Ransalu film

අජිත් පැරකුම් ජයසිංහ (කැත්ලීන් ජයවර්ධනගේ විචාරයක් ද මෙම ලිපියෙහි උපුටා දක්වනු ලැබේ)

සිංහල සිනමාවෙ ලස්සන ම ගීත දෙකක් ගැන කතා කරමින් මෙම සටහන පටන් ගනිමු. මේ ගී දෙක ම අඩංගු වන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ රන්සළු චිත්‍රපටයේයි.

Translations

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නිර්මාණය කළ රන්සළු චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නේ 1967දීයි. ඊට පෙර ඔහුගේ රේඛාව (1956), සංදේශය (1960), ගම්පෙරළිය (1963), දෙලොවක් අතර (1966) යන චිත්‍රපට නිර්මාණය කළා. ගම්පෙරළිය චිත්‍රපටය සමග සාපේක්ෂව ගත් කල දෙලොවක් අතර, රන්සළු යන චිත්‍රපට එතරම් ඇගයීමකට ලක් නොවුණ බවයි මගේ අදහස. රන්සළු පෙන්වා වසරකට පසු ප්‍රදර්ශනය කළේ ගොළු හදවත චිත්‍රපටයයි. එය විචාරක ඇගයීමට ලක්වුණත්, එවැනි ම සුන්දර චිත්‍රපටයක් වන අක්කර පහ එතරම් ඇගයීමට ලක් වුණේ නැහැ.

රන්සළු චිත්‍රපටයේ සංගීත නිර්මාණය අමරදේවයන්ගේයි. මට මතක අයුරින් ගීත රචක ලෙස නාමාවලියේ දැක්වෙන්නේ මහගම සේකරයන්ව පමණයි. (නිවැරදි කිරීමට යටත්ව). එහි අඩංගු වන ගීයක් ලෙස ප්‍රසිද්ධ වී ඇත්තේ ‘සිරිපා පියුමේ රොන්සුණු තැවරේ’ ගීතය පමණයි.

එහෙත්, මෙහි තවත් මනස්කාන්ත ගීයක් අඩංගු වෙනවා. එය ඇත්තේ චිත්‍රපටය තුළ බලන චිත්‍රපටයක ගීයක් ලෙසයි. එහි ප්‍රධාන චරිත දෙකක් වන සිරිල් (ටෝනි රණසිංහ) හා සරෝජිනී (අනුලා කරුණාතිලක) චිත්‍රපටයක් නරඹනවා. එහි මල් ගසක් වටේ නටන යුවලක් මේ ගීය ගයනවා. ගීය මෙයයි:

ගීතය මඳක් වාදනය වෙද්දී ම සිරිල් මෙහෙම කියනවා: ‘‘මොනව ද මේ විකාර සින්දු – සිංහල චිත්‍රපටිවල විකාර’’. ඉන්පසු ගීතය නොඇසෙන තරමට ඔවුන්ගේ දෙබස් ඇසෙන අතර පසුව ගීය නෑසී යනවා. පසු අවස්ථාවක එහි සංගීත ඛණ්ඩය පමණක් එක් තැනක ඇසෙනවා.

සිරිල් හා සරෝජනී යනු සිංහල, බෞද්ධ සාරධර්ම පිළිකුලෙන් හෙළාදකිමින්, මතුපිටින් වැළඳගත් බටහිර සිරිත් විරිත් වන්දනා කරන දෙදෙනෙක්. මේ චිත්‍රපටය අවසානයේදී සිරිල් අතින් ලිංගික සූරාකෑමකට ලක්වී අතරමං වන සරෝජනීට අවසානයේදී තෝරාගන්නට සිදුවන්නේ මෙකී තමන් හෙළා දුටු මාර්ගයයි.

මෙතරම් මනරම් ගීයක් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා චිත්‍රපටය තුළ මෙසේ දෙකේ කොළයට දැම්මේ ඇයි ද කියන කාරණය ප්‍රහේලිකාවක්. අඩු තරමේ නාමාවලියට හෝ මේ ගීය යොදාගන්නට තිබුණා නේද? එහෙත්, රන්සළු චිත්‍රපටය ගැන කතා කරන්නට පුළුවන් ඉතා වැදගත් තේමාවක් ද මෙතැනින් ම විවර වෙනවා.

ලංකාවේ බුදු සමය හා කලාව ගැන සාකච්ඡා කරන විට 13වන සියවසේ දෙවන පරාක්‍රමබාහු රජුගේ කාලයේදී සම්පාදනය කළ බවට සැලකෙන දඹදෙණිය කතිකාවත ඉතා වැදගත් ය. ‘කාව්‍ය නාටකා දී ගර්භිත විද්‍යා තමා නූගත යුතු අනුනුත් නූගැන්විය යුතු’ යනුවෙන් එහි දැක්වෙන සම්මුතිය මගින් මෙරට බුදු සමය උසස් කලාවන් පවා ගර්හිත විද්‍යා ලෙස සලකන ලදී යයි අදහසක් තිබේ. ලංකාවේ දියුණු නාට්‍ය කලාවක් පැනනොනැගීමට එය හේතු වූ බව ද ඇතැමෙක් තර්ක කරනවා.

බඳුන් පිරී ඉතිරෙන මී ගීයේ පද මාලාව මෙසේයි:

බඳුන් පිරී ඉතිරෙන මී ළඳුන ලවන් නුරා
නැගෙන ගීතේ රැඟුම කෙරේ අවර බිඟුන් නුරා

සැන්දෑ වලා පෙළින් මිදී පහන් සිළේ රැඳී
පාන මියුරු ලීලා මැවී රැඟුම් අපේ

ගීත නළු කලා පෙරපර යා නොවී බෙදී
සිතුම් පැතුම් මැදුම් මගෙහී රැඳී රසින් වෙළී

නෑර සිතු නොලා තම සතු ආර සුරකිමී
දිගන්තයන් සෙයින් වෙන්වී සදා බැතින් වැඞී

ගැයුම: නෙවිල් ප‍්‍රනාන්දු
පද රචනය: බී.ටී මෙන්ඩිස්
තනුව හා සංගීතය: පණ්ඩිත් අමරදේව

මේ ගීයේ ‘ගීත නළු කලා පෙරපර යා නොවී බෙදී – සිතුම් පැතුම් මැදුම් මගෙහී රැඳී රසින් වෙළී’ යන දෙපදය දඹදෙණිය කතිකාවත සිහිගන්වනවා. ‘නෑර සිතු නොලා තම සතු ආර සුරකිමී – දිගන්තයන් සෙයින් වෙන්වී සදා බැතින් වැඞී’

රන්සළු චිත්‍රපටයේ එන අනෙක් මධුර ගීය වන්නේ ‘සිරිපා පියුමේ රොන්සුණු තැවරේ ගීයයි. මහගමසේකරයන් රචනා කර අමරදේවයන් සංගීතවත් කොට ගායනා කරන මේ ගීයෙන් ද දඹදෙනි කතිකාවතින් කලාවට ඇති වූ බලපෑම සිහිගන්වනවා. එහෙත්, ඉතාම අල්ප වශයෙන් සංගීතය යොදාගැනීම ම තමයි එහි විශිෂ්ට සුන්දරත්වය නිර්මාණය කරන්නේත්.

ගීතයේ රූප රචනය විසින් ද නිරූපණය කරන්නේ එම බෞද්ධ දැක්ම ම නොවේ ද? එහි රූප රාමු තුළ ඇති ඕලාරිකබව විසින් නිරූපණය කරන්නේ සිංහල බෞද්ධකමෙහි සරල, ආටෝප විරහිතබව නොවේ ද?

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා උපතින් රෝමානු කතෝලිකයෙකි. ඔහු රන්සළු චිත්‍රපටයෙන් කරන්නට උත්සාහ කර තිබෙන්නේ බෞද්ධයා යනු කවරෙකුදැයි ගවේශනය කිරීමයි. ඔහු මෙසේ පවසයි:

‘‘රන්සළු තමයි මගේ අතිශයින්ම බෞද්ධ ස්වරූපයක් සහිත චිත්‍රපටය. මා තිරනාටකයට බොහොම ඇලී සිටියා වගේම පී.කේ.ඩී. (සෙනෙවිරත්න) රූගත කිරීම් පුරා එහි රැඳී සිටියා. රෝමානු කතෝලිකයකු ලෙස මෙවැනි තේමාවක් සමඟ පොරබදමින් සිටි මට, අවදානමක් ගැනීමටවත්, කිසිදු අත්වැරැද්දක් සිදු කිරීමටවත් පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ නිසා මා පී.කේ. ඩී.ට කිව්වා ඔහු දිනපතාම දර්ශන තලයේ සිටිය යුතු බව. එහෙම නැතිවුණොත් මගේ අතින් අදාළ නොවන දෙබස් කිහිපයක් හඳුන්වලා දෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම මේක මම කිසිම වෙනසක් කරන්න උත්සාහ කරන්නේ නැතුව, දර්ශනයෙන් දර්ශනයට අනුව වැඩ කරපු චිත්‍රපටයක්.’’ (ලෙස්ටර් පවත – 116 පිටුව)

රන්සළු චිත්‍රපටය ඇගයීමේදී එය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන් සිංහල බෞද්ධ හරය ගවේශනය කිරීමට දැරූ උත්සාහයක් ලෙස සැලකිය යුතුයි. එහි විශිෂ්ටත්වය ද එයයි. අමරදේවයන්ගේ සංගීතය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන් චිත්‍රපටයෙහි යොදාගන්නා ආකාරය සිනමාත්මකභාවය ද ඉක්මවා යමින් ගැඹුරු බෞද්ධ හරයක් නිරූපණය කරනවා. බඳුන් පුරා ඉතිරෙන මී ගීතය චිත්‍රපටයෙන් අතහැර දැමීමත් මේ ගවේශනයේ ම කොටසක්. රන්සළු චිත්‍රපටය ඔස්සේ ලෙස්ටර් තමන් කළ ගවේශනය රූපයෙන් සටහන් කිරීමක්. එය එක අතකින් ලෙස්ටර් ගැන චිත්‍රපටයක් ලෙස ද සැලකිය හැකියි. රන්සළු චිත්‍රපටයේ සුජාතා (පුන්‍යා හීන්දෙණිය) යනු ලෙස්ටර් ජේම්ස් පීරිස් තමන් ඉදිරිපත් කළ ආකාරයයි.

මේ ගැන සටහන් කරන කැත්ලීන් ජයවර්ධන මෙසේ පවසයි: “‘රන්සළු’ චිත්‍රපටය පිළිබඳ, එහි ගැඹුරු අභ්‍යන්තර ධ්වනිය පිළිබඳ ව විධිමත් විචාරයක් එදා මෙදා තුර සිදුවී ඇත්තේ ද යන ප්‍රශ්නය ද මගහැර යා නොහැකි යැයි අපට සිතෙයි. “- බෞද්ධ මුහුණුවර කැඩපතට නැඟූ ‘රන්සළු’, පුන්කලස, සිළුමිණ පුවත්පත, 2019 මැයි 18

කැත්ලීන් ජයවර්ධන රන්සළු චිත්‍රපටය ගැන ලියන මෙම විචාරය අප සැම කියවිය යුතු යයි සිතන බැවින් එහි වැදගත්ම කොටස පහත උපුටා දක්වමි. ඒ ඔස්සේ රන්සළු චිත්‍රපටය තව බොහෝ රසවින්දනයට භාජනය කළ හැකි ය.

රන්සළු චිත්‍රපටයේ බෞද්ධකම විමසන්නට පෙර බෞද්ධයා කවරෙක් ද යන ප්‍රශ්නයට සංක්ෂිප්ත පිළිතුරක් හෝ සපයා ගත යුතුව තිබේ.

පරමාර්ථ වශයෙන් ගත් කල ලොව ඇති සියල්ල දුක් සහගත වුණ ද සම්මුති සුඛයක් නැතැයි බුදුන් වහන්සේ කිසිවිටෙකත් ප්‍රකාශ කර නැති බව අපි දැන සිටිමු.

මේ ගැන අපේ වචනවලින් කියනු වෙනුවට බුදුදහම පිළිබඳ ප්‍රාමාණික විද්වතකු වන සේවාර්ජිත මහාචාර්ය ඔලිවර් අබේනායකයන්ගේ අවධාරණයකි, මෙහිදී අප විසින් උපුටා දක්වනු ලබන්නේ.

දුකට එක එල්ලේ ප්‍රතිපක්‍ෂ තවත් ධර්මයක් නම් ප්‍රීතිය යි. ප්‍රීතිය නම් අසුබවාදී, දීන, උදාසීන ගතියට පටහැනි ගතිය යි. මෙලොව මුලදී පහළ වූ සත්වයන් ගැන අග්ගඤ්ඤ සූත්‍රයත්, බ්‍රහ්මජාල සූත්‍රයත් දක්වන්නේ ඔවුන් ප්‍රීතිය ආහාර කොට ගෙන (පීතිභක්ඛා) ජීවත් වූ බවයි. මෙයින් ඒ සත්වයන්ගේ උසස් බව අදහස් කොට ඇත. ධම්මපදයේ ගාථාවක ද මෙසේ සඳහන් වේ.

‘රාගාදී අවහිර කිසිවක් නැති අපි ඉතා සුවසේ ජීවත් වෙමු. ආභස්සර බඹ ලොව දෙවියන් මෙන් අපි ප්‍රීතිය පමණක් අනුභව කරන්නෝ වෙමු.’ නිවන් ලැබීමට වැඩිය යුතු බොජ්ඣඩ්ග ධර්ම හතෙන් මේ ප්‍රීතිය ද එකකි.

දුක් නැති කිරීමට, පරම සුවය ලැබීමට, ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීම කිසිසේත් ම බාධාවක් නොවේ. අවශ්‍ය වන්නේ ඒ ප්‍රීතිය අනිත්‍ය වශයෙන් ගැනීම පමණකි. (බෞද්ධ අධ්‍යයන විමර්ශන – 121-122 පිටු)

නිර්වාණයෙන් මෙපිට ඇති සියල්ලම දුක් වන්නේ ඒවා නිත්‍ය නොවීම හේතුවෙන් බව පෙන්වා දෙන සම්මානිත මහාචාර්ය ඔලිවර් අබේනායකයන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ නිවනින් මෙපිට ඇති සකලවිධ වූ සැප නිත්‍ය නොවන නිසාම ඒවා අත්විඳීම මෝඩකමකැයි කියා හෝ දුක්විඳීම ඊට වඩා යෝග්‍ය යැයි කියා හෝ යමකු සිතන්නේ නම් ඔහු බුදුදහම නොදන්නෙකි යි කියා ය.

බෞද්ධයන් වශයෙන් අප දවස ගෙවන්නේ මේ කියන සතුට සමඟ ද යන්න ගැන මෙහිදී මඳක් විමසිලිමත් විය යුතු ය. සිත තුළ සතුට රඳවා ගැනීමට උත්සාහ කරන කිසිම කෙනෙක් ප්‍රශ්නයක් උද්ගත වුණ තැනදී ඊට වෙනත් කිසිවකු ඈඳාගන්නට සූදානම් වන්නේ නැත. අනෙකාට ගතු කියන්නේ ද නැත. තමාගේ අභාග්‍යයට බොහෝසෙයින් වගකිව යුතු වන්නේ තමාම මිස අනෙකකු යැයි ඔහු නොසිතයි. කොටින්ම බෞද්ධයා යනු පශ්චාත්තාපී පුද්ගලයෙක් නොවේ.

දැන් මීළඟට පැන නඟින්නේ ඔය කියන සතුට ළංකර ගත හැකිවන්නේ කෙසේ ද කොතැනින් ද යන ප්‍රශ්නයයි. එදිනෙදා මූණපාන්නට සිදුවන දහසකුත් එකක් අවුල්, වියවුල්, ආරවුල් අතරේ සිතේ සතුට නොබිඳී පවත්වා ගැනීමට මනුෂ්‍යයකුට හැකි වන්නේ කෙසේ ද? ‘රන්සළු’ චිත්‍රපටයේ රූපරාමුවෙන් රූපරාමුවට පිළිතුරු සැපයෙන්නේ මේ උභතෝකෝටිකයටයි.

සාමාන්‍යයෙන් අවිවාහක තරුණ යුවතියකගේ ජීවිතයේ ප්‍රමුඛ අභිලාෂය වන්නේ තමාගේ ආදර සබඳතාව දිගින් දිගට පවත්වා ගනිමින් විවාහයෙන් කෙළවරක් දැකීම ය. ප්‍රේමය කඩාකප්පල් වීම හේතුවෙන් දිවිනසා ගැනීමට යොමුවන තරුණ තරුණියන්, පෙම්වතුන් අපමණ ය. වේදනා දරා සිටීම අපහසු වන තරමට ඔවුහු චංචලව සිටිති. වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ‘බෞද්ධ’ යැයි කිව හැකි පුද්ගලයන්ගේ එක් ආවේණික ලක්ෂණයක් වන්නේ එසේ සසල නොවී සිටීමේ හැකියාවයි. තමාගේ පෙම්වතා, තමාගේ සමීපතම මිතුරිය සමඟ පෙම් සබඳතාවකට මුල පුරා සිටින අවස්ථාවේදීත් නොසැලී ඉන්නට, කෙළින් සිටින්නට ‘රන්සළු’ චිත්‍රපටයේ සුජාතාට හැකිවන්නේ මේ නොසැලසෙනසුලු මනස හේතුවෙනුයි.

මිනිස් සිතක සතුට ස්ථාවරව පවතින්නේ අවබෝධය හේතුවෙන් බවත් අවබෝධයේ සිත පහසුවෙන් සසල නොවන බවත් ‘රන්සළු’ චිත්‍රපටය ප්‍රේක්ෂකයාට ගම්‍යමාන කරන්නේ එහි ප්‍රධාන චරිතය නිරූපණය කරන සුජාතාගේ (පුණ්‍යා හීන්දෙණියගේ) කතාබහ, හැසිරීම්, ඉංගීත හා ඊර්යාපථ ඔස්සේ ය.

ඉහළ මධ්‍යම පාන්තික යෞවනියක වන සුජාතාගේ අත ගැනීමට නිවසට නිතර යන එන නීතිඥ තරුණයා සිරිල් (ටෝනි රණසිංහ) ය. පවුලේ එක ම දියණිය වන සුජාතාගේ සමීපතම මිතුරිය වන්නේ සරෝජිනී (අනුලා කරුණාතිලක) ය. සරෝජිනී ඇවතුම්-පැවතුම්වලින් මෙන් ම සිතුම් පැතුම්වලින් ද සුජාතාට වඩා බොහෝසෙයින් වෙනස් ය. සමාජශීලි, ක්‍රීඩාශීලි, විනෝදකාමී සරෝජිනි, පස්කම් සුවයෙහි මහත් ලෙස ලොල් වූ තරුණියකි. එහෙත් මේ වෙනස හඳුනාගනිමින්, දරාගනිමින් ගැටුමකින් තොරව ඇය හා ඇසුරුකිරීමට තරම් සුජාතා ශක්තිමත් ය.

වහා ගිනිගන්නාසුලු ඉන්ධනයක් මෙන් කලබලයට පත්වීමේ ප්‍රවණතාවක් බොහෝ මනුෂ්‍යයන් වෙතින් විශේෂයෙන් ස්ත්‍රීන් වෙතින් අපි දැක ඇත්තමෙු. සුජාතා යනු ඒ අයුරින් සසල කළ නොහැකි කතකි. ඇගේ ඒ මනෝභාවය ප්‍රකට කිරීම සඳහා සිනමාකරුවා රූපරාමු අමුණන්ගේ මහත් වූ පරිස්සමකිනි.

සිරිල් (පෙම්වතා) වරක් සුජාතාගේ නිවසට පැමිණෙද්දී සුජාතා පසුවන්නේ නිවසේ මුළුතැන්ගෙයහි ය. ඇය පුඩිමක් වැනි කිසිවක් සාදමින් සිටී. සිරිල්ගේ මෝටර් රථයේ ගීතවත් නලා හඬ ඇසණු සැණින් දැඩි ලෙස සසලව නැඟී සිටින්නේ සුජාතාගේ මව (අයිරාංගනී සේරසිංහ) ය. කලබලයෙන් මුළුතැන්ගෙට දිවයන ඇය ‘අන්න සිරිල් ඇවිත්’ යි දියණියට කියන්නේ ද හති ලමිනි. සුජාතා මව දෙස බලා මඳ සිනා පායි. උදුන විවර කරයි. කූරකින් ඇන පුඩිමේ පදම පරික්ෂා කරයි. මේ අතර ‘අන්න අර ළමය ඇවිත්’ යනුවෙන් කිහිපවතාවක්ම නොඉවසිල්ලෙන් හඬනඟන මවගේ හඬ ප්‍රේක්ෂකයාට ඇසෙයි. පුඩිම පදම් ව ඇති බව නිසැකව හඳුනාගන්නා සුජාතා ඉණේ ගසාගෙන තිබූ සාරිපොට මුදාහරිමින් සිරිල් හමුවට පැමිණෙන්නේ ද සන්සුන් ලීලාවෙනි. චිත්‍රපටය පුරාම කවර අර්බුදකාරි අවස්ථාවකදී හෝ සුජාතාගේ මේ සන්සුන් බව ගිලිහී නොයයි. ඇගේ මුහුණේ මන්දස්මිතිය නාය යන කිසිදු අවස්ථාවක් ප්‍රේක්ෂකයාට දැනගත හැකිනොවන අතර ඒ දෑසට කඳුළු නැඟෙන්නේ එක ම අවස්ථාවකදී පමණි.

සුජාතා මෙහෙණියක සමඟ සමීප ඇසුරක් අරඹන්නේ හුදු ශ්‍රද්ධාභක්තිය පෙරදැරිවම යැයි සිතෙන්නේ ද නැත. එය එක්තරා කූතුහලයකින් ද වැඩුණකි යි හැඟෙන්නේ ඇය මෙහෙණිය වෙත යොමු කරන ප්‍රශ්න පත්තරය හේතුවෙනි.

‘ඉස්සර දිග කොණ්ඩයක් තිබුණද?’ යි විටෙක ඇය විමසයි.

‘ඔව්. මට ලස්සන දිග කොණ්ඩයක් තිබුණා’ යි මෙහෙණිය සන්සුන්ව පිළිතුරු දෙයි. මෙහෙණියගේ මුහුණේ ද කලකිරීමක්, පශ්චාත්තාපයක් ගෑවී හෝ නැත.

‘කොණ්ඩෙ කපන කොට දුක හිතුණේ නැද්ද? යි සුජාතා යළි අසයි.

‘නෑ හිතට හෑල්ලුවකුයි දැනුණේ’ යි මෙහෙණිය කියන්නේ සිනාසෙමිනි. පුදුමයෙන් මෙහෙණිය දෙස බලා සිටින සුජාතා සන්සුන් ඉරියව්වකින් කල්පනාකාරීව පසුවෙයි. අනතුරුව කාමරයට ගොස් කැඩපත අබියස නැඟී සිටී. ආභරණ එකින් එක ගළවා දමයි. කොණ්ඩා මෝස්තරය ලිහා දමා හිසකේ ලිහිල්ව මුදාහරී. ‘හා මොනතරම් සැහැල්ලුවක් ද? මොනතරම් ප්‍රහර්ෂයක්ද?’ වැනි අදහසක් ඇගේ දෑසින්, මුහුණින් පළ වෙයි.

ඉනික්බිතිව සුජාතා හිසට, හිසකේවලට වධබන්ධන පමුණුවන්නේ නැත. එතැන් පටන් ඇයගේ කන්පෙති, කර හා දෑත ආභරණවලින් නිදහස් වෙයි. ලිහිල්ව කොණ්ඩය බඳින ඇය සැහැල්ලු සුදු ඇඳුමින් සැරසෙයි. දිලිසෙනසුලු ඇඳුම් ආයිත්තමින් බැහැර වුණ ඇගේ මුහුණින් දෑසින් පළවන්නේ පෙර නොවූවිරූ ප්‍රීතිප්‍රමෝදයක කිරණකි. සුදු ඇඳුමට ඇය වඩාත් ශෝභමාන වන අයුරු සිනමාකරුවා ඉතා තියුණු ලෙස මතුකර දක්වයි.

සුජාතාගේ මවුපියන් තුළ (ඇතැම්විට ප්‍රේක්ෂකයා තුළ ද) දැඩි සැකසාංකාවක් උපදින්නේ සුජාතා මෙහෙණියක වනු ඇද්දැයි කියා ය. ඇගේ හදවතේ නිරන්තරව රැඳී ඇති ප්‍රීති ප්‍රමෝදය හඳුනාගැනීම, ග්‍රහණය කර ගැනීම සාමාන්‍ය පුද්ගලයකුට ලේසි පහසු වන්නේ ද නැත.

පහළ මැදපන්තියේ වැන්දඹු මවකගේ දියණියක වන සරෝජිනී සිරිල්ගේ ලෛංගික ගොදුරක් බවට පත්වී ගැබ්ගත් පසුව ද සුජාතා මේ දෙදෙනා කෙරෙහිම වෛර බැඳගන්නේ නැත. සිරිල්ගේ වාහනයේ ගීතවත් නලා හඬ ඇසෙන අවස්ථාවලදී මිදුලේ සිටියහොත් ඇය සුපුරුදු ලෙස අත ඔසවා ඔහු සමඟ සිනාසෙයි. ඇගේ මුහුණට සැමවිටම ආගන්තුක වන්නේ ද්වේෂය හා පශ්චාත්තාපයයි.

කෙසේ වුව ද යාබද නිවසක විසූ වෛද්‍ය ශිෂ්‍යයා (දයානන්ද ගුණවර්ධන) ගේ ඇවතුම් පැවතුම් කෙරෙහි සුජාතා තරමක්දුරට විමසිලිමත්ව සිටි බව සිනමාකරුවා ප්‍රේක්ෂකයාට මතක් කර දෙන්නේ චිත්‍රපටය අවසාන භාගයේදී ය.

ගැබ්ගත් සරෝජිනී දරුවා ප්‍රසූත කරන අවස්ථාව වන විට සිරිල් විවාහ වී රට ද හැරගොසිනි. ඔහු විවාහ වන්නේ තමාට දික්කසාද නඩුවක් භාරදීමට පැමිණි ධනවත් කාන්තාවක සමඟිනි. සරෝජිනීගේ බිලිඳා රෝහලේදී මිය යයි. සරෝජිනී දුරකතන ඇමතුමකින් කැඳවා ගන්නේ ඒ වන විට වෛද්‍යවරයකුව සිටින පෙර කී වෛද්‍ය ශිෂ්‍යයායි. යන්නට ගෙයක්-දොරක් නැති තමා, කැඳවාගෙන යා යුතුවන්නේ සුජාතා වෙත යැයි ඇය ඔහුට කියයි.

සුජාතා, තමාට ද්‍රෝහි වූ මිතුරිය පිළිගන්නේ කිසිදු වෙනසකින් තොරව ය. චිත්‍රපටයේ මුල් ම වරට ඇය හැඟීම්බර වන්නේ ද මේ අවස්ථාවේදී ය. කිසිදු ආහාරයක් නොගෙන හඬමින් නින්දට යන සරෝජිනී පසුදා අරුණෝදයේ විමතියෙන් බලා සිටින්නේ සුජාතා ප්‍රසන්න ලෙස සිනාසෙමින් දෛනික කටයුතුවල යෙදෙන අයුරු ය. පෙම්වතා අහිමි ව සිටියදී, තමා විසින් ඔහු පැහැරගනු ලැබ තිබියදී මේ සා සතුටක් මිතුරිය උපයා-සපයා ගත්තේ කෙසේ ද යන ප්‍රශ්නය ඇයට මහත් වූ බලපෑමක් කරනු පෙනෙයි.

සුජාතා බුදුපුද සඳහා මල් නෙළද්දී පසුබිමින් මතුව නැගෙන ‘මුනි සිරිපා පියුමේ’ ගීතය පිළිබඳව ද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වන අතර මේ ගීතය ද ඇතුළු ව අමරදේවයන්ගේ සංගීතය අරබයා ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන් කර ඇති අවධාරණය ද වැදගත් ය.

’අමරදේව මේ චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කළා. නිසැකවම මේක ඔහුගේ හොඳම සංගීත නිර්මාණය. ඒක ඉතාම පොහොසත් සංගීත රචනයකින් යුක්ත, ඒ වගේම ඇතැම් කාරණාවලින් බෞද්ධ මුහුණුවරක් ගත්ත එකක්. ඔහු කිසිදු සංගීතයකින් තොරව ගීයක් ඇතුළත් කරනවා. (ලෙස්ටර් පවත – 115 පිටුව)

චිත්‍රපටයේ අවසාන රූපරාමු පෙළ තිරයේ දිගහැරෙන්නේ ප්‍රේක්ෂකාගාරය උඩුයටිකුරු කරමිනි. කන-කර හිස් කරගත්, මෙහෙණියක වනු ඇතැයි කවුරුත් සිතා සිටි සුජාතාගේ ප්‍රේමයක් පිළිබඳ සංඥා සැපයෙන්නේ මෙහිදී ය. ජීවිතය මීවදයකි යි සිතූ සුරූපී සුදේහිණිය අරුම පුදුම ලෙස රන්සළු පොරවන්නේ ද ඒ සමඟිනි. සුජාතා හා වෛද්‍යවරයා තමාගේ දෙපා නමදිද්දී රන්සළු පොරවා සිටින සරෝජිනිගේ මුවින් පිටවන්නේ පුදුමාකාර ප්‍රාර්ථනයකි.

’මං වගේ අසරණ වුණු අයගේ ජීවිත තව-තවත් ගොඩදාන්න ඔයගොල්ල තව-තවත් සසර දික්කරගන්න ඕන’

මේ අමුතුම ප්‍රාර්ථනය ගැන මෙන් ම ‘රන්සළු’ චිත්‍රපටයේ සමස්තය ගැන ද අලුතින් සිතන්නට වුවමනා ය; අලුතින් ලියන්නට වුවමනා ය. එක් අතකින් එය ‘සංතුට්ඨි පරමං ධනං’ යන බුදුවදන රූපරාමු පෙළකට ඇමිණීමක් වැනි ය. එදා මෙදා තුර ‘රන්සළු’ චිත්‍රපටය හත් අට වතාවක් ම අප නරඹා ඇති අතර ඒ සෑම දර්ශන වාරයකදීම පෙර නුදුටුවිරූ අලුත් යමක් දකින්නට, හඳුනා ගන්නට අපට ඉඩසැලසුණ බව ද සටහන් කළ යුතුව තිබේ. ‘රන්සළු’ චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ එයයි. වෙසක් සමයේ අප සිතිය යුතු බොහෝ කරුණු රන්සළු ග්‍රහණය කරගෙන ඇත්තේ එපරිද්දෙනි.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.