Corona and media - cartoon by Ajith Perakum Jayasinghe

අජිත් පැරකුම් ජයසිංහ

නව කෙරෝනා වයිරසය සමග භාවිතා වන වචනයක් වන්නේ outbreak යන්නයි. හදිසි වේගවත් පැතිරීමක් එයින් අදහස් කෙරේ. එය වසංගතයක් (epidemic) වීමේ අවදානමක් දැකිය හැකි ය. එසේම, එය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක මට්ටමේ වසංගතයක් (pandemic) ලෙස ද නම් කිරීමට ඉඩ තිබේ.

Translations by Creative Content Consultants

මෑත ඉතිහාසයේ මතු වූ එවැනි දරුණු ම වසංගතය වන්නේ 1918-19 ස්පාඤ්ඤ සෙම්ප්‍රතිශ්‍යාවයි (Spanish flu). සුළඟෙන් පැතිරෙන H1N1 වයිරසයෙන් ආසාදනය වූ එම රෝගය ලොව පුරා ම පැතිර ගිය අතර මිලියන 500ක් හෙවත් ලෝක ජනගහනයෙන් තුනෙන් එකකට ස්පාඤ්ඤ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණු බව වාර්තා වේ. ලොව පුරා මිලියන 20-50 අතර ජනතාවක් එයින් මිය ගිය හ. එක්සත් ජනපදයේ පමණක් 675,000ක් මිය ගිය හ.

1957-58 ආසියානු සෙම්ප්‍රතිශ්‍යාව බෝ වූයේ H2N2 වයිරසය හේතුවෙනි. 1968දී හොංකොං සෙම්ප්‍රතිශ්‍යාව බෝ වුණේ H2N3 වයිරසය නිසා ය. මෙම ලෝක මට්ටමේ වසංගතවලින් ද මිලියන 1-4 දක්වා ජනතාවක් මියගිය බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමාන කරයි. එහෙත්, විද්‍යාගාර පරීක්ෂණවලින් හේතුව ඔප්පු වූ මරණ සංඛ්‍යාව ඊට බෙහෙවින් අඩු ය.

21වන සියවසේ පළමු එවැනි වසංගතයවන්නේ 2009-10 වකවානුවේ H1N1 වයිරසය පැතිරීමයි. 2009දී පමණක් එයින් පුද්ගලයන් 100,000-400,000 අතර පිරිසක් මිය ගිය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එහෙත්, වඩා සාර්ථක ලෙස වයිරස් ප්‍රහාරයට මුහුණ දීමට ලෝකය සමත් වූ අතර වයිරසයට එරෙහි එන්නත් පවා හඳුන්වා දෙන ලදී.

2003දී ආසියාවේ පැතිරුණු SARS වයිරසය ද කොරෝනා වයිරස වර්ගයකි. නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ලෝක මට්ටමෙන් ඇති වී තිබෙන අවධානය එය පාලනය කිරීමෙහි ලා ඉවහල් වනු ඇත. එහෙත්, ජනමාධ්‍ය විසින් කොරෝනා වයිරසය සම්බන්ධයෙන් නිර්මාණය කරමින් තිබෙන්නේ ලෝක මට්ටමේ භීෂණයකි.

චීනය රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට ගත් දැඩි ක්‍රියාමාර්ග සාධනීය ඒවා ය. එහෙත්, එමගින් ලොව පුරා පැතිරී තිබෙන්නේ අසාමාන්‍ය භීතිකාවකි. චීනයේ ආර්ථිකයට පවා එය බලපෑ හැකි තත්වයක් මේ වන විට නිර්මාණය වී තිබේ. චීන ආර්ථිකයට හෙම්බිරිස්සාව හැදෙන විට ලොව වෙනත් බොහෝ ආර්ථිකයන්ට නිව්මෝනියාව හැදෙන බව අප අමතක කළ යුතු නැත.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් 9%ක් චීන ජාතිකයන් වන අතර රටට වැඩිපුර ම සංචාරකයන් පැමිණෙන ගමනාන්ත රටවල් අතර චීනය තුන්වන ස්ථානයට පත් වේ. මේ වන විට ශ්‍රී ලංකාවේ පළමු නව කොරෝනා වයිරස් ආසාදිතයා ලෙස චීන ජාතික සංචාරකයකු හඳුනාගෙන තිබේ.

බොහෝ විට, මෙවැනි වයිරස් වසංගත පාලනය කිරීම සඳහා කරන්නේ රෝගීන් හුදකලා කිරීම, නිරෝධායනය කිරීම, යහපත්පෞද්ගලික ස්වස්ථතාව, විෂබීජ නාශක භාවිතා කිරීම සහ මහජන රැස්වීම් සීමා කිරීමයි.

වසංගත පැතිරීමට හේතු රැසක් තිබේ. නාගරීකරණය, සංචරණය, පාරිසරික විනාශය ආදී කරුණුවල වැඩි වීම එයට ප්‍රධාන හේතු වේ. එසේම, ප්‍රතිශක්තිකරණ විරෝධය, විද්‍යාව අවිශ්වාස කිරීම, මිථ්‍යාව පැතිරීම වැනි හේතු ද මේ පසුපස තිබේ.

කොරෝනා වයිරසය සෙසු සියලු වයිරස් ආසාදන පැතිරීම්වලට වඩා වේගයෙන් මාධ්‍ය හරහා පැතිරී යන බවක් දක්නට ලැබේ. මාධ්‍ය ආවරණය විසින් සාධනීය මෙන් ම නිශේධනීය ප්‍රතිඵල ද ඇති කරනු ලැබේ. එක පැත්තකින් මිනිසුන් ඒ පිළිබඳ දැනුවත් වේ. එහෙත්, අනෙක් පැත්තෙන් මාධ්‍යවල අධි සංවේදීකරණයන් හේතුවෙන් මිනිස්සු භීතියට පත් වෙති. මුඛ ආවරණ පැළඳීමෙන් ආරම්භ වන මෙය දෛනික ජීවිත හා සමස්ත ආර්ථිකය අඩාල වීම දක්වා පැතිරිය හැකි ය.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවලට මෙම යුගයේ පුවත් හිඟයක් තිබේ. එබැවින් මේ වන විටත් කොරෝනා වයිරසය සම්බන්ධයෙන් අධි සංවේදීභාවයක් සමාජය තුළ නිර්මාණය කර හමාර ය. රෝගය වැළඳුණ විට මිනිසුන් හිටිහැටියේ කෙසෙල් කඳන් සේ කඩා වැටෙන බවට ද පුවත් පළ විය. වෙනත් රෝග නිසා ද රෝගීන් ක්ලාන්ත වීම, සිහිසුන් වීම සිදු වේ.

ශ්‍රී ලංකාවේ දේශපාලන හා සමාජ අධිසංවේදීකරණයන් සම්බන්ධයෙන් කප්ගැසූ මාධ්‍ය කොරෝනා භීතිකාව නිර්මාණය කිරීමෙහි ද ඉදිරියෙන් ම තිබේ. පළමු රෝගියා හඳුනාගැනීමත් සමග ම ශ්‍රී ලංකාවේ සමාජය තුළ ඉතා නරක තත්වයක් ඇති විය හැකි ය. රෝගීන් හිංසාවට ලක්වීමට පවා ඉඩ තිබේ.

ශ්‍රී ලංකාවේ ඩෙංගි වසංගතය තවමත් අතිශය භයානක මට්ටමක ය. ගිය අවුරුද්දේ පමණක් ලක්ෂයකට පමණ ඩෙංගි වැළඳී 100ක් පමණ ජනයා එයින් මිය ගිය හ. ලෝක මට්ටමෙන් බැලුවත් ටියුබර්කියුලෝසිස් හෙවත් ක්ෂය රෝගය නිසා 2018දී පමණක් ලක්ෂ 15ක් ජනතාව මිය ගිය හ.

බිලියන 1.4ක් පමණ ජනගහනයක් සිටින වේගයෙන් සංවර්ධනය වෙමින් තිබෙන රටක් වන චීනයේ තවමත් මෙම ආසාදනයෙන් මියගොස් ඇතැයි සැලකෙන රෝගීන් සංඛ්‍යාව 100ට අඩු ය. ආසාදිතයන් සංඛ්‍යාව 3,000ට අඩු ය. චීනය මෙම තත්වය පාලනය කරගත හැකි පාලනයක් සහිත රටකි. මේ වන විට ප්‍රතිජීවක සම්බන්ධයෙන් ද පරීක්ෂණ සිදු කෙරේ.

සරලව කිවහොත් නව කොරෝනා වයිරසයට උවමනාවට වඩා බිය වීමෙන් අපි කොරෝනා වයිරසයට යටත් වන්නෙමු.

Translations

4 thoughts on “කොරෝනා වයිරසය වැඩියෙන් බෝ කරන්නේ ජනමාධ්‍ය විසිනි

  1. Mea hutapatayen GMOA eka awadiwie , leddu awadaanam kaandayak nisaa aanduwen prathilaaba illai . Mahajanayaage badhu mudalin adyaapanaya labaa denatamath suvisesa prathilaaba labamin , owun waidyawaru wooye kumak korannadei owun visinma sihipath kala yuthi . Owunge illiem kothek sadaachaarathmakada , saadaaranada , waasthavika dei janathaawa thieranaya kala yuthuya .

    • අද දින වන විට බොහෝ රෝහල් වල අාරක්ෂිත උපකරණ තියා මුහුණ පමණක් වසාගෙන වත් රෝගියා බැලීමට පවා අඩුමතරමින් සාමාන්‍ය Mask එකක් වත් නැත. චීනයේ රෝගීන් පරීක්ෂා කරන අාකාරයටම මෙහිත් පහසුකම් තිබිය යුතු බවට වෙෙද්‍යවරු පහසුකම් සියල්ල ඉල්ලන්නේ නැත. ඔබ හෙම්බිරිස්සාවක් ප්‍රයිවට් චැනලින් යන කෙනෙකු විය හැකිය. නමුත් හොස්පිටල් එකකට වැස්සකට වත් ගොඩවී යථාර්ථය අවබෝධ කර ගැනීමට උත්සාහ කරන්න.
      බුකියේ අන්තර් ජාලයෙන් කොටපු පමණින් සියල්ල සිදුවන්නේ නැත. වෙෙද්‍යවරුන්ට පාඩම් උගන්වන්නට කලින් යමක් සොයා බලා දෙයක් කියන්න.
      ඔවුන්ටත් දරුවන් අැත.චීනයේ වෙෙද්‍යවරු හදේ යන්නට මෙන් සියලු අාරක්ෂිත උපක්‍රම පැළඳ මිස රෝගීන් අසලට වත් යන්නේ නැත. එහෙත් මෙහි අඩුම පහසුකම් ටික වත් නැත. එ් කියා මෙහි වෙෙද්‍යවරු ලෙඩා නොබාලා සිට නැත. රැල්ලක ගොං කමෙන්ට් පලකර පාරක් විය හැක. නමුත් යථාර්ථය අසලට වත් ඔබට යා නොහැක.
      පාසලක අසනීප වූ දරුවා රෝහලට ගෙනයාමට එකදු ගුරුවරයෙක් ඉදිරිපත් වී නැත. පොර ටෝක් ඔබත් මෙවැනි ගොඩක් අය එ් අාකාරයම වන්නේය.

      මෙහිදී වඩාත්ම අවධානම් කාණ්ඩය වෙෙද්‍යවරු, හෙදියන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අැතුලු සියලු දෙනාය. වෙෙද්‍යවරු දීමනා ඉල්ලා නැත. අවම අාරක්ෂණ පහසුකම් පමණක් ඉල්ලා අැත.

      ගොං ක්‍රම හා කුහක කම ප්‍රදර්ශනය කර එ් උත්තමයන් කරන සේවාවට නිගා කරන අැටි කෙහෙල් වීරයෙක් නොවන්න.

      පුලුවන් නම් හෙට උදෑසන පොර සේ IDH රෝහලට ගොස් පෙන්වන්න

  2. ජනමාධ්‍යයේ අධිසංවේදීතාවයට නම් දොස් කියන්න අමාරුයි. ප්‍රශ්ණය තියෙන්නෙ මේ කාරණය වාර්තා කෙරෙන ආකාරයයි. ගොඩක් ජනමාධ්‍යවේදීන් කියන අය ඒ පිලිබද පාමානික වෘතිකයන් නෙවෙයි. ඔවුන් ලිද ලද සංගමේ එන්සිනා දයාවතී පන්නයේ අය…මොකක් හෝ ලියනවා ඇරෙන්න ඒ පිලිබදව හදාරා කරුණු වාර්තා කිරීමක් සිදුවෙන්නේ නෑ.

    ජනමාධ්‍යවේදීන් කියා ගන්නා අය සදහා ඒ සදහා නිපුණතාවයෙන්, බුද්ධියෙන්, දැනුමෙන් හා ඉහල ආකල්ප සහිත පුද්ගයන් ආදේශ වෙන තෙක්, ලාංකික ජනමාධ්‍යයේ මේ බංකොලොත්භාවය දිගටම පවතීවී.

  3. ඉංගිරිසි dengue යන වචනය ඉංගිරිසි කතා කිරීමේ දී උච්චාරණය කරන්නේ ඩෙංගි (/ˈdɛŋɡi/) යනුවෙනි. එහෙත් මෙය සිංහල භාෂාවේ තත්සම වචනයක් ලෙස පොදු මහජනයා විසින් උච්චාරණය කරනු ලබන්නේ ඩෙංගු ලෙසිනි. ලිපියේ කතුවරයා ඉංගිරිසි උගතෙකු වීම අගය කළ යුතුයි. එහෙත් මෙය සිංහල ලිපියක් නිසා මෙහි මෙම වචනය ඩෙංගු ලෙසින් යොදා තිබුණේ නම් උචිත වේ.

Leave a Reply to Mayya Cancel reply

Your email address will not be published. Required fields are marked with *.