COVID-19 strategy of Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ, ලංකා පුවත්පතේ පැරාගේ විරාමය කොලම – 2020 ඔක්තෝබර් 8

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලෙන් මතු වූ කොරෝනා වයිරස් ආසාදිත මහජන කණ්ඩායම සමග ප්‍රශ්න රැසක් මතු වී තිබේ. කොවිඩ්-19 සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රජය, ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ විසින් අනුගමනය කරනු නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙල තිබියදී ම මුල සොයාගත නොහැකි රෝගීන් පිරිසක් හමු වී තිබේ. මෙය බරපතල ගැටලුවක් වන්නේ ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 පාලන වැඩපිළිවෙලෙහි මූලධර්මය වන්නේ වෙනත් රටවල මෙන් පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කර රෝගීන් හඳුනාගැනීම නොව, රෝගීන් පසුපස හඹාගොස් සුලමුල සොයාගැනීම වන නිසා ය.

ශ්‍රී ලංකාව ගුවන් තොටුපළ වසා දමා, සංචාරකයන් පැමිණීම නවත්වා තිබේ. පසුගිය සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව බිංදුව බව ජාත්‍යන්තර දර්ශකවල දැක්විණි. ඒ සමගම ලක්ෂ ගණනක ජනතාවක් ඍජුව හා වක්‍රව යැපුණු සංචාරක කර්මාන්තය බිම හාන්සි වී තිබේ. ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මර්දන මූලෝපාය අනුව සෙසු ලෝකය විසින් කොවිඩ්-19 තුරන් කරනතෙක් මෙරට ගුවන් තොටුපළ විවෘත කරන්නට හා සංචාරකයන් ගෙන්වා ගන්නට ලැබෙන්නේ නැත. එහෙත්, රජය ඒ බව සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන්ට කියන්නේ ද නැත. ඔවුන් යථාර්ථය වටහාගෙන වෙනත් ජීවනෝපාය සොයාගත යුතුය.

වසරකට ශ්‍රී ලාංකික ගැහැණුන් හා පිරිමින් ලක්ෂ තුනක් පමණ රැකියා සඳහා විදේහගත වූ බව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මූලාශ්‍රවල දැක්වේ. දැන් එම සංඛ්‍යාව එයින් පහෙන් පංගුවක් පමණ දක්වා අඩු වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත පවසයි. මේ අහිමි වන්නේ ආදායම් ය.

අවුරුද්දකට ලක්ෂ හයක් පමණ දේශපාලකයන්, රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන්, ව්‍යාපාරිකයන් හා සාමාන්‍ය ජනතාව සංචාර සඳහා විදේශගත වෙති. එය දැන් හොඳටම අඩු වී තිබේ. ගුවන් තොටුපළ වැසීමෙන් රටට අත් වූ එකම ලාභය එයයි.

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 බිංදුව බවට පත්කිරීමේ සිහිනයක මිනුවන්ගොඩ සිදුවීම වන විටත් ජනාධිපතිවරයාගේ සිතේ තිබී ඇති බව ඔහුගේ ප්‍රකාශවලින් පෙනේ. ශ්‍රී ලංකාව වැනි දැඩි ලෙස ලෝකය සමග බැඳී සිටින රටක එය කළ හැක්කක් ද යන සංවාදය රජයේ ඉහළ තලයන්ගේ තිබුණු බවක් නොපෙනේ.

කොරෝනා බිංදුව කිරීමේ සිහිනය පසුපස හඹා යමින් රජය විසින් පසුගිය මාර්තු මාසයේ සිට දිවයින පුරා පනවල ලද ඇඳිරි නීතිය හේතුවෙන් රටේ ආර්ථිකය හා ජන ජීවිතය බිඳවැටිණි. කොවිඩ්-19 අවදානමක් කිසි සේත්ම නොතිබුණු ප්‍රදේශවල පවා ඇඳිරි නීති දමා ජනජීවිතය කඩාකප්පල් කර දමන ලදී. මේ වන විට එයින් පාඩමක් ඉගෙනගන්නට නායකයන්ට සිදු වී තිබේ. එයට හේතුව, ශ්‍රී ලංකාවට තවත් වරක් ඒ මෝඩකම කරන්නට තරම් ආර්ථික ශක්තියක් නැති වීමයි.

පහේ ශිෂ්‍යත්ව විභාගය හා අ.පො.ස. උසස් පෙළ විභාගය කල් නොදමා, සැලසුම් කළ පරිදි පැවැත්වීමට රජය තීරණය කිරීම නායකයන්ගේ මනස බුද්ධිමත්භාවය දෙසට යොමුවීමක්ව ලෙස සැලකිය හැකිය. පසුගිය කාලයේ සිදු වුණේ නායකයන් සුපිරි බලයකින් කොරෝනා වයිරසය පාලනය කරගෙන සිටින පිරිසක් ලෙස කැපීපෙනෙන්නට උත්සාහ කිරීමයි. දැන් ඒ වෙනුවට, මහජනතාවට රෝගය පාලනය කරගැනීමේ වගකීම පවරන්නට රජය තීරණය කර ඇති බව පෙනේ. කොවිඩ්-19 සමග ජීවත් වීමේ පුහුණුව පහේ පන්තියෙන් ආරම්භ කිරීම නරක නැත. පසුගිය සමයේ පාසල් විවෘතව තිබුණ ද, දෑත් සේදීම, මීටරේ පරතරය, මුඛ ආවරණ වැනි රජය ම හඳුන්වා දුන් නිරෝධායන නීති බොහෝ පාසල්වල ක්‍රියාත්මක වූයේ නැත. දෑත් සේදීමේ පහසුකම් තිබෙන තැන්වල පවා තවමත් ඒවා තාවකාලිකය. බොහෝ තැන්වල අක්‍රියය.

පාසල්වල පන්ති කාමරයක 35දෙනෙකුටවත් මීටරේ පරතරය තබාගෙන සිටින්නට බැරි තත්වයක් මැද, කොරෝනා නිසා පාසල් වසා දමා තිබියදී කැබිනට් මණ්ඩලය පන්තියක සිසුන් සංඛ්‍යාව 2021 වසරේ සිට 35 සිට 45 දක්වා ඉහළ නැංවීමට තීරණය කිරීමෙන් ආණ්ඩුවේ මීටරේ බරපතල අවුලක් ඇති බව ද පෙනේ.

කොවිඩ්-19 දැනටමත් ලෝක ජනගහනයෙන් දහයෙන් පංගුවකට වැළඳී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එන්නතක් යනු පූර්ණ විසඳුමක් ද යන්න පවා සැක සහිත ය. කොවිඩ්-19 පැතිරී තිබෙන දිග පළල අනුව, එය ලෝකයෙන් තුරන් කරන්නට ලැබේ ද යන්න ද සැක සහිතය. මෙම සංදර්භය තුළ ලොව සංවර්ධිත රටවල් හා බුද්ධිමත් නායකයන් සිටින වෙනත් රටවල් කටයුතු කරන්නේ කොවිඩ්-19 සමග ජීවත් වන්නට ජනතාව හුරු කිරීමටයි. කොවිඩ්-19 ප්‍රස්ථාරය බිංදුව කරන්නට උත්සාහ කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දෙන්නේ නැත. ඔවුන් උපදෙස් දෙන්නේ ප්‍රස්ථාරයේ වක්‍රය පැතලිව තබාගැනීමටයි. මේ අතර ශ්‍රී ලංකාව තවමත් අනුගමනය කරමින් ඉන්නේ ‘ඔන්න ලෙඩෙක් අල්ලපියෝ’ ප්‍රතිපත්තියයි. එහි අරමුණ කොවිඩ්-19 බිංදුව කිරීමයි. කරන්නට පුළුවන් නම් එය නරක යයි කාටවත් කිව නොහැකිය. එහෙත්, එසේ කරන්නට පුළුවන් බවක් පෙනෙන්නේ නම් නැත.

රෝගී අයිතිවාසිකම් තඹයකට නොතකන, රෝගීන්ගෙන් අපරාධකරුවන්ගෙන් සේ ප්‍රශ්න කරන, පෞද්ගලිකත්වය ආක්‍රමණය කරන, රෝග ලක්ෂණ හෝ නැති මිනිසුන් නිවෙස්වලින් බලෙන් ඉවත් කර බාහිර ස්ථානවල නිරෝධායනයට යවන, රාජ්‍ය නිලධාරීන් හා මාධ්‍ය යොදවා රෝගීන්ට අවමන් කරන, ජනතාව බියවද්දන ‘ඔන්න ලෙඩෙක් අල්ලපියෝ’ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ හැකි වනු ඇත්තේ වර්තමාන නිරෝධායන ක්‍රමවේදය රටේ ආර්ථිකයට දරාගත හැකි මට්ටම දක්වා පමණි. ඉන් පසු ලෝකයේ සෙසු රටවල් කරන ආකාරයට කරන්නට අපට ද සිදු වනු ඇත.

2 thoughts on “‘ඔන්න ලෙඩෙක් අල්ලපියෝ!’ ප්‍රතිපත්තිය

  1. Aanduwa balaporoththu nowoo awasthawaka Corona nagitiema nisaa saamanyayan kesewethath , desapalakayan elibesiemak wenuwata maadya thulin purajeru kiyanu esenu atha .

Leave comment

Your email address will not be published. Required fields are marked with *.