cartoon by Ajith

අජිත් පැරකුම් ජයසිංහ

දැන් රජය නැවත ආර්ථිකය පුනර්ජීවනය කරන්නට පියවර ගනිමින් සිටින බව කියයි. ඒ වෙනුවෙන් සුපුරුදු පරිදි අගමැතිවරයාටත් ඉහළින් බැසිල්තුමා පත් කර තිබේ. බැසිල්ගේ නමත් බැසිල් ය. තනතුරත් බැසිල් ය.

Translations

කෙසේ වෙතත්, මේ පුනර්ජීවනය ගැන කතා කරන විට මේ ප්‍රශ්නයත් අසන්නට සිදු වේ. ලංකාවේ ආර්ථිකය අමුතුවෙන් හදන්නට සිදු වුණේ ඇයි? එය කඩා වැටුණේ ඇයි?

කඩා වැටුණේ කොවිඩ්-19 පැතිරෙතැයි ඇති වුණ බියක් නිසා රට පුරා ඇඳිරි නීති පනවා ආර්ථිකය අකර්මන්‍ය කර දැමූ නිසා ය. නිෂ්පාදනය, අපනයන, ආනයන, බෙදාහැරීම, සිල්ලර අලෙවිය, වෙළඳපොළ, රජයේ සේවය, කර්මාන්ත, සේවා, අවිධිමත් අංශය, ජීවනෝපාය ආදී සියල්ල අකර්මන්‍ය කර දැමීම නිසා ය.

එහෙම දෙයක් කිරීමට අවශ්‍යතාවක් ඇත්තට ම තිබුණාදැයි ආපසු හැරී බැලිය යුතු ය.

මේ මොහොත වන විටත්, ලංකාවේ කොරෝනා රෝගීන්ගෙන් 50%කට වඩා රජයේ කොරෝනා මර්දන මෙහෙයුමේ දුර්වලකම හේතුවෙන් රෝගය වැළඳුණු නාවික හමුදා සෙබළු ය. සාමාන්‍ය ජනතාව අතර වයිරසය පැතිර ගියේ අවම මට්ටමෙනි. ඇඳිරි නීති නොදැම්මා නම් මීට වඩා පැතිරෙන්නට ඉඩ තිබුණා යයි කියන්නට බැරිකමක් නැත. එහෙත්, ඇඳිරි නීති දැමූ මුල් දිනයේ බදුලු කෝච්චිය ඇන්ජිමේ පවා සෙනග පුරවාගෙන ගිය හැටි මතක ද? පැතිරෙනවා නම් එමගින් ද පැතිරෙන්නට තිබිණි.

ශ්‍රී ලංකාව ලෝක රැල්ලටත් යමින් පූර්ණ ඇඳිරි නීතියක් ප්‍රකාශයට පත් කළේ ඇයි? එසේ ප්‍රකාශයට පත් කළ ඇඳිරි නීතිය හේතුවෙන් ආර්ථිකය බිඳ වැටීම හැර වෙනත් සාර්ථක ප්‍රතිඵලයක් අත් වුණා ද? රෝග ව්‍යාප්තිය වැඩි වුණා මිස අඩු වුණා ද?

රෝගය පාලනය කිරීම සඳහා ගන්නා ලද බුද්ධි අංශ විමර්ශන, නිරෝධායන ක්‍රියාමාර්ග, සීමිතව ප්‍රදේශ ලොක්ඩවුන් කිරීම වැනි ක්‍රියාමාර්ග අපි අගය කරන්නෙමු. අප කියන්නේ ඇඳිරි නීති දැමීම තේරුමක් නැති වැඩක් බවයි. එයින් වුණේ ආර්ථිකය විනාශ වීමයි.

කොවිඩ්-19 ව්‍යාප්තිය මැඩලීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ග ආර්ථිකය අකර්මන්‍ය නොකර පවා කරන්නට තිබුණා නේ ද?

වයිරසය ව්‍යාප්තිය වැළැක්විය හැක්කේ ඇඳිරි නීතියෙන් නම්, වයිරසය වේගයෙන් පැතිරෙමින් තිබියදී ඇඳිරි නීතිය ඉවත් කර සියල්ල සාමාන්‍ය අතට හරවන්නට අවශ්‍ය පියවර ගනිමින් සිටින්නේ ඇයි?

කොරෝනා රෝගීන් සුළු වශයෙන් හමුවෙමින් සිටියදී ඒ වෙත යොමු කළ මාධ්‍ය කැමරා දැන් කෝ? දවස පුරා ගැසූ කොරෝනා මාධ්‍ය කයිවාරු රෝගීන් දිනපතා දුසිම් ගණනින් හමු වන දැන් කෝ? එසේම, අති විශාල ප්‍රතිශතයක් රෝගීන් රෝග ලක්ෂණවත් පළ නොකරන වයිරස් රෝගයකට රටක්ම වසාගෙන බිය වීමට තරම් දෙයක් ඇත්තට ම තිබෙනවා ද? මේ බිය වීම ලෝක රැල්ලක් නොවේ ද? උදේ පටන් රෑ වෙනකල් ඕනෑවට වඩා ඒ ගැන කතා නොකළ යුතු බව රජය අවබෝධ කරගැනීම හොඳ දෙයකි.

දැන් නැවත නඟාසිටුවන්නට සිදු වී තිබෙන්නේ තේරුමක් නැතිව විනාශ කර දැමූ ආර්ථිකයකි. කොවිඩ්-19 නිසා අභියෝග ඇති වූ බව ඇත්තකි. උදාහරණයක් ලෙස ඇඟලුම් කර්මාන්ත ශාලාවල ඇණවුම් හිඟවීම වැනි අර්බුද ඇති විය. එහෙත්, එයට වඩා දැන් ලොකුම අර්බුදය වී තිබෙන්නේ වසා දැමූ කම්හල් යළි ඇරීම හා පවත්වාගෙන යාම නොවේ ද? මේවා විවෘතව තිබුණා නම් මෙම අභියෝගවලට විසඳුම් සොයාගන්නට හැකියාව නොතිබුණා ද?

අප කියන්නේ මෙයයි. කොවිඩ්-19 පාලනය කිරීම සඳහා ඇඳිරි නීති දමා ආර්ථික අක්‍රිය කර දැමීම රජය විසින් ගන්නා ලද ඉතා අමනෝඥ පියවරකි. එයට එම තීරණය ගත් පුද්ගලයන් වගකිව යුතු ය. එය මහජන නියෝජනය සහිත පාර්ලිමේන්තුවක් විසින් අනුමත කරන ලද පියවරක් නොවේ.

දැන් ඉතින් ගිය දේ ගියා ය. සිදු වූ හානිය සුළුපටු නොවේ. එහෙත්, එක් වාසියක් තිබේ. කඩා බිඳ දැමූ දෙයක් නැවත හදන විට වඩා සැලසුම් සහගතව නැවත හදන්නට පුළුවන. රජය එම අවස්ථාව පාවිච්චි කළ යුතු ය.

1 thought on “කොවිඩ් 19 මුට්ටියට ඔලුව දැමූ ආර්ථික එළුවා හා මහදැනමුත්තා

  1. මා සිතන ආකාරයට ආර්ථිකය විනාශ මුඛයට වැටී තිබුනේ කොරෝනාවට පෙර සිටමය. සිදු වූයේ එම තත්ත්වයේ උග්‍රවීමක් පමණි. කොරෝනා වෛරසය කෙරෙහි අනවශ්‍ය බියක් ඇති කරගත්තා කියනවාට වඩා සෞඛ්‍ය අංශයේ හා ජනතාවගේ දැඩි උත්සාහය මත රට වසංගත තත්ත්වයකට පත් නොවී මේ මට්ටමින් හෝ පාලනය වී තිබෙනබව පෙනේ. වෛරසය කෙරෙහි ඇතිකරගත් බිය සාධනීය ලෙස බලපා ඇතැයි සිතේ.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.