Sepali Mayadunne

සේපාලි මායාදුන්නේගේ ‘දෑවාන’ නවකතාව කියෙව්වේ ඇගේ ‘මහාසාමි’ නවකතාවෙන් විඳි අනර්ඝ රසය හේතුවෙන් ඇය කෙරෙහි ඇති වූ ගෞරවය නිසාය. නොඑසේ නම්, පොත් කියවීම අතිශය වැදගත් පුද්ගල හෝ සමාජ කාර්යයක් ලෙස නොසලකන මා වැනි අයෙකු අතින් අතරමගදී එම පොත ගිලිහීයන්නට ඕනෑ තරම් ඉඩ තිබෙන තරමට එය කියවීම වෙහෙසකර කාර්යයකි.

සේපාලිගේ මහාසාමි ගැන මා මීට වසර කීපයකට පෙර ලියූ සටහනක කොටසක් මෙසේය:

ඉතිහාසය මත වර්තමානය නිරූපණය කිරීම දේශපාලනයේදී නම් දැවැන්ත විනාශයන් නිර්මානය කිරීමට හේතු වී තිබේ. ලංකාවේ ජනවාර්ගික යුද්ධය මේ සඳහා හොඳම උදාහරණයයි. සිංහල හා දෙමළ ජාතිවාදයන් බොහෝ දුරට පදනම් වූයේ වර්තමාන අවශ්‍යතාවන් මත ගොඩනගා ගත් ඉතිහාස කතිකාවන් මත ය. මහාවංශය හා සිංහල ජාතිවාදය අතර ඇති සම්බන්ධය එවැන්නකි. 

මහාසාමි නවකතාවේ විශිෂ්ටත්වය ඉස්මතු වන්නේ මෙතැනදී ය. මාක් ට්වේන් රජු සහ සිඟන්නා ලියුවේ 19වන සියවසේ අග හරියේදී ය. එහෙත්, සේපාලි මායාදුන්නේ මහාසාමි ලියන්නේ 2010 දශකයේදී ය. එහෙත් ඇය අති දක්ෂ ලෙස අතීතය විනිවිදින්නී ය. ඇය සිය ඓතිහාසික අධ්‍යයනය නවකතාවක් බවට පත් කරමින් පාඨකයා ක්‍රම ක්‍රමයෙන් ඇය පාදක කර ගන්නා ඓතිහාසික අවධිය තුළ ස්ථාපිත කර ගනියි. එය එක්තරා අන්දමක මායාවකි. ඇය එම මායාව නිර්මානය කරන්නට මහනුවර යුගයේ භාෂාවේ හා නවීන භාෂාවේ සම්මිශ්‍රණයකින් අපූරු ප්‍රයෝගයක් නිර්මානය කරන්නී ය. කෙනෙකුට එය එම යුගයේ භාෂාව යයි සිතෙනු ඇත. එහෙත්, එය එසේ නො වේ. එය වර්තමානය ඉදිරියේ අතීතය ප්‍රතිනිර්මානය කරන්නට නිර්මානය කර ගන්නා කලාත්මක ව්‍යාජයකි. 

සේපාලිගේ නවකතාවේ භාෂාව මුල් හරියේදී පාඨකයා වෙහෙසට පත් කරන මුත් පාඨකයා ඉතිහාසය තුළ ස්ථාපිත කර ගන්නේ ඒ භාෂාව වහල් කර ගැනීමෙනි. එසේම, ඇය වර්තමාන සංකල්ප, මතවාදවලින් හැකි තරම් මිදෙමින් ඉතිහාසය ඒ හැටියෙන් ම ග්‍රහණය කර ගන්නට දරන උත්සාහය අති විශිෂ්ට ය. එහි චින්තනයන්, හැසිරීම්, චලනයන් සියල්ල එම යුගය හා සමපාත කරන්නට ඇය දැඩි වෙහෙසක් දරන්නී ය. ඒ වෙනුවෙන් ඇය ඉතා ගැඹුරින් ඉතිහාසය හදාරන්නී ය. ඉතිහාස නවකතා නිර්මානය කෙතරම් වගකීමක් ඇති කාර්යයක් ද යන්න ගැන ඇයට ඉතා හොඳ වැටහීමක් තිබේ.

මහාසාමි නවකතාවේ ප්‍රධාන චරිතය හා කථක වන ඒකනායක සුමංගල ගනින්නාන්සේගේ චරිතය වනාහි ඉතා මනරම් චරිත ගොඩනැංවීමකි. ඔහු පැතලි වීරයකු හෝ දුෂ්ටයකු හෝ නො වේ. හොඳ, නරක දෙක ම මිටින් ගත් ඒ යුගයේ සාමාන්‍ය චරිතයකි. ඔහු සිය අදහස්, ආකල්ප, ප්‍රකාශන ආදියෙන් වර්තමානය පරාවර්තනය කරන්නේ නැත. වර්තමාන සිතුම්, පැතුම් ඔහුගෙන් පළ වන්නේ නැත. ඔහු පරාවර්තනය කරන්නේ ඔහු ජීවත් වූ ඓතිහාසික යුගයයි. සේපාලිගේ වියමන විශිෂ්ට කෘතියක් වන්නට එක් හේතුවක් වන්නේ එයයි. 

එම යුගය වනාහි අවසන් සිංහල රජු වූ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහගේ යුගයයි. එය වනාහි බුදු දහම පිරිහී සඟුන් ගනින්නාන්සේලා සේ පන්සල් රැක ගනිමින්, පවුල් කමින්, යකැදුරුකම් ආදී කූට ක්‍රියාවලින් මිනිසුන් රවටමින් හා සූරා කමින් ජීවත් වූ යුගයයි. එසේම, එය ශාස්ත්‍ර හා සාහිත්‍ය කලාදිය පිරිහුණු යුගයකි. යුද ගැටුම් හා වෙළඳ සම්බාධක ආදිය නිසා රට හා ජනතාව ආර්ථික වශයෙන් ද පිරිහුණු අවධියකි. 

එහෙත්, රජු සහ හිඟන්නා කෘතියෙහි එංගලන්තයේ එඩ්වඩ් රජු සේ ම ලංකාවේ රජු ද අධික කාමසුඛල්ලිකානුයෝගයෙහි, සූරාකෑමෙහි, මර්දනයෙහි එල්බගෙන ජනතාව මත කාලකන්නිකම පතුරුවමින් සිටියි. ජනතාව තවමත් දන්නේ රාජ පාලනය ගැන පමණි. ඔවුන්ට කාල නදීහි සාදිරිස්ට මෙන් ඔවුන් ජීවත් වන වකවානුවට ඉදිරියෙන් ඇති අනාගතයේ බිහි වන්නට නියමිත නූතන රාජ්‍ය සංකල්ප අනුව සිතන්නට හා යථාර්ථය විග්‍රහ කරන්නට බැරි ය. එබැවින් එම චරිත හැසිරෙන්නේ එම යුගයේ තිබුණු චින්තන සීමාවන් තුළ ය. 

එංගලන්තය මේ රාජ ශාපයෙන් මිදෙන්නේ විප්ලවයකිනි. එහෙත්, සංස්කෘතික සංකේතයක් ලෙස තව දුරටත් නාමික රාජත්වයක් පවත්වාගෙන යනු ලැබේ. ලංකාව රාජ ශාපයෙන් මුදා ගත්තේ ද එංගලන්තය විසින් ම ය. බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් එංගලන්තයටත් වඩා ඉදිරියට ලංකාව ගෙන යමින් රාජ ශාපය මුළුමනින් ම දුරු කර අප එක් ඓතිහාසික යුගයකින් සම්පූර්ණයෙන් ම මුදා ගත්තේ ය. රාජපක්ෂලාට හෝ අනියම් අන්දමින් හෝ රාජත්වය නැවත ස්ථාපිත කරන්නට බැරි වුණේ සුද්දන්ට ස්තුති වන්නට ය. නැතිනම් අපට සිදු වන්නේ රජුගේ වචනය වන රාජ නීතියට බියෙන් ජීවත් වන්නට ය. නැතිනම් අසාධාරණ නඩු තීන්දු හේතුවෙන් හම ගැසීම්, උල තැබීම්, හිස ගැසීම් වැනි වධයන්ට භාජනය වී මිය යන්නට ය. කුමාරයා හා සිඟන්නා කෘතියෙහි නම් මිනිසුන් තම්බා මැරීම වැනි වධයන් ද දක්නට ලැබේ.

රාජද්‍රෝහීන් ලෙස නම් කළ මිනිසුන් නීත්‍යානුකූලව පිටෙන් හම ගසා, ඒ හම මුහුණ මත දමා බල්ලන්, බළලුන්ට කන්නට දෙන හා ඒවා බලා ප්‍රීති වන සමාජයක සිට ඒවා තවම සිදු වුණත්, නීති විරෝධී වන, ඒවා කරන්නට තබා එල්ලා මරන්නටවත් නීතිමය වශයෙන් එකඟ වන වධකයන් සොයා ගැනීම දුෂ්කර යුගයක් කරා අපි පැමිණ සිටින්නෙමු. මහාසාමි කියවූ අයෙක් අපට කීවේ අප රජුගෙන් නිදහස් කර දුන්නාට සුද්දාට පිං දිය යුතු බවයි. 

සුද්දා එන්න කලින් සිංහලයා සතුව තිබූ උරුමය ගැන උදම් අනන අතීතකාමී මිනිසුන් ඉදිරියේ සේපාලි මායාදුන්නේ මහාසාමි නවකතාව විවර කර තිබේ. අතීතකාමය නම් රෝගයෙන් මිදෙන්නට අතීතය හැදෑරීම කෙතරම් වැදගත් ද යන්නට මහාසාමි කදිම නිදසුනකි. 

එහෙත්, දෑවාන යනු සේපාලි මායාදුන්නේ තුළ සිටි මේ විශිෂ්ට ප්‍රබන්ධ රචිකාව මරා දමා ඉතිහාස ආඛ්‍යානකරුවෙකු මතුවන අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. මා එසේ කියන්නේ ඇයි?

දෑවාන නවකතාවට පසුබිම් වන්නේ මහසෙන් රජු සමයේ අභයගිරිය හා මහා විහාරය අතර පැවති ගැටුමයි. ඒ වෙනුවෙන් ඇය මහත් වෙහෙස දරා ගැඹුරු අධ්‍යයනයක් සිදුකරයි. එම අධ්‍යයනය පසුබිම් කරගෙන සිය විශිෂ්ට පරිකල්පනය මෙහෙයවා එම යුගයේ දර්ශන රැසක් අප ඉදිරියේ වචනයෙන් ප්‍රතිනිර්මාණය කරයි. පුරාවිද්‍යාත්මක, ඓතිහාසික හා ජන මූලාශ්‍රවලින් අපට අභයගිරිය පිළිබඳ ඉගෙනීමට ලැබෙන දැනුමෙන් අතිවිශාල පංගුවක් ඇය නවකතාවේ සජීවීකරණයකරයි. ඇත්තෙන්ම, අප එම යුගයේ ජීවිතය කරා ගෙන යයි. එසේනම්, මෙම කෘතිය දුර්වල යයි මා කියන්නේ ඇයි?

එහි කතාව ඉතා දුර්වල ලෙස ආයාසයෙන් ගෙතූ එකකි. සිදුවීම් අතර හේතුඵල හෝ වෙනත් තර්කානුකූල සම්බන්ධයක් පවා සොයාගත නොහැකි අවස්ථා තිබේ. උදාහරණයක් ලෙස, අභයගිරියත්, මහා විහාරයත් අතර ගැටුමෙන් වාසි ලබමින් අවසානයේදී මහසෙන් රජු අතින් ජේතවනාරාමය පිදුම් ලබන උස්සීලියා භික්ෂුව ගැන හෝ සාගලික නිකාය ගැන හෝ නවකතාවේ ඉන් පෙර කිසිවක් සඳහන් වන්නේ නැත. ජේතවනාරාම ඉදිකිරීම් කර්මාන්තය නවකතාවේ වැදගත් සිදුවීමකි. දෑවාන කතාව මෙවැනි හිදැස් බහුල එකකි. එහෙයින්ම එහි චරිත නිරූපණය අතිශය ඕලාරිකය. නවකතාවේ ප්‍රධාන චරිතය වන සිවත්තාගේ චරිතය පවා විශ්වසනීය අන්දමින් ගොඩනැගේද යන්න සැක සහිතය. එය පැතලි, නීරස චරිතයකි. ඔහු හා ඔහුගේ පෙම්වතිය වූ මින්දි අතර සම්බන්ධය බිඳී යන ශෝකජනක අවස්ථාව හෝ පාඨකයාගේ හදට දැනෙන අයුරින් නිරූපණය කිරීමට සේපාලි අසමත් වෙයි. සිවත්තා කරන්නේ සේපාලි අභයගිරිය ගැන උගත් කරුණු රඟපා පෙන්වීමයි. සේපාලිට අවශ්‍ය විට තාරා දේවියගේ හෝ අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ පිළිරුව වාත්තු කරන සිවත්තා, ඇය කාසි හැදීම ගැන හැදෑරූ කරුණු පට රඟපා පෙන්නීම සඳහා ගෙදරදී හැන්දෑවට කාසි හදයි.

චරපුරුෂයන් බහුල අනුරාධපුරයේ මහා විහාරයේ අවුරුදු බොහෝ ගණනක් සැඟවී සිටින සංඝපාල භික්ෂුවගේ කතාව කිසිදු නාට්‍යමය සිද්ධියකින් තොරය. මහසෙන් මහරජුට එරෙහිව සේනා සංවිධානය කරන මේඝවර්ණාභය සෙනෙවිරදුන් අනුරාධපුරයට ආසන්නයේ කඳවුරුලාගන්නා තෙක්ම රජු ඒ බව දන්නේවත් නැත. සෙනෙවියා මලය රට සේනා සන්නද්ධ කරමින් සිටිද්දී ඔහුගේ දේවිය අනුරාධපුරයේ යහතින් වැජඹෙන්නීය. අවසානයේ මේ යුද්ධය සමථයකට පත් වන්නේ මේඝවර්ණාභය සෙනෙවියා තමන්ට ලැබුණු එළු මස් වෑංජනයක් හා කිරළ පානයක් රජුගේ කූඩාරමට ගෙනගොස් ඔහු සමග බෙදාගෙන කෑමෙන් හා බීමෙනි. මහා විහාරයේ සැඟවී වෙසෙන සංඝපාල හිමිට පබලියන් ඇඳක් හදාදෙන්නට එන බදලගොඩ වඩුවා රජුගේ ප්‍රියතම බිසව වන මිත්තා දේවිය සමග කුමන්ත්‍රණය කර ථූපාරාමය බිඳිමින් සිටි අභයගිරියේ ප්‍රධානී සංඝමිත්‍ර භික්ෂුව ලී අඬුවකින් ගෙල සිරකර මරා දමන ආකාරයද ඊට දෙවෙනි නැත.

පැරණි වංශකතාවල නම් මෙවැනි අභව්‍ය සිදුවීම් ඕනෑතරම් තිබේ. ඒවා ඒ ආකාරයෙන්ම නැවත ලිවීමද අප නූතන නවකතාකරුගෙන් බලාපොරොත්තු වන්නේ? නවකතාකරුවා කළ යුත්තේ ඉතිහාසයේ වූ දේ කීම නොවේ. වූ ආකාරය කීමයි. සිය පරිකල්පනය මෙහෙයවා නවකතාකරුවාට මේ ජවනිකා මවාපෑමට හැකිය. ඒ විස්කම් නිර්මාණය තුළ අපට අපූරු චරිත හමු වේ. ඔවුන් හැසිරෙන්නේ රූකඩ මෙන් නොවේ. වර්තමානයේ මෙන්ම ඒ අතීතයේ ද මිනිස් හැඟීම් හා චර්යාවන් අතිශය සංකීර්ණය. මිනිසා නවකතා චරිතයක් වන්නේ එහෙයිනි. චරිත තුළ හා චරිත අතර ගැටුම් හා සම්බන්ධතා මගින් නාටකීය අවස්ථා නිර්මාණය වේ. කතා හැදෙන්නේ එසේය. නවකතා ඉතිහාස ආඛ්‍යානවලින් වෙනස් මනරම් නිර්මාණ වන්නේත් අප ඒවා කියවන්නට ආශා කරන්නේත් ඒ නිසාය. ඉතිහාසකරුවා හෝ පුරාවිද්‍යාඥයා ශිල්පියෝය. නවකතාකරුවා මැවුම්කරුවෙකි. ඓතිහාසික නවකතාව ඉතිහාසයට වැඩි දෙයකි.

සේපාලි මායාදුන්නේ දෑවාන නවකතාවෙන් කර තිබෙන්නේ ඇය අභයගිරිය හා මහා විහාරය ගැන හැදෑරූ රළු කරුණු සම්භාරය මතින් ගලා යන අපූරු කතා සාරයක රසයකින් බිම සම කර මනරම් නවකතාවක් නිර්මාණය කිරීම නොවේ. ඇය කර තිබෙන්නේ ඉතිහාස ඒබීසී ගොඩගසා ඒ මතින් රළු කතා කාප්ට් එකක් දමා ගල්රෝලකින් අඩිය අඟට තලා අපට ඉදිරිපත් කිරීමයි. ඉතින් එය කියවා මේ තරම් හති දමන්නට සිදුවීම පුදුම විය යුතු කාරණයක්ද? රසවත් කතාවක් කියන විට කතාකරුවා තුළ උපදින ප්‍රහර්ෂය නිසාම රසවත් භාෂාවක්ද නිර්මාණය වෙයි. සංස්කරණයෙන් එය මටසිලිටු කර ඔපමට්ටම් කළ හැකිය. මේ කිසිවක් දෑවානෙහි නැත. ඉතිහාස දැනුම නවකතාකරුවා විනාශ කර ඇත.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.