turmeric: cartoon by Ajith Perakum Jayasinghe

ලංකාවේ අපට සතුට ගෙන දෙන්නට එහෙමට දේ නැත. පිටතට ගොසින් රස ගුණ ඇති කෑම වේලක් කා සතුටු වන්නට පවා ලාංකිකයන්ට ලැබෙන අවස්ථා අඩු ය. එයට හේතුව එක්කෝ අධික මිලය. ලාභ ලැබීමේ චේතනාවෙන් වෙළෙන්දන් අලෙවි කරන කෑමවල රස ගුණ අවමය. සිංහල හෝ දෙමළ ක්‍රමයට රසවත් කෑම වේලක් සැකසීමට බොහෝ සුපිරි හෝටල්වල කෝකියන් පවා අසමත් වීම අනෙක් හේතුවයි. වෑංජනයක්, දෙකක් සමග ගෙදර උයාගෙන කන බත් වේල ලාංකිකයන්ට දිව්‍ය භෝජනයකි.

Translations by Creative Content Consultants

රසට බත් වේලක් උයාගෙන කන්නට නම් පොල් කිරි, පොල් තෙල්, මිරිස්, තුනපහ, කහ, අබ, ගම්මිරිස්, උළුහාල්, සූදුරු, මාදුරු, කුරුඳු, රම්පෙ, කරපිංචා ආදිය අත්‍යවශ්‍යය.

කහවලින් හොද්දට එකතු වන්නේ වර්ණය පමණක් නොවේ. රසක් ද, පෝෂ්‍ය හා විෂහරණ ගුණයන් ද එක් වේ. ආහාරයකින් මානසික තෘප්තිය ලැබීමට වර්ණය ද අදාළ වේ. කහ අපට වැදගත් වන්නේ ඒ නිසා ය.

මේ සරල දේ තේරුම් ගන්නට අසමත්, විදේශ රටවල ජීවත් වී පරගැති චින්තනයන්ගෙන් ඔලු කුරුවල් කරගත්, බලය වෙනුවෙන් පමණක් ජාතිය කරපින්නා ගත් ලංකාවේ වත්මන් පාලකයන්ට සිංහල, දෙමළ, මුස්ලිම් මිනිසුන්ගේ රස නහර හඳුනාගන්නට බැරි ය. ඔවුන් විසින් ජනතාවගෙන් පැහැරගෙන තිබෙන්නේ කෑමක රසය හරි හැටි විඳගන්නට ඇති අයිතියයි.

ශ්‍රී ලංකාවේ ගොවීන් කහ වගාව ප්‍රමුඛ වගාවක් ලෙස කළේ නැත. එහෙයින්, පරිභෝජනය සඳහා අවශ්‍ය මුළු කහ ප්‍රමාණය කවදාවත් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලැබුවේ නැත.

කහ සහ ගම්මිරිස්, පුවක්, සියඹලා, කුරුඳු, කරාබුනැටි, සාදික්කා, ඉඟුරු, කරදමුංගු වැනි භෝග ප්‍රති අපනයනය කිරීම තහනම් කරමින් ශ්‍රී ලංකා රජය පසුගිය දෙසැම්බරයේදී ගැසට් නිවේදනයක් නිකුත් කළේ ය. දේශීය නිෂ්පාදන බාල ආනයනික ද්‍රව්‍ය සමග මිශ්‍ර කර නැවත අපනයනය කිරීම වැළැක්වීම මෙහි අරමුණ විය.

අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන අනුව, ශ්‍රී ලංකාවේ වාර්ෂික කහ පරිභෝජනය මෙට්‍රික් ටොන් 7,000ක් පමණ වන අතර, එයින් රට තුළ නිෂ්පාදනය කරනු ලබන්නේ මෙට්‍රික් ටොන් 2,000ක් පමණය. කහ වගාව ගොවීන් අතර එතරම් ජනප්‍රිය නොවන්නට හේතු වන්නේ කහ අස්වනු නෙළීමට වසරකට ආසන්න කාලයක් ගතවීම, විවෘත වෙළඳපොළ තත්වයන් යටතේ අමු කහ කිලෝවකට රු. 20ට 30ට වැඩි මිලක් ලබාගැනීමට නොහැකි වීම, කහ වගාව ප්‍රවර්ධනය කිරීමට කිසිදු වැඩපිළිවෙලක් මෙතෙක් කල් නොපැවතීම සහ බීජ හා ලෙඩරෝග සඳහා ප්‍රතිකාර ආදිය සපයාගැනීමේ දුෂ්කරතාව විය.

මේ කිසිවකට විසඳුම් නොදී, ආණ්ඩුව කළේ මිනිසුන්ට කහ ටිකක් මිල දී ගැනීමට නැති තත්වයක් නිර්මාණය කිරීමයි. එයින් කහ වගාවට මිනිසුන් අලුතින් යොමු වී කහ නිෂ්පාදනය ඉහළ ගොස් ආනයන වියදම අවම වී වෙළඳ ශේෂය අවම කරගන්නට ශ්‍රී ලංකාවට හැකි වේ ය යන්න මෙම කහ තහනම පසුපස තිබෙන දේශපාලන ආර්ථික උපායමාර්ගයයි.

එහෙත්, මෙවැනි තහනම් කිරීම් මගින් කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කළ හැකිද යන්න සැක සහිතය. එමගින් තාවකාලිකව ගොවීන් කහ වගාවට යොමු විය හැකි වුවද, එසේ යොමුවන්නේ අලුත් ගොවීන්ද නැතිනම් වෙනත් වගාවක් කරමින් සිටි ගොවීන්ද? කෙසේ වෙතත්, මේ මොහොතේ කහ වවන ගොවීන් අස්වනු නෙළාගත් විට ඔවුන්ගේ අතමිට සරු විය හැකිය.

එහෙත්, කහ ආනයන අවසර ලබාගත හැකි ව්‍යාපාරිකයන් හා මුහුදෙන් කහ හොරෙන් පන්නා ගත හැකි ජාවාරම්කරුවන් ඊට වඩා ලාභ ලබනු ඇත.

කෘෂිකර්මාන්තය වෙනුවෙන් ලක්ෂ ගණනක් රජයේ නිලධාරීන් සේවය කරන රාජ්‍ය යාන්ත්‍රණයක් තිබේ. එහෙත්, එයින් ගොවීන්ට හෝ ගෙවතු වගා කරන්නන්ට හෝ තිබෙන ප්‍රයෝජන අවම ය. වගාවකට ලෙඩක් හැදුණු විට ප්‍රතිකාරයක් අසාගන්නටවත් මෙම රාජ්‍ය කෘෂිකර්ම යාන්ත්‍රණයෙන් ඇත්තේ අවම ප්‍රයෝජනයකි.

තහනම් කිරීම්වලින් පමණක් කෘෂිකර්මාන්තය නගාසිටුවිය නොහැකිය. ඒ වෙනුවෙන් රජය වැඩ කළ යුතුය.

Translations by Creative Content Consultants

3 thoughts on “මයි හන්ඩ්‍රඩ් ටර්මරික්-ටර්මරික් ස්ලීපිං ඔන් ද ඩොංකි බෙඩ්

  1. අහරකින් සතුටු වීමට ඉන්ද්‍රියයන් හතරක සමෝධානිත්වය බලපානු ලැබේ.
    1. දිව 2. නාසය 3. ඇස 4. කන
    (හං වෙච්චි පපඩම් ප්‍රතික්ෂේප කරන්නේ එහි සද්දෙ නැති නිසායි.)
    අනෙක් අදාළ ඉන්ද්‍රියයන්ගෙන් ආහාරයේදී කෙරෙන වැඩේ කවුරුත් දනිති.

  2. කහ ආහාර පිසීමේදී පමණක් නොව පාරම්පරික ඔස්වකි. විස නැසීම මෙන්ම බොහෝ ආයුර්වේද ඔස් සඳහා යොදන දෙයකි.
    තවද, කොරෝනා අවදානම පහව ගොස් නැති එක එක කොනකින් කියන ගමන්, කහ හිඟයක් ඇතිකර එයින් විදේශ විනිමය සොච්චමක් ඉතිරි කර ගන්නවා යයි කියද්දී අනෙක් කොනෙන් අලුත ගෙනා මන්ත්‍රී 90 ගනනකට වාහන ගෙන්වීමට කෝටි දෙක බැගින් විනිමය නිර්ලෝභිව පූජා කරති. පෙනෙන විදියට නම් මෙව්වා විලිලැජ්ජා නැති වැඩ.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.