Social distancing

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත – 2020 මාර්තු 20

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වසංගතය මෑත ඉතිහාසයේ ලෝකයේ පැතිරුණු දරුණු ම වසංගතය බවට තර්කයක් නැත. එහි මාරාන්තිකභාවය 4%ක් පමණ ය. එය තවමත් පැතිරෙමින් පවතින නිසා කෙතරම් මරණ සංඛ්‍යාවක් සිදු වන ඇද්දැයි තවම අනුමාන කළ නොහැකි ය. එහෙත්, චීනය වසංගතය පාලනය කරගත් ආකාරය විසින් ලෝකයට බලාපොරොත්තු ඇති කර තිබේ. මිනිස් වර්ගයා මෙම වසංගතයෙන් ද ඉතා ඉක්මණින් ගොඩ එනු ඇත. එහෙත්, ප්‍රශ්නය එය නොවේ. මේ අවසානය ද?

Translations by Creative Content Consultants

වසර 2009-10 සමයේ ඇති වූ ඌරු උණ වසංගතය නිසා ලක්ෂ දෙකක් ජනයා මියගිහ හ. 2014-16 සමයේ ඇති වූ එබෝලා වසංගතයෙන් 11,000කට වඩා ජනයා මියගිය හ. වඩා සෙමෙන් මරණය ගෙන එන වයිරසයක් වූ එච්අයිවී විසින් 1981 සිට මේ දක්වා කාලය තුළ මිලියන 25-35 අතර ජීවිත සංඛ්‍යාවක් බිලිගෙන හමාර ය. වසර 1918-19 සමයේ ඇති වූ ස්පාඤ්ඤ සෙම්ප්‍රතිශ්‍යාෙවන් මියගිය සංඛ්‍යාව මිලියන 40-50 අතර වේ. මිහිතලය උණුසුම් වීම, දේශගුණික විපර්යාස, පරිසර දූෂණය හා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මීළඟ අභියෝගය පුරෝකථනය කිරීම දුෂ්කර ය. කෙසේ වෙතත්, එකක් පැහැදිලි ය. මිනිස් වර්ගයාගේ පැවැත්ම රැකගැනීම සඳහා කරන අරගලය ඉදිරි කාලයේදී ප්‍රමුඛ ම අරගලය වනු ඇත.

එවැනි පසුබිමක් තුළ, මානව සංහතිය, එහි ස්වභාවය, ඒකීයත්වය තුළ විවිධත්වය, ආර්ථිකය, සමාජය, දේශපාලනය, සංස්කෘතීන්, ආගම්, දෘෂ්ටිවාදයන්, දර්ශනයන් ආදී හැම කරුණක් ගැන ම නැවත සිතන්නට මිනිස් වර්ගයාට සිදු වනු ඇත.

කොරෝනා වයිරසය නිසා තාවකාලිකව හෝ ලොව තුළ දක්නට ලැබෙන ලක්ෂණ කිහිපයක් ගැන ගැඹුරින් සලකා බැලීම වටී. චීනය පිළිබඳ නැවත සිතීම එහිදී ප්‍රමුඛ ය. ලිබරල් ලෝකයේ චීනය සැලකෙන්නේ ඒකාධිපති රටක් ලෙස ය. එහෙත්, බොහෝ ලිබරල් සමාජයක් වන ඉතාලිය ඇතුළු එවැනි ලිබරල් සමාජයන් වන යුරෝපා රටවල් කොරෝනා වයිරසය පාලනය කරගත නොහැකිව අසරණව සිටියදී චීනය දැඩි පාලනයක් තුළ ඉතා ඉක්මණින් වසංගත ප්‍රස්ථාරයේ උච්චස්ථානය සලකුණු කරගෙන ඉන් අනතුරුව එය පහළට ගෙන ඒමට සමත් විය.

එහෙත්, චීනය යනු මේ වන විට ගෝලීය වෙළඳ අධිරාජ්‍යයකට හිමිකම් කියන ජාතික රාජ්‍යයකි. මුල්‍ය, ප්‍රාග්ධන, නිෂ්පාදන, සේවා, බෙදාහැරීම්, අලෙවි දාමයන් ඔස්සේ චීනය ජාතික රාජ්‍ය සීමා අභිභවමින් මුළු ලෝකය ම සමග බැඳී ඇත. චීනයට හෙම්බිරිස්සාව හැදෙන විට ලෝකයේ බොහෝ රටවල ආර්ථිකයන්ට නිව්මෝනියාව හැදෙන්නේ එබැවිනි. විශේෂයෙන් ම ලංකාව වැනි කුඩා ආර්ථිකයන්, මහා ආර්ථිකයන් මත ඕනෑවට වඩා යැපීම කෙතරම් දුරට තිරසර තත්වයක් ද යන්න දැන් මතු වී තිබෙන ප්‍රශ්නයකි.

කොරෝනා වයිරසය විසින් නිර්මාණය කළ තත්වය සමස්ත ගෝලීයකරණ වැඩසටහන ම නැවත සලකා බැලීමට පොළඹවන තත්වයකි. ලෝකය ගෝලීයකරණය වීම ආරම්භ වූයේ එය වඩා වේගවත් හා ගැඹුරු වූ මෑත සියවසක පමණ කාලයට සහශ්‍ර ගණනකට පෙර ය. එහෙයින් ලෝකය ගෝලීයකරණය වීම වැළැක්විය හැකි නොවූවත්, එහි වේගය හා සීමා ගැන නැවත සලකා බලන්නට මිනිස් වර්ගයාට සිදු වී තිබේ.

ඒ සමගම සමස්ත ධනවාදී ක්‍රමය ම අභියෝගයට ලක් වී තිබේ. එය අලුත් තත්වයක් නොවුණත්, කොරෝනා වයිරසය විසින් ඒ ගැන ගැඹුරින් සිතන්නට විරාමයක් ලබා දී තිබේ. ගෝලීය ප්‍රාග්ධන, නිෂ්පාදන හා සේවා දාමයන් කොයි තරම් ස්ථාවර ද? ලාභය, නිදහස් වෙළඳාම හා පාරිභෝජනවාදය මත පවතින සමාජ ක්‍රමය කොයි තරම් තිරසර ද?

පාරිභෝජනවාදය නූතන ධනවාදයේ ප්‍රධාන ම ලක්ෂණයකි. ධනවාදය විසින් ලාභය වෙනුවෙන් පාරිභෝජනවාදය ප්‍රවර්ධනය කරනු ලැබේ. කෑම, බීම, ඇඳුම් පැළඳුම්, යාන වාහන, නිවාස, රැකියා, ව්‍යාපාර, වෙළඳාම, ප්‍රචාරණය, මිළ දී ගැනීම, පොදු පහසුකම්, සංචරණය ආදී මේ හැම එකක් සමග ම පාරිභෝජනවාදය වෙළී පැටලී තිබේ. එහෙත්, කොරෝනා වසංගතය නිසා තාවකාලිකව හෝ පාරිභෝජනවාදය අතහැර දමා වගකීමෙන් යුතු පාරිභෝජනයක් ගැන සිතීමට මිනිස් වර්ගයාට සිදු වී තිබේ. ප්‍රගතිශීලී චින්තනයකට පදනම එහි තිබේ.

වසංගත කාලය අවසන් වීමෙන් පසුවත් අප ඒ පදනම ඉදිරියට ගෙන යා යුතු ය.

Translations

Leave comment

Your email address will not be published. Required fields are marked with *.