Trade deficits of Sri Lanka with China and US - cartoon

ඇමරිකන්, චීන, ඉන්දියන් ආදර, කුමන්ත්‍රණ කතා පසුපස ඇති වෙළඳාම

අජිත් පැරකුම් ජයසිංහ

මිලෙනියම් චැලේන්ජ් කම්පැක්ට් හෙවත් එම්සීසී ගිවිසුම ගැන නැවත කතාබහක් ඇති වෙලා. එම්සීසී ගිවිසුම නිසා ලංකාව මැද්දෙන් ඇමරිකන් කොරිඩෝවක් හැදිලා ලංකාව ඇමරිකන් යටත් විජිතයක් වනු ඇතැයි කියපු පොහොට්ටු හිතවතුන් දැන් එම්සීසී ආධාරය ගැන කතා කරන්නෙ ‘ගන්දෝ නොගන්දෝ කියලා හිතුණි මට’ කවි පදයෙ වගේ.

ශ්‍රී ලංකාවත්, ඇමරිකා එක්සත් ජනපදයත් අතර ඉතිහාසයේ සමීපතම සම්බන්ධතාව ඇති වී තිබෙන්නේ දැනුයි. ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයා ඉතා මෑතදී, මතභේදාත්මක විදියට ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාගත්, ජනාධිපති ධුරයට තේරී පත් වන විටත් ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය අත්හළ බව තහවුරු වී තිබුණාදැයි ගැටලු සහිත පුද්ගලයෙක්. ඔහුගේ බිරිඳ හා පුතාත්, ලේලියත් තවමත් ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසියන් බවයි වාර්තා වෙන්නේ . ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජනපද උපාය මාර්ග අනුගමනය කරන්නට මීටත් වඩා යහපත් පසුබිමක් ඒ රටට ඉතිහාසයේ කවදාවත් නිර්මාණය වී නැහැ. ජනාධිපතිවරයාට ඍජුව ම බලපෑම් කිරීමේ හා හැසිරවීමේ බලය ඔවුන්ට තිබෙනවා. එය ඔවුන් ජනාධිපතිවරයා පත්වන්නට පෙර කාලයේ සිට ම සියුම් ලෙස භාවිතා කළ ආකාරයත් දකින්නට පුළුවන්. විශේෂයෙන් ම ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය පිළිබඳ ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය ප්‍රශ්න කරද්දී මෙම ලක්ෂණය පැහැදිලිව පෙනෙන්නට තිබුණා.

ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලනඥයන්ට ඇමරිකා එක්සත් ජනපදය කියන්නේ ලංකාවට එරෙහිව කුමන්ත්‍රණ කරන රටක්. ඇමරිකාවට ලෝක දේශපාලනයේ තිබෙන කාර්යසාධන වාර්තාව අනුව එසේ සිතන එක ඉතා සාධාරණයි. ලෝකය පුරාම ඔවුන් විසින් එය ඔප්පු කරන ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. ලංකාව සම්බන්ධයෙන් ගත් විට, මෙම දූපත පිහිටා තිබෙන්නේ මූලෝපායික වශයෙන් ඉතා වැදගත් සන්ධිස්ථානයක බව කවුරුත් පිළිගන්නවා. නැවත ලෝක යුද්ධයක් ඇති වුණත්, නොවුණත්, යුද මූලෝපායික කටයුතුවලදී නවීන තාක්ෂණය කෙතරම් ඉදිරියට පැමිණ තිබුණත්, කලාපීය භූ දේශපාලනයේදී ශ්‍රී ලංකාව තමන්ගේ පාලනය තුළ තබාගැනීම ලෝක බලවතුන්ට ඉතා වැදගත්. එයට ප්‍රධාන හේතුව වන්නේ ශ්‍රී ලංකාව බටහිර හා නැගෙනහිර යා කරන ඉන්දීය සාගරය හරහා දිවෙන ප්‍රධාන නැව් මාර්ගය පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාව අසලින් වීමයි.

මෙහිදී ඇමරිකා එක්සත් ජනපදයට ඉතා පහසු නූල් සූත්තරයක් තිබෙනවා. එක්සත් ජනපදය තමයි රටක් විදියට ශ්‍රී ලංකාවෙන් වැඩියෙන් ම අපනයන මිල දී ගන්නේ. වසර 2018 වන විට, ශ්‍රී ලංකාව එක්සත් ජනපදයට අවුරුද්දකට ඩොලර් බිලියන 2.7ක වටිනාකමින් යුත් භාණ්ඩ අපනයනය කරනවා. ඒ අතරින් වැඩි ම ප්‍රමාණයක් වන්නේ ඇඟලුම්. මේ අතර එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට අපනයනය කරන භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 373ක් පමණයි. දෙරට අතර වෙළඳ ශේෂය ඩොලර් බිලියන 2.3කට වැඩියි. එහි වාසිය තිබෙන්නේ ශ්‍රී ලංකාවටයි.

ශ්‍රී ලංකාව 2018 වසරේදී කරන ලද සමස්ත අපනයනයන්ගේ වටිනාකම ඩොලර් බිලියන 11.9ක් පමණයි. ඒ අතරින් 40%ක් පමණ රෙදිපිළි ආශ්‍රිත නිෂ්පාදන වන අතර, 17%ක් පමණ තේ. අනෙකුත් ප්‍රධාන අපනයන වන්නේ කුළුබඩු, මැණික්, පොල් ආශ්‍රිත නිෂ්පාදන, රබර් හා මත්ස්‍ය නිෂ්පාදන. එක්සත් ජනපදය හැරුණු විට, බ්‍රිතාන්‍යය, ජර්මනිය, බෙල්ජියම සහ ඉතාලිය තමයි ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රධාන අපනයන වෙළඳපොළවල්.

ඒ අතර, 2018 වසරේදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 22ක ආනයන සිදු කළා. වැඩිපුරම ආනයනය කරන්නේ පෙට්‍රෝලියම්, රෙදි සඳහා අවශ්‍ය කෙඳි, ආහාර ද්‍රව්‍ය, යන්ත්‍ර සූත්‍ර හා වාහන ආදියයි. ලංකාවේ වෙළඳ ශේෂය ඩොලර් බිලියන 10ක්. කොහොමද මේක තුලනය කරගන්නෙ? ප්‍රධාන වශයෙන් ම, විදේශ ශ්‍රමිකයන් විසින් ශ්‍රී ලංකාවට එවනු ලබන මුදල් (ප්‍රේරණ) හා සංචාරක කර්මාන්තයෙන් ලැබෙන විදේශ විනිමය ආදායම් තමයි ඒකට උපකාර කරන්නෙ.

ලෝක බලවතුන් අතරින් ලංකාවට ‘ආදරය’ කරන අනෙකුත් ප්‍රධාන රටවල් දෙක තමයි චීනය හා ඉන්දියාව. ඒ රටවල් දෙක ගැන කතා කරනකොට අපට හිතන්නට වෙන ප්‍රධාන කාරණය මොකක් ද? පිළිවෙලින් ඉන්දියාව, චීනය, ඉරානය සහ සිංගප්පූරුව තමයි ශ්‍රී ලංකාව වැඩියෙන් ම භාණ්ඩ ආනයනය කරන රටවල්. මේ රටවලට ශ්‍රී ලංකාව කරන අපනයනවල වටිනාකම සහ ඒ රටවලින් ශ්‍රී ලංකාව කරන ආනයනවල වටිනාකම අතර වෙනස අති විශාලයි. එහි වාසිය තිබෙන්නේ තනිකරම ඒ රටවලටයි.

චීනයත් එක්ක ලංකාව කරන වෙළඳාම්වල වෙළඳ ශේෂය ඩොලර් බිලියන හතරකට වැඩියි. එහි වාසිය තනිකරම චීනයට. ඉන්දියාවත් සමග වෙළඳ ශේෂය ඩොලර් බිලියන 3.5ට වැඩියි. තනිකරම වාසිය ඉන්දියාවට. ඇමරිකා එක්සත් ජනපදය සමග වෙළඳ ශේෂය ඩොලර් බිලියන 2.3කට වැඩියි. තනිකරම වාසිය ශ්‍රී ලංකාවට.

රට රටවල් එක්ක ආදර සම්බන්ධකම්, ආධාර, ණය ආදිය ගැන කතාකරන කොට මේ සංඛ්‍යා දත්ත අදාළ කරගත්තෙ නැතිනම් ඒ කතා සම්පූර්ණ නැහැ.