White van - Sri Lanka

ශ්‍රී ලංකාවේ දේශපාලන ඝාතන සංස්කෘතියට දීර්ඝ ඉතිහාසයක් තිබේ. වතු කම්කරු අරගලයකදී මුල්ඔය වතුයායේ කම්කරුවකු වූ ගෝවින්දන්ට වෙඩිතබා මරා දමනු ලැබුවේ 1940 තරම් ඈත වකවානුවකදී ය.

Translations by Creative Content Consultants

1947 රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක වර්ජනයේදී පොලිස් වෙඩිතැබීමෙන් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ කාර්යාලයේ සේවය කරමින් සිටි ලිපිකාර සේවයේ වී. කන්දසාමි මියගියේ ය.

1953 අගෝස්තු 12 දින හර්තාලයේදී පුද්ගලයන් නවදෙනෙකු ඝාතනය කරන ලදී.

අගමැකි බණ්ඩාරනායක ඝාතනය සිදු වූයේ 1959දී ය.

1966දී දඹරාවේ රතනසාර හිමි ඝාතනය සිදු විය.

බණ්ඩාරනායක ඝාතනය හැර අනෙකුත් සියලු දේශපාලන ඝාතනවලට වගකිව යුතු වූයේ රජයයි. ඒ බොහෝ ඝාතන කැරලි කෝලාහල අතරතුර සිදු වූ ඒවා ය. එහෙත්, 1970න් පසු යුගය ඍජු දේශපාලන ඝාතන සංස්කෘතියක් ආරම්භ වූ යුගයකි.

1971 කැරැල්ලේ ද ජනතා විමුක්ති පෙරමුණ හා පෙරදිග සුළං වැනි කැරළි කණ්ඩායම් ද, රජය ද දේශපාලන ඝාතනවල නියැලුණේ ය. ප්‍රේමවතී මනම්පේරි නම් තරුණිය රජයේ පොලිස් හා හමුදා නිලධාරීන් විසින් දූෂණය කර මරාදමන ලද ආකාරය මෙම යුගයේ ඝාතන සංස්කෘතියේ සංකේතයයි.

1971න් ආරම්භ වූ දේශපාලන ඝාතන සංස්කෘතිය දිගින් දිගට ම පැවතිණි. 1987-89 සහ 2007-2015 සමයන් මේ සම්බන්ධයෙන් ඉතිහාසයේ අඳුර ම යුග වේ. අභියෝගාත්මක දේශපාලන ක්‍රියාමාර්ග ගන්නා පුද්ගලයන් වරදක් සිදු කර තිබේ නම් නීතිය ඉදිරියට ගෙන ඒමටත් කලින් ඔවුන්ට සිදු වූයේ ඝාතන තර්ජනයට මුහුණදීමටයි. මෙහි කූටප්‍රාප්තිය වූයේ පුද්ගලයන් පැහැරගෙන ගොස් වධ දී මරාදැමීමයි. කුප්‍රකට සුදු වෑන් කරලියට එන්නේ ඒ සමග ය.

සුදු වෑන් යනු ඇත්තෙන් ම දේශපාලන අලංකාරිකයකි. ශ්‍රී ලංකාවේ භාවිතා වන වෑන් රථ අතරින් අති බහුතරය සුදු පැහැති ය. රජය විසින් මිළ දී ගන්නා ලද වෑන් රථ අති බහුතරය සුදු පැහැති විය. පුද්ගලයන් පැහැරගෙන යාම සිදු කළ රාජ්‍ය හමුදා, පොලිසිය හා අතුරු හමුදා භාවිතා කළේ මෙම වෑන් රථ ය. රජයේ නිල වාහන වෙනුවට ම වෙන ම වාහන ද භාවිතා කරන්නට ඇත. පුද්ගලයන් පැහැරගෙන ගිය ඇතැම් රථ ද සුදු වෑන් විය හැකි ය. එහෙත්, සුදු වෑන් යනු රාජ්‍ය බලය මෙහෙයවා පුද්ගලයන් පැහැරගෙන යාම, වධදීම හා අතුරුදහන් කිරීම සිදු කළ එක් යුගයක සුවිශේෂ සංකේතයකි.

දේශපාලන ඝාතන සංස්කෘතියේ නියාමක බලවේග වුණේ 1970දී බලයට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය යන පක්ෂවලින් සමන්විත සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය, වෙනත් දෙමළ කැරැලිකාරී සංවිධාන, රජය සමග සම්බන්ධ අතුරු හමුදා සහ මෑත වකවානුවේදී නම් තව්හීද් ජමාත් වැනි මුස්ලිම් සංවිධානයි.

1971න් පසු ආරම්භ වූ දේශපාලන ඝාතන සංස්කෘතිය තවමත් අවසන් නැත. එහෙත් 2015 සිට කැපීපෙනෙන වෙනසක් තිබේ. එය හඳුනාගැනීම වැදගත් ය.

2015 සිට මේ දක්වා ම රජය, රාජ්‍ය දේශපාලකයන්, රාජ්‍ය හමුදා හෝ පොලීසිය විසින් කිසිදු දේශපාලන ඝාතනයක් සිදු කර නැත. මෙහිදී අප මතක තබාගත යුතු කාරණයක් වන්නේ දඩබල්ලන් මුදාහළ විට ඔවුන් පාලනය කරගන්නට හැකියාවක් රජයට පවා නැති බවයි.

මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ යුද්ධයෙන් පසු පවා ජනමාධ්‍යකරුවන් පැහැරගෙන ගොස් අතුරුදහන් කරන ලදී. එපමණක් නොව, මත්ද්‍රව්‍ය හා පාතාල අපරාධකරුවන් යයි සැකකරමින් පුද්ගලයන් විශාල පිරිසක් එක්කෝ අතුරුදහන් කරන ලදී. නැතිනම්, ආයුධ පෙන්වීමට යද්දී පැන යන්නට උත්සාහ කළ බව කියා දියේ ගිල්වා හෝ වෙඩි තබා හෝ ඝාතනය කරන ලදී.

මතුගම නගරයේ පසුගිය සමයේ ගෝඨාභය රාජපක්ෂට සුබපතා දැවැන්ත පුවරුවක් සවි කර තිබිණි. කුප්‍රකට පාතාල මැරවරයකු වූ මෙම සුබපතන්නා දැන් මතුගම ආසනයේ පොහොට්ටුවේ ප්‍රධානියෙකි. ඔහු ඇතැම් විට මතුගම සංවිධායක වන්නට පවා ඉඩ තිබේ. පසුගිය සමයේ ඔහු අපරාධයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විට ඔහුව ආයුධ පෙන්නන්නට යාමෙන් බේරාගැනීමට එසමයේ ඇමතිවරුන්ට පවා දැඩි පරිශ්‍රමයක් දරන්නට වූ බව වාර්තා වේ.

මෙසේ මුදාහරින ලද දඩබල්ලෝ අවසානයේදී කුඩුවලට ඇබ්බැහි වී සිටි මිනිසුන් පවා මරාදැමූ හ. අඟුලාන පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ නිලධාරීන් විසින් තරුණයන් දෙදෙනෙකු මරාදැමූ සිද්ධිය මතක ද?

එක්තරා සමයකදී කොළඹ වීදි අලංකරණය, සිඟන්නන් ඉවත් කිරීම හා සමාන්තරව නිදාගෙන සිටින සිඟන්නන්ගේ හිස මතට ගල් හෙළා හිස පොඩිකර මරාදැමීම ද සිදු විය. මේ හැම එකක් ම කළේ රජය යයි අපි නොකියමු. එහෙත්, ආණ්ඩුව විසින් ඒ සඳහා මග සකසන ලදී.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවලින් පසුව පවා සිද්ධියට සම්බන්ධ සියලු අල ගිය, මුල ගිය තැන් විමර්ශනය කර වැරදිකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළා මිස පැහැරගෙන යාම, වධ දීම හා අතුරුදහන් කිරීම පිළිබඳ චෝදනාවක් රජයට හෝ රජයේ ආරක්ෂක අංශවලට එල්ල වන්නේ නැත.

රාජ්‍ය නායකයන් විසින් හමුදාව, පොලිසිය හා අතුරු හමුදා පුරවැසියන් ඝාතනයට යොදා නොගැනීම 2015න් පසු කාලයේ ශ්‍රී ලංකාව ලද සුවිශාල ම ජයග්‍රහණයකි. මිනීමරුවකු, වධකයකු නොවී පොලිසියේ, හමුදාවේ රැකියාව කිරීමේ අවස්ථාව දැන් තිබේ. පොලිසියේ, හමුදාවේ කෙනෙකු සමග ආවාහ විවාහ කරගැනීමට පවා අකැමැති මිනිසුන් සිටි රටක දැන් ආරක්ෂක අංශවලට වෘත්තිකභාවය කෙරෙහි අවධානය යොමුකරන්නට හැකි වාතාවරණයක් නිර්මාණය වී තිබේ.

යළි සුදුවෑන් සංස්කෘතිය ඇති නොකරමු.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.