Basil's relief

පන්දාහ යනු රාජපක්ෂ පවුලේ ඕමික්‍රෝන් ප්‍රභේදයයි

අජිත් පැරකුම් ජයසිංහ

මේ වනවිට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව කෙතරම් ජනප්‍රියත්වයෙන් පිරිහී තිබේද යත්, ජනාධිපතිවරයා නිවසට ගමන් කරන පාරේ කිරිපිටි පෝලිමක සිටි ජනතාව හූ කී බවට රාවයක් පැතිරෙමින් තිබේ. එය බොරුවක් බව ආණ්ඩුව පවසන අතර, ජනාධිපතිවරයාට අපහාස කිරීම නීති විරෝධී බව පොලිසිය පවසයි. කෙසේ වෙතත්, මේ පිළිබඳ අදාළ වන ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 768/2009 දරණ, පොලිස්පතිට එදිරිව වාහලතන්ත්‍රි මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව උපුටා දක්වන සමාජ දේශපාලනික විශ්ලේෂක ඔෂල හේරත් පවසන්නේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ 120 කොටස යටතේ නඩු පැවරීමට නම්, කරනු ලබන ප්‍රකාශයකින් මහජන කැළඹීමක් හෝ ප්‍රචණ්ඩත්වයට යොමුකිරීමක් සිදුවිය යුතුය.

අගමැති මහින්ද රාජපක්ෂ තනතුරින් ඉවත් කර ඇති බවට පැතිර යන කටකතා බොරු බව ද ආණ්ඩුව කියයි. කෙසේ වෙතත්, මේ වන විට රට පාලනය කරන රාජපක්ෂ පවුලේ යම් ගැටුමක් හෝ ගැටලුවක් තිබෙන බව පෙනේ. රජය වෙනුවෙන් ඉදිරියෙන් කටයුතු කරමින් සිටින්නේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂය. ඊයේ ආණ්ඩුව වෙනුවෙන් සහන පැකේජය නිවේදනය කළේ ද මුදල් ඇමතිවරයාය.

ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශයට පත්කර තිබෙන ආර්ථික සහන පැකේජ අනුව සංස්ථා, මණ්ඩල, අධිකාරි ඇතුළු රාජ්‍ය අංශයේ සේවකයන් 1,450,450කට රු. 5,000ක දීමනාවක් වැටුපට එකතු වේ. විශ්‍රාමිකයන් ලක්ෂ පහකට වැඩි පිරිසකට ද මෙම රු. 5,000 දීමනාව හිමිවේ. ඒ වෙනුවෙන් යන වියදම වසරකට රු. බිලියන 1.27ක් වේ.

සමෘද්ධිලාභීන් 1,793,000කට දැනට ගෙවන උපරිමය රු. 3,500 වන දීමනාව රු. 1,000 දක්වා මුදලකින් වැඩි කෙරේ.

කෘෂි අස්වැන්න සියයට 20 – 30 අතර ප්‍රමාණයකින් අඩුවේ යයි අනුමාන කළ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ වී කිලෝවක සහතික මිල රු. 75 දක්වා වැඩිකරන බව ද, දැනට සහතික මිල වන රු. 50ට එකතු කරන රු. 25 රජයෙන් දරන බව ද පැවසීය. කෙසේ වෙතත්, දැනට වෙළඳපොළේ පවතින සහල් මිල අනුව වී ගොවීන්ට කිලෝව රු. 75ට වැඩි මුදලකට පෞද්ගලික අංශයට සහල් අලෙවි කරගන්නට හැකියාව ඇති බව පෙනේ.

පර්චස් 20ට අඩු ගෙවතු 1,836,266ක් ඇති බව ද එම ගෙවතු වගාකිරීම සඳහා රු. 5,000ක ආධාරයක් ද අක්කරයට අඩු පර්චස් 20ට වැඩි 2,223,831 සඳහා රු. 10,000ක දීමනාවක් ද ලබාදීමටත්, එම දීමනාව මාස හයකට පසු නැවත ලබාදීමටත් රජය තීරණය කර ඇති බව ද මුදල් ඇමතිවරයා පැවසීය. මෙම ගෙවීම් සිදුකිරීම හා ඒ හා සම්බන්ධ අධීක්ෂණය අතිශය දුෂ්කර කාර්යයකි.

සේවක භාරකාර මණ්ඩලයේ වතු කම්කරුවන්ට තිරිඟු පිටි අඩු මිලට ලැබෙන අතර, ඖෂධ හා ආහාර සඳහා බදු අවම කිරීමට ද රජය තීරණය කර තිබේ. මේ අතර, ට්විටර් සටහනක් තබමින් ආර්ථික විශ්ලේෂක රොහාන් සමරජීව මහතා පෙන්වාදුන්නේ ඖෂධ සඳහා දැනට ද බදු අය නොකරන බවයි.

රු. බිලියන 229 වටිනාකමක් සහිත මෙම සහන පැකේජය දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.2%ක් වේ. ඒ වෙනුවෙන් රු. බිලියන 3.9ක අතිරේක මුදල් සපයාගෙන ඇති බව මුදල් ඇමතිවරයා පැවසීය. එහෙත්, ඒ සඳහා අලුත් බදු පැනවීමක් සිදුකර නොමැති අතර, මෙම මුදල් අලුතින් මුද්‍රණය කර ඇතැයි අනුමාන කළ හැකිය.

පසුගිය දෙසැම්බරයේ ශ්‍රී ලංකාවේ උද්ධමනය 12.1%ක් විය.

ඩොලර් බිලියන 3.1%ක විදේශ සංචිත දැනට ශ්‍රී ලංකාව සතුය. එය ප්‍රමාණවත් වන්නේ දෙමසක ආනයන සඳහා පමණි.

බැංකු විසින් ඩොලර් නිදහස් නොකිරීම නිසා ගෑස් ආනයනය හා අලෙවිය අවම කිරීමට සිදුවී තිබෙන බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්.කේ. වෑගපිටිය පැවසීය. ගෑස් වෙළඳපොළෙන් 20%ක කොටස් හිමි මෙම පෞද්ගලික සමාගම දිනකට 40,000 – 50,000 අතර තිබූ තම ගෑස් අලෙවිය වර්තමානයේදී 10,000 – 15,000 අතර ප්‍රමාණයකට සීමාකර ඇති බව ඔහු මාධ්‍යවලට පැවසීය.

මේ වන විට, ශ්‍රී ලංකාවේ කළුකඩ ජාවාරම පුළුල්ව පැතිර පවත්නා අතර, ගෑස්, කිරිපිටි, සිමෙන්ති වැනි වෙළඳපොළේ හිඟ භාණ්ඩ අතිවිශාල මිල ගණන්වලට විකුණනු දක්නට ලැබේ.

මේ අතර, ජනවාරි 18දා ඩොලර් මිලියන 500ක ඩොලර් බැඳුම්කර ණයක් ගෙවීමට තිබේ. ජුලි මාසයේ ඩොලර් බිලියනයක ණයක් ගෙවීමට තිබේ. මේවා කල්දමාගත නොහැකි, අනිවාර්ය ණය වන අතර, ශ්‍රී ලංකා රජය ණය ගෙවාගත නොහැකිව බංකොලොත් වීමේ ඉඩක් තිබෙන බවට ද ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂණ ආයතන විසින් පෙන්වා දී තිබේ.

මෙම සහන පැකේජය ලබාදෙන්නේ ඉදිරියේදී ඉන්දීය සහාය ලබාගැනීම සඳහා වසර ගණනාවක් තිස්සේ අක්‍රියව පවත්නා පළාත් සභා මැතිවරණ පැවැත්වීමට බව ඇතැම් දේශපාලන විචාරකයෝ අනුමාන කරති. පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නොහැකි වී තිබෙන්නේ නීතිමය ගැටලු හේතුවෙන් වන අතර ඒ පිළිබඳ විස්තර මෙම ලිපියෙන් කියවන්න

මෙම ඊනියා සහන පැකේජයෙන් ජනතාවට කිසිදු සහනයක් ලැබේ යයි නොසිතිය හැකි අන්දමේ උද්ධමනයක් රට හමුවේ තිබේ. වර්තමාන තත්වයට එකම හේතුව කොවිඩ්-19 අධි වසංගතය බව පෙන්වීමට ආණ්ඩුව උත්සාහ කරන මුත්, වසංගතය දේශපාලන වාසි සඳහා යොදාගැනීමට යාමෙන් ආර්ථිකයට දැඩි හානි විය හැකි බව අපි 2020 වසරේදීම පෙන්වාදුන්නෙමු. කියවන්න: 1. මං ඇඳිරි නීතිවලට විරුද්ධ ඇයි? 2. ඇඳිරි නීති, ලොක්ඩවුන් සාර්ථක ද? කොරෝනා මර්දනයේ අප කොතැන ද?

දැන් ලබාදෙන සහන මගින් ආණ්ඩුවට සිය ගිලිහී ගිය ජනප්‍රියත්වය යළි ග්‍රහණය කරගැනීමට හැකිවේ නම්, එය සති කීපයකට පමණක් වන තරමේ ආර්ථික අර්බුදයක් රට තුළ නිර්මාණය වී තිබේ. ආණ්ඩුව ගන්නා මෙබඳු ක්‍රියාමාර්ග හේතුවෙන් තත්වය තවත් නරක අතට හැරීමේ අවදානමක් ද තිබේ.

කෙසේ වෙතත්, මෙම අවස්ථාවේ රාජපක්ෂ පවුල ක්‍රියා කරන ආකාරය තරමක් දුරට කොවිඩ්-19 වයිරසයට සමානය. කොවිඩ්-19 මුල් ප්‍රභේද හේතුවෙන් මිනිසුන් මියගිය අතර එය වයිරසයේ පැවැත්මට හානිකර විය. එම නිසා, ඕමික්‍රෝන් ප්‍රභේදයට පරිණාමය වන විට වයිරසයේ මාරාන්තිකබව අඩුවී තිබේ. පැතිරීම වැඩිවී තිබේ. මේ වනවිට ලොව පුරා ප්‍රමුඛ කොවිඩ්-19 ප්‍රභේදය බවට පත්වෙමින් තිබෙන්නේ ඕමික්‍රොන්ය. රාජපක්ෂ පවුල ද මේ උත්සාහ කරන්නේ සිය විනාශකාරී ස්වභාවය පාලනය කරගන්නටය. රටේ ජනතාව දැඩි ලෙස ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණදෙමින් සිටියදී පෞද්ගලික ජෙට් යානයකින් තිරුපති වන්දනාවේ යාම නිසා අගමැති මහින්ද රාජපක්ෂ දැඩි විවේචනයට ලක්වී තිබේ. එහෙත්, සිය දරුවන් රටේ අනාගත නායකයන් බවට පත්කිරීමේ උවමනාව ද මහින්ද රාජපක්ෂට තිබේ.

කෙසේ වෙතත්, රාජපක්ෂ පවුලේ දේශපාලනික පැවැත්ම තීරණය වන්නේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ඔවුන් ගන්නා සාධනීය ක්‍රියාමාර්ග මතය. ඒවා ජනප්‍රිය වන්නේ නැති බව පැහැදිලිය.