Cartoon by Ajith Perakum Jayasinghe

ඇතුළෙ සාකච්ඡාව

මනෝජ් ප්‍රේමකීර්ති

නැති බැරි මේ දවස්වල රෑට රොටි ගෙඩියක් ගිලලා බඩේ ඉතුරු හරිය පිරෙන්න වතුර යහමින් බීලා රූප පෙට්ටිය ඉස්සරහ වාඩි වුණා විතරයි දේසපාලනේ කරන්න, මෙන්න පෝං එක රිං වුණා.

හලෝ, ඔය ගංඇති උන්නැහේ නේද?

ඔව් ඔව් කවුද මේ?

ආ මං මේ මහින්ද. ඊයෙ ආවෙ නැත්තෙ මොකෝ?

වැහි ඇල්ලක් වැටිච්ච වෙලාවෙ ලියැදි කෑල්ල හා ගත්තෙ නැත්තං අමාරුවෙ. කැඳ උගුරක්වත් බොන්න තියෙන්නෙ ඔච්චරයි.

නෑ නෑ මං මේ…..

අනේ සමාවෙන්න ඕනේ මහින්ද මුදලාලි. ඉරිදට කලින් ගත්තු සල්ලියි පොලියයි දෙකම ගෙදෙට්ට ගෙනැල්ලම දෙන්නම්.

මඟුලෙ පොලී සල්ලියක් නෙවෙයි ඕයි. මං මේ හිටපු මහින්ද.

පස්වාන් දහසකට බුදුවෙන්න දේවයන් වහන්ස, ගැත්තාට අනුකම්පා කර වදාරන්න ඕන. අපේ ඡන්ද කෑලි ටික ගැන නම් බය වෙන්න එපා. ඔබතුමා නැතත් පොල් ලෙල්ලක් දැම්මත් අපි දෙනවා

දෙන්න එකෙක් ඉඳලා එපායැ. ඒකට කෙලවෙන්න යන්නේ.

මොනව?

ඒ ගැන මෙහෙම කතා කරන්නට බැහැ. මං තව ඩිංගකින් ඔතනට වෑන් එකක් එවනවා. මෙහෙ එනවා.

අම්මපා උස්සලා පොළොවෙ ගැහුව ගානයි .කොහොම වුණත් නොගිහින් බෑ නොවැ. විට කාල කළු ගැහිච්ච දත කටයි මූණත් තහඩුවයි කලෙන් වතුර පොල් කට්ටක් අරන් හෝදගෙන ලක ලැහැස්ති වුණාය කියමුකෝ. ඕං වාහනේ කඩුල්ල ළඟ. වාහනයට නගිනකොට මායියා නම් මා දිහා බැලුවෙ මරන්න ගෙනියන හරකෙක් දිහා බලන ගානට.

එතන ගිහින් කටපත්ත අරින්න නැතිව උන්නාන්සේ කියන දෙයකට හා හෝ ගාලා ඔලුව වනල එනවා.

උන්දැ කනට කරලා කිව්වා. මාත් දාගෙන වාහනය ඊගහේ වෙිගෙට ඉගිලුනා. නින්දත් ගිහින් ඇහැරෙනකොට උන්නාන්සේගෙ දෙපතුල ළඟ.

ආ ඔහේ ආවයි? අපේ කතාවක් තියෙනව ඇතුළෙ. තමුසේ මෙතන ඉන්නව.

ඇතුලේ කාමරයෙ බරට කතාව අයියලා, මලයලා, තව උපදේශක ගොල්ලෝ. මාත් ගැහුව ඇන්ටෙනා එක. උන් දන්නෙ නැහැ අපට තියෙන බලු කංවලට ඩෙසිබල් විස්සට අඩු සද්දත් ඇහෙන බව. රූප පේන්නෙ නැහැ. සද්දවලින් පුළුවන් කට්ටිය අඳුනගන්න.

මේක ලේසි පහසු නෑ. ගියොත් බබිත් සුන් – බබී ගේ අම්මත් සුං. නොමිනේෂන් රිජෙක්ට් වුනොත් හරි, උසාවියෙන් තහනම් කරොත් හරි මොකද කරන්නේ කියලා කතා කර ගන්න ඕන.

බැරිද පොඩි ජිල්මාට් එකක්වත්?

එහෙම අමාරුයි. සරත්වත් හිටිය නම් බලන්න තිබුණා.

දැන් මොකද කරන්නෙ?

වෙන කවුරු හරි දාමු. බොස් ඉස්සරහින් ඉන්නව නං පොල්ලෙල්ලක් දැම්මත් ඇති.

අනේ උඹේ පොල් ලෙල්ල ගහගනිං… මේක සෙල්ලමක් නෙමෙයි. වැරදිලා ගියොත් ඔක්කොම හබක්.

අපි අයියා දාමු මං නං ඉස්සරලම කිව්වා.

මේ වෙලාවේ මට නම් බෑ. සජී අර පැත්තෙන් නැත්නම් පොඩ්ඩක් හිතලා බලන්නවත් තිබුනා.

එහෙම නෙවෙයි අපි වේලිච්ච වට්ටක්කෙ දාමු. කොහොමත් මැන්ටලයනේ ගහලා ගිය ගමන් අගමැතිට ජනාධිපති පුටුව.

අනේ මං කියන්නේ නෑ තොට.

හා හා නවත්ත ගනිල්ල නවත්ත ගනිල්ල.

මොකද කරන්නේ?

මේකට ඕනේ හොඳට මාකට් කරන්න පුළුවන් වැඩකාරයෙක්. නිකන් හාල්පාරුවො දාලා හරියන්නේ නෑ. හොඳට කට හයි හත්තිය තියෙන ඕන.

ඔය ඉන්නේ රම්පෙට පොරි හැලෙන්න.

හා හා එහෙනම් උඹම කියහංකො.

අපි විමලෙ දාමු. නැත්තං ගංපිල හොඳයි.

බෑ බෑ උන් තියෙන එකත් නැති කරනවා වාචාල දොඩවලා.

ඔන්න තව නං ගං වැලයි. ම්හු, ලොක්ක ඔළුව වැනුවා.

මල්ලියව වත් දාන්න තිබුණා කොහෙද ඇමරිකාව අතාරින්න බෑ කිව්වනෙ.

කට ඇති පුතයි රුව ඇති දුවයි, හරිනේ අපි දාමු රුව ඇති දුවෙක්.

රුව තිබුණම ඇති වෙන වෙන ඒවට. මේකට ඒක විතරක් හරියන්නෙ නෑ. ඒකට කමක් නැහැ. කියමුකෝ බලන්න නමක්.

නාමයෝජනා වැලයි. මාලනී, සබීතා, සංගීතා, ඕෂදී.

හරි යන්නේ නෑ.

එහෙම නං කටයි රැවයි දෙකම තියෙන එක්කෙනෙක්.

ඒ කවුද?

ඇයි පවිත්‍රා ඉන්නේ.

අනේ බොල තෝ හදන්නෙ යන්තම් ගැටගහගෙන යන දීගෙටත් කෙළවන්න ද?

එහෙම නම් හැම පැත්තම බේරෙන්න අපි මැඩම්ව දාමු. කොහොමත් කියවෙච්ච නමක් නෙ. හිටපු රූප සුන්දරියක්. අවංක, විශ්වාස, එඩිතර කාර්යශූර ඔක්කොම සුදුසුකම් ඕනවටත් වැඩිය

ඈ බන්, උඹ කොහොමද මටත් වැඩිය ඒ ගැන දන්නේ?

නෑ සර් මං මේ නිකන් කිව්වෙ.

අනේ හිටපං.

ඕන එකක් කියලා අපි මෛත්‍රිව දාමු. කචල් බචල් අවුල් සෙම සෙවල මොකුත් නෑ. මෛත්‍රී ජනාධිපති බොස් අගමැති. ගේම පිනිෂ්.

අනේ මේ උන්දැ දෙයි මට එහෙනම්. ඉස්සෙල්ලා දුන්නෙ.

ඒ ඉස්සෙල්ලා නේ. දැන් ඒ කතා නෑ.

අයිසෙ තමුසෙගෙ මහාචාර්ය මොළෙන් කල්පනා කරල මොකක් හරි කියනවාකෝ. බස්සා වගේ ඔලුව වනනව මිසක් උත්තරයක් නෑ.

හ්ම්! හ්ම්!

මං ගාව මිනිහෙක් ඉන්නවා. හයේ හතරෙ පොරක් මේකප් පාරක් දාල ගත්තම ගෝටට ටිකක් සමානයි. කට වාචාලකම තියෙනවා. ගොවියෙක්. හොඳට මාකට් කරන්න පුළුවන්.

ආ ගොවියෙක් නම් මරු. මඩ සෝදා ගත් කල ගොවියා රජකමටත් සුදුසුයි කියලා කිව්වනේ.

කවුද කිව්වේ? උඹලගෙ අප්පොච්චිද? එහෙම නොවී ගොනෝ මං කියන්නේ මේ මිනිහා පාඩුවේ ගොවිතැනක් බතක් කරගෙන ඉන්න එකෙක්. ඇඟපත තිබුනට පොඩ්ඩක් නුහුගූණේ තියෙන මෝලෙක්. අපිට හරියට ම හරි යනවා.

දැන් එතකොට කොහොමද මේක වෙන්නේ?

මෙහෙමයි. මිනිහව අපි බැහැලා දඟලලා කොහොම හරි ගොඩ දාගන්නවා. ඊට පස්සේ ගෝටගෙ නඩු හබ අලකලංචි ඔක්කොම අකුලව ගන්නව. ජම්පරේ ඇඳල හිටියත් සමාව දීලා එළියට ගන්න පුළුවන්. එහෙම ඕන තරම් කරා නේ.

එතකොට අගමැති?

හිටහං කෝ කියනකං. ජනාධිපතිට මොකක් හරි අලකලංචියක් වුනොත් අගමැති නිකම්ම ජනාධිපති.

තේරුනේ දැන් තමයි.

කොහොමද ටිකිරි මොලේ. ඒව ගැන මං බලාගන්නං. ඒවට ඕන තරම් ක්‍රම සහ විදි තියෙනවා.

එතකොට කෝ ඒ කියපු මිනිහා.

බලපං ඔය එලියෙ ඉන්න එකා කෝ කියලා.

මං ඉවරයි. වෙන්න යන දේ සහසුද්දෙන්ම දැනුනෙ දැන් තමයි. දුන්නා හොරේ රන් එක. ඇරියා ඊ ගහේ වේගයට. කුඩා දිය පාරවල්, තොටවල් ගැන නිච්චියක් නෑ. මං ඔහේ හැල්මේ දුවනවා. දුවලා දුවලා හැරිලා බැලින්නං සුදු වෑන් එකක් පිටි පස්සෙ.

හිටපං යෝදයෝ උඹව ගෙදර ගිහින් දමන්න ඔලුව එලියට දාලා කෑ ගැහුවෙ අපේක්ෂකතුමා ඩ්‍රයිවින් සීට් එකේ. නන්දිකාඩල් උන්නැහේ ඉස්සරහ සීට් එකේ. මං ආයෙම දුවන්න ගත්තා.

ඩෝං!

පැදුරෙන් නැගිටල දුවන කොට ම ඔලුව බිත්තියෙ වැදිල දෙහි ගෙඩියක් විතර මතු වෙල.

කොහෙද මේ මෝල් වා හෙට හැමදාම කියනව හූනියන් පෙට්ටියට ඔලුව ඔබාගෙන විසූකදස්සන බල බලා ඉන්නෙ නැතුව පන් සිල් අරගෙන වේලපහින් පැදුරට වැටෙන්නය කියලා. කෝ කිව්වට අහන එකක්යැ.

කනට මී පැණි මී පැණි වක් කරන්නා වගේ ඇහෙන මිහිරි නාදෙන් තමයි හරියට ඉන්න තැන ගැන තේරුණේ. ඇති යාන්තං ඔයින් ගියා. උන්න හැටියට මලා මදැයි කිව්වලු