Lajja Kolama

මොන කෝලම් ද? ලිංගික අධ්‍යාපනය ගැන කතාකරන ලැජ්ජා කෝලම ඇවිත්

ලිංගික අධ්‍යාපනය ගැන නැවතත් සමාජ කතිකාවක් ඇති වී තිබෙනවා. ඒ නිසා මේ වෙලාව හොඳයි මේ වීඩියෝව ගැන කතාකරන්න.

Translations by Creative Content Consultants

ලිංගික අධ්‍යාපනය ගැන කතාකරනකොට ‘වයසට ගැලපෙන’ වචන දෙකත් ඉතා වැදගත්. ලිංගික අධ්‍යාපනය ඉතා කුඩා වයසෙන් ආරම්භ වෙනවා. කුඩා දරුවකු තමන් ගැහැණු ළමයකු හෝ පිරිමි ළමයකු බව තේරුම්ගැනීමත් ලිංගික අධ්‍යාපනය ම තමයි.

වයසට ගැලපෙන ලිංගික අධ්‍යාපනය අනුව මේ වීඩියෝ නිර්මාණය ගැලපෙන්නේ තරුණ වයසට. තරුණ වයසෙදි කතා කළ යුතු මාතෘකාවක් මේ වීඩියෝවේ විවෘතව, නිර්මාණශීලීව සාකච්ඡා කරනවා. එහි නම ලැජ්ජා කෝලම. කතා කරන්නෙ කොන්ඩම් ගැන. නාට්‍යයක් ලෙස මෙය නිර්මාණාත්මකයි.

ලංකාවේ ඇතැම් ප්‍රසිද්ධ ජනමාධ්‍ය පවා කොන්ඩම් කිය වචනෙ භාවිතා කරන්නට බයයි. ඒ වෙනුවෙන් උපත් පාලන කොපු කියලා සිංහල වචනයක් තියෙනවා. හැබැයි කොන්ඩම් තියෙන්නෙ උපත් පාලනය කරන්නට විතරක් නෙමෙයි. එමගින් ද්විත්ව ආරක්ෂාවක් ලැබෙනවා. ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනවලින් ආරක්ෂාව ලබාදෙන්නටත් කොන්ඩම් එකට පුළුවන්. ඒ නිසා මෙයට උපත් පාලන කොපු කියන්නෙ මොකටද? කොන්ඩම් කියන වචනෙ අපට පහසුවෙන් උච්චාරණය කරන්නටත් පුළුවන් නිසා අපි කොන්ඩම් සිංහල කරගනිමු. ඒකට කියන්නෙ තත්සම කියලා. ඒ කියන්නෙ වෙනත් භාෂාවක වචනයක් ඒ ආකාරයෙන් ම සිංහල භාෂාව තුළ භාවිතාවට ගැනීම. ප්‍රජනන, සෞඛ්‍ය, අධ්‍යාපනය යන වචන තුන ම තත්සම වචන. ඒවා අරගෙන තිබෙන්නෙ සංස්කෘත භාෂාවෙන්. ඒ නිසා සජීවී සිංහල භාෂාවෙන් කොන්ඩම් කියන වචනය අරගැනීමේ කිසිම වරදක් නැහැ.

‘ලැජ්ජා කෝලම’ අලුතින් නිර්මාණය කළ කෝලමක්. ලිංගික සතුට, දරුවන් අතර පරතරය, අනවශ්‍ය ගැබ්ගැනීම් වළක්වාගැනීම වගේ ම ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනවලින් ආරක්ෂාව සඳහාත් ඉතා වැදගත් කොන්ඩම් ගැන කතාකරන්නට සමාජය ලැජ්ජා වීම තමයි ලැජ්ජා කෝලමෙන් නාට්‍යානුසාරීව ඉදිරිපත් කරන්නෙ. ඒ ලැජ්ජාව භයානක ලැජ්ජාවක්. තමන්ගෙම සිරුර සම්බන්ධයෙන් අතිශය වැදගත් වන, ජීවිතය වෙනස් කළ හැකි තීරණ නිවැරදිව ගන්නට නම්, මේ කාරණා පිළිබඳ දැනුවත්ව ඉන්නට ඕනැ. එහෙම වුණොත් අපට ජීවිතේ සුන්දර කරගන්නටත්, අපේ හැකියාවන් උපරිමයට ගෙන යන්නටත් පුළුවන්. ඒ නිසා ලැජ්ජා වෙලා බැහැ. ‘මොන කෝලම් ද?’ කියන්නෙ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලත් (UNFPA), ACT4 Theatre for Change නාට්‍ය කණ්ඩායමත් එක්ව නිර්මාණය කරන වීඩියෝ නිර්මාණ මාලාවක පළමුවැන්නයි. එහි අරමුණ වන්නේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය හා හිමිකම් සම්බන්ධ කරුණු පිළිබඳ තරුණ ජනතාව අතර දැනුවත්භාවය ඉහළ නැංවීමයි.