලු ය. රන්ජන් රාමනායක විශ්වාස කළ නොහැකි, වගකීම් විරහිත පුද්ගලයෙකි.

පුද්ගලයකුගේ පෞද්ගලික දේපලක් වන මෙම හඬගොනු සොරකම් කිරීම බරපතල පරිගණක අපරාධයකි. ඒවා ප්‍රසිද්ධ කිරීම ඊටත් වඩා අපරාධයකි. මෙම ප්‍රසිද්ධ කිරීමේ කාර්යයට පුද්ගලයන් රැසක් හවුල් ය. මෙම හඬගොනු ප්‍රසිද්ධ කරන මාධ්‍ය ආයතන ද කරන්නේ නීතිමය වරදක් විය හැකි ය. මෙම ඇතැම් හඬගොනුවල කිසිදු පොදු වැදගත්කමක් නැත. රන්ජන් රාමනායකගේ පෞද්ගලික ජීවිතය හා සම්බන්ධ කරුණු මාධ්‍ය විසින් හෙළිදරව් කරන්නේ හුදෙක් ම වානිජ ලාභ ලැබීමේ පරමාර්ථයෙන් බව පෙනේ.

උදය ගම්මන්පිල පවසන පරිදි මෙම හඬගොනු රන්ජන්ගේ කාර්ය මණ්ඩලයේ සිටි අයෙකු විසින් සොරකම් කර මාධ්‍ය වෙත ලබා දී තිබේ. මහින්දානන්ද අලුත්ගමගේ ඒ ගැන කියන්නේ වෙනස් සුරංගනා කතාවකි. එනම්, පුද්ගලයකු ත්‍රිරෝද රියක දමා ගිය හඬ පට තොගයක් ලැබීම පිළිබඳ කතාවකි. මේ සියලු කතාන්දර විමර්ශනයක් කරනවා නම් වැදගත් ය.

මෙම හඬපට සම්බන්ධයෙන් කටයුතු කරන්නේ එක ම කණ්ඩායමක් බව පෙනේ. ඔවුන් හඬපටවල සවන් දෙති. ඉන් පසු, ඒවා ඔවුන්ට සම්බන්ධ වෙබ් අඩවිවල පළ කරති. ඇතැම් වෙබ් අඩවි ආරම්භ කළේ ම රන්ජන්ගේ හඬපට පළ කිරීමට ය. ඉන්පසු, මෙම කණ්ඩායමේ ම තවත් පිරිසක් එමහඬපට රැගෙන රහස් පොලිසියට පැමිණිලි කිරීමට යති. ඔවුන් යන හා එන අයුරු මාධ්‍ය ආවරණය කරයි. රහස් පොලිසිය ඉදිරියේදී එක් අයෙකු හඩපටයක් තම ජංගම දුරකථනයෙන් හඬපටයක් වාදනය කරයි. එහෙත්, මාධ්‍ය ඇත්තෙන් ම වාදනය කරන්නේ තමන්ගෙ පරිගණකයක ඇති හඬගොනුවකි. මෙම කණ්ඩායමේ ම භික්ෂුවක් ඉන්පසු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තවත් හඬගොනුවක් එළියට දමයි. මාධ්‍ය එය ද පෙර කී අයුරු ම වාදනය කරයි. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිසියම් නීතිමය උපදෙසක් අනුව කටයුතු කරමින්, තමන් කරන්නේ වාර්තා කිරීමක් පමණක් බව පෙන්වන්නට උත්සාහ කරයි. මන්ද, තමන් නීති උල්ලංඝනයක් කරන බවට ඔවුන්ට හැඟීමක් තිබෙන බැවිනි.

මේ සියලු දෙනා එක්ව අවසානයේදී කරන්නේ පෞද්ගලික කතාබහක් ප්‍රසිද්ධ කිරීම ය. බොහෝ අපහාස සිදුවන්නේ ඉන් අනතුරුව ය.

මේ අය තමන්ට හඬපට ලැබුණු ආකාරය හෙළිදරව් කළ යුතු ය. ඔවුන් අඟවන්නේ මේවා තමන්ට ලැබුණේ පොලිසියෙන් කියා ය. එහෙත්, එය බොරුවක් බව උදය ගම්මන්පිලගේ ප්‍රකාශයෙන් හෙළි වේ.

දැන් මෙම හඬපට සිද්ධිය පාලනයකින් තොරව දැවැන්ත සමාජ අර්බුදයක් කරා විහිදෙමින් තිබේ. වගකිවයුතු රජයක් මෙවැනි ක්‍රියා පාලනයකින් තොරව සිදුවීමට ඉඩ නොදෙන බව අපි මීට ඉහතදී ද පැවසුවෙමු.

මේ අතර, බොහෝ අය රන්ජන්ගේ හඬපට තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් භාවිතා කරන බව පෙනේ. කාටුනය ඒ හා සම්බන්ධ ය.

Translations