Election violence cartoon

මනෝජ් ප්‍රේමකීර්ති – බුත්තල

මං මේ කියන්න යන්නේ ටිකක් පරණ කතාවක්. ඒ 1977 මහ මැතිවරණය. මං අවුරුදු දහයක කොලු ගැටයෙක්. අගලවත්ත ආසනයේ මහ මැතිවරණයට තරඟ කළේ යුඑන්පී එකෙන් මෙරිල් කාරියවසම්, සමසමාජයෙන් කොල්වින් ආර්. ද සිල්වා, ශ්‍රී ලංකා එකෙන් ආනන්ද පැස්කුවල්.

Translations by Creative Content Consultants

මේ කවුරුත් මහා පෙරකදෝරුවෝ. මහජන එක්සත් පෙරමුණෙනුත් අපේක්ෂකයෙකු තරග කළා. තව අපේක්ෂකයෙක් ආවා ටයිටස් සිල්වා කියලා ස්වාධීනව. කඩවසම් පුද්ගලයෙක්. ෆොක්ස්වැගන් බීට්ල් කාර් එකක් තිබුණා. එවකට ජනාධිපති විලියම් ගොපල්ලවගෙ දුවක සමග විවාහව සිටි අයෙකු බවත් කියැවුණා. මුලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකත්වය බලාපොරොත්තු වුණාලු. ඒත්, ඒක ලැබිලා නැති නිසා ස්වාධීනව ඉල්ලුවා.

කවුරුත් මහ මැතිවරණයට දැන් බැහැලාම වැඩ. ලොකු ලොකු කට්ටියට හොඳට ගැම්ම තිබුණා ටයිටස්ට එච්චර ලොකු කෙරුවාවක් කරන්න බෑ. මිනිහා පුංචියට පොඩි දැන්වීම් ගහනවා. එකක මෙහෙම තිබුණ.”ටයිටස් අවංකයි, නිහතමානියි, කාර්යශූරයි, උගත්, බුද්ධිමත්” ඔය විදියට මහා හෑල්ලක් තිබුණා. අන්තිමට කවුරුදකෙනෙක් ඒකෙ යටින් අඟුරු කෑල්ලකින් ලියලා තිබුනා ඒත් ඇප නෑ කියලා.

ඔන්න ඡන්දෙ තිබ්බා මෙරිල් උඩින්ම දිනුම්. ඡන්ද 27,000ට වැඩියි. වැඩි ඡන්ද ම 11,000ට වැඩියි. කොල්වින් දෙවෙනියා වුණේ ඡන්ද 16,000ක් විතර අරගෙන. ආනන්ද පැස්කුවල් තුන්වෙනියා. ඡන්ද හාරදාහට අඩුවි. ටයිටස්ට ඡන්ද 358යි. කිව්වා වගේ ම ඇප නෑ. ඔන්න වෙච්ච විනම්බෑසිය. ඔක්කොම තිබුණත් මිනිස්සු ඡන්දේ දුන්නේ නෑ.

මේක ඉන් පස්සෙ ඉතිං හැම මැතිවරණයකදීම මට නිතරම මතක් වුණා. සමහරුත් එක්ක මම මේ ගැන කතා කළා. ජනාධිපති මැතිවරණය තියෙනවා කියන කොටත් මට මේක මතක් වුණා. මෙරිල්, කොල්වින්, පැස්කුවල් දැන් ජීවතුන් අතර නැහැ. ටයිටස් ඉන්න බව දැනගන්න ලැබුණා.

ඒත් ඡන්දදායකයන් නම් නම් එහෙමම ඉන්නවා. හිතන, පතන, කල්පනා කරන විදිහ පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ. සිංහලෙන්ම කියනවනං අප්ඩේට් වෙලා නෑ. ඒ හන්ද මෙදා ප්‍රතිඵලයත් ඔහොම වෙයි මට හිතෙන්නේ. එදා ටයිටස් ට නැති වුනේ ඇපේ විතරයි. දැන් එහෙම නෙවෙයි, ඇපෙත් නෑ; ඇඩ්‍රසුත් නෑ. ඇයි අවුල් ද? නොවැම්බර් 17 බලා ගමු, හරි ය?

Leave comment

Your email address will not be published. Required fields are marked with *.