antique kadayaka maranayak

අජිත් පැරකුම් ජයසිංහ

අශෝක හඳගමගෙ ඇන්ටික් කඩයක මරණයක් නිර්මාණශීලී, සරල, සුන්දර, ප්‍රාසාංගික නාට්‍යයක්. ඒ ගැන මීට කලින් ලියැවුණ සංකීර්ණ විචාර බොහොමයක් මං කියෙව්වෙ නැහැ. කියවපු ඒවාත් හිතට ගත්තෙ නැහැ. මං නාට්‍යය බලන්න ගියේ පිරිසිදු මනසකින්.

මට නම් ඒකෙ කිසිම ප්‍රහේලිකාවක්, නොතේරෙන සංකීර්ණභාවයක්, අමුතු මනෝ විශ්ලේෂණ න්‍යායක්, දුරවබෝධ දර්ශනයක් නැහැ. මං ඉතා ප්‍රසිද්ධ මෝඩ මිනිහෙක්. පණ්ඩිතයන් මට මෝඩයෙකු කියන එකට මං හරි කැමතියි. මං කැමතියි මේ සමාජයේ සාමාන්‍ය මිනිසුන් අතරින් එකෙකු වෙන්න. මොකද මං ඔය බොහෝ දෙනාට වඩා උපන් ගෙයි පිටස්තරයෙක්. මට අරගලය තියෙන්නෙ ඇතුළෙ ඉඳන් එළියට යන්නට නෙමෙයි. ඇතුළට එන්නටයි.

ඇන්ටික් කඩයක මරණයක් කියන්නෙ දාර්ශනික පාඩමක් නෙමෙයි. සුන්දර නාට්‍යයක්. හඳගමගෙ මනස පූර්ණව යොමුවෙලා තියෙන්නෙ ඒ නාට්‍යය නිර්මාණය කරන්නට මිසක් අරුත් නිර්මාණය කරන්නට නෙමෙයි. එනයින් ගත්කල හඳගමගේ නාට්‍යය භරත මුනිගේ රසවාදය ඔස්සේ විවරණය කිරීම වඩා පහසුයි. රසවාදය අනුව නාට්‍යයේ පරමාර්ථය නම් රසය නිෂ්පාදනය කිරීමයි. සුචරිත ගම්ලතුන් රසවාදය ගැන ලියා තිබෙන ආකාරයට නාට්‍යයේ පරමාර්ථය, සාරය, ආත්මය රසයයි.

ඇන්ටික් කඩයක මරණයක් යනු අතිශය ප්‍රාසාංගික නාට්‍යයක්. පසුව පැමිණ අනෙක් අයට බාධා කරන කාලකණ්ණි ප්‍රේක්ෂකයන් නොවන, නාට්‍යය ආරම්භ කිරීමට පෙර ශාලාවට යන, විනයක් ඇති ප්‍රේක්ෂකයන් වෙනුවෙන් නාට්‍යය ආරම්භ කිරීමට පෙර වේදිකා පසුතලය පවා ස්ථාපන කලා කෘතියක් සේ අප ඉදිරියේ විවෘත කර තබන්නට හඳගම වගබලාගන්නවා. නාට්‍යය රඟදැක්වෙන කල්හි, තල දෙකකින් යුතු මෙම ස්ථාපන කලා කෘතිය සජීවීකරණය වෙනවා. එයට අමතරව වේදිකාවෙන් පහළ තලයේ ද නාට්‍යය රඟදැක්වෙනවා. නාට්‍යයේ සංගීත කණ්ඩායම මේ ප්‍රාසාංගික ගුණය තීව්‍ර කරනවා. එය ශෘංගාර, හාස්‍ය, කරුණ, රෞද්‍ර, වීර, භයානක, බීහත්ස, අද්භූත ආදී රසයන්ගෙන් පූර්ණයි.

ලංකාවේ නාට්‍ය ප්‍රේක්ෂකයන් රඟහලට යන්නේ හයියෙන් හිනාවෙන්නට අවස්ථාවක් සොයාගන්නට බව පෙනෙනවා. අඬන්නට සිදුවන කර්කශ යථාර්ථයක ජීවත් වෙන අපට ඒ හිනාව වැදගත්. හඳගම අපේ බලාපොරොත්තු ඉටුකරනවා. ඇතැම් තැන්වල ප්‍රේක්ෂකයන් ඉතා සියුම් ලෙස හාස්‍ය රසය හඳුනාගන්නවා. නාට්‍යයේ සරසවි සිසුවිය තම පෙම්වතා සමග දිග දෙමළ චිත්‍රපටයක් බලන්නට ගිය අවස්ථාවේදී පෙම්වතා මුළු කාලය පුරාම කළේ කට රිදෙනකල් දෙමළ සිංහලට පරිවර්තනය කරන එකය කිව්වාම ඒ අවස්ථාවේ ඇය සමග සංවාදයේ යෙදී සිටින තරුණයා කියනවා අපි යමුද ඉංග්‍රීසි චිත්‍රපටියක් බලන්න කියලා. ඊළඟ දෙබස් ඛණ්ඩයටත් කලින් එහි හාස්‍යයෙන් රංග ශාලාව ගිගුම් දෙනවා.

ඒ අතර ඔහු බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ දුරස්ථකරණ රීතිය ද නාට්‍යය තුළ මනාව යොදාගන්නවා. ඔහු නාට්‍යය, සිහිනය, යථාර්ථය යන තල තුනක ඉදිරිපත් කිරීමක් අප වෙත ගෙන එනවා. සුචරිත ගම්ලතුන් පැහැදිලි කරන ආකාරයට බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් කරන්නේ සම වැදීම නැති කිරීමේ ක‍්‍රමයක් නිෂ්පාදනය කිරීමයි. එමගින් චරිත සමග අනන්‍ය වීම බිඳහෙළා අන්‍යත්වය පිහිටුවනවා. තාදාත්ම්‍යය, තදාත්මතාව (සාධාරණීකරණය) කඩා දමා තදාත්ම විඝටනය ඇති කරනවා. හඳගමගේ ඇන්ටික් කඩයක මරණයක් නාට්‍යයේ චරිත එක්ක අපට බැඳීමක් ඇතිවෙන්නෙ නැහැ. අපි නළුවාව දකිනවා. සෞම්‍ය ලියනගේ ඒ චරිතය රඟන හැටි අපි බලනවා. විදර්ශන කන්නන්ගරට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ ශිෂ්‍යයා එක්ක තිබෙන ආත්මීය බැඳීම ඛණ්ඩනය වී ඔහු වේදිකාව මත නිරුවත් වීම දරාගන්නට පවා අමාරු වෙනවා.

විදර්ශන කන්නන්ගර ගැන කීවාම මාක්ස්වාදීන් බලාපොරොත්තු වන ආකාරයේ ප්‍රේක්ෂකයා ඥානනය කිරීමක් මෙම නාට්‍යයේ නැතිද කියලාත් කල්පනා කරන්නට වෙනවා. ඇත්තෙන්ම මෙහි ගැඹුරු දාර්ශනික සමාජ විග්‍රහයක් හෝ සංකීර්ණ මනෝ විශ්ලේෂණයක් නැහැ. මේ නාට්‍යයේ චරිත විසින් පොදු යථාර්ථයක නියෝජනයක් සිදු කරනවාය කියාත් මා හිතන්නෙ නැහැ. ඒ අත්දැකීම් පොදු නැහැ.

උදාහරණයක් විදියට, අක්ෂරය චිත්‍රපටයේ කතාවත් එක්ක සම්බන්ධ, තම මව ඇතුළු මිනීමැරුම් දෙකක් සිදුකරපු ළමයා අතින් එම මරණ සිදුවීම, ඇන්ටික් කඩය තුළදී තුන්වන මරණය ද සිදුවීම, පරිවාස භාරයේ සිට නිදහස් වූ ළමයා ඔහුට මගහැරුණු ගැහැණු ළමයා සොයා පැමිණීම, ඔවුන් එකිනෙකාගෙන් සොයන පරපීඩක කාමුකත්වය, BDSM (bondage – බැඳීම, discipline – විනය, sadism – පරපීඩකත්වය, masochism – වේදනාස්වාදය) හා ඒ හා සම්බන්ධ Femdom හෙවත් කාන්තා ආධිපත්‍යය, ලිංගික ආස්වාදය සමග සම්බන්ධ හෝ සම්බන්ධ නැති ඝාතන ක්‍රියා ආදිය මෙතෙක් විග්‍රහ කර තිබෙන පොදු අත්දැකීම් නොවෙයි. පරිවාසයෙන් නිදහස් වී පැමිණෙන තරුණයා සොයන්නේ මොකක්ද? ඔහු තරුණිය ඝාතනය කරන්නේ සැලසුම් කරලා නේද? ඔහු එසේ කරන්නේ ඇයි? මේ ප්‍රචණ්ඩ ආදර සම්බන්ධය අප තේරුම් ගන්නේ කොහොමද? තරුණයාගේ පරපීඩා කාමුකත්වය ඔස්සේ තරුණිය වේදනාස්වාදයක් ලබනවා. හිනා වෙන්න කියා කියමින් තරුණයා තරුණියට පහරදෙනවා. ඇය ඒ වේදනාව වින්දනය කරනවා. එහෙත්, ඇය පෙරළා පරපීඩා කාමුකත්වයට යොමුවන විට අර තරුණයා වේදනාස්වාදය ප්‍රතික්ෂේප කරනවා. ඔහු තරුණිය ඝාතනය කරනවා. එහෙත්, ඔහුගේ අතීත කතාවෙන් පෙනෙන්නේ ඔහු එක්කෝ වේදනාස්වාදය ලැබූ කෙනෙක්. නැතිනම් වෛරයෙන් පිරුණු අපයෝජන වින්දිතයෙක්. පරිවාසයේදී රෑට ඔහු දූෂණය කරන්නට පෝලිමේ එන අය දවල්ට ඔහුට සමච්චල් කරනවා. මේ ලිංගික තේමාව තමයි ඇන්ටික් කඩයක මරණයක් නාට්‍යයේ වැදගත්ම තේමාව. හැබැයි, හඳගම එය ගැඹුරින් විග්‍රහ කරන්නට උත්සාහ කරන්නේ නැහැ.

හඳගම නිරන්තරයෙන් ලිංගිකත්වය මාතෘකා කරගත්තාට ඔහු එය ගැඹුරින් ස්පර්ශ කරන්නට අසමත් වෙන බව පෙන්වනවා. මෙයට හොඳම උදාහරණය තමයි ‘තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටය. හඳගම එහිදී සංක්‍රාන්ති ලිංගිකත්වය මැනැවින් හඳුනාගන්නෙ නැහැ. ඒ යුගයේ ඒ පිළිබඳ අද තරම් කතිකාවක් තිබුණෙ නැති බව ඇත්ත. හැබැයි, අඩු තරමෙ ඒ යුවලගෙ සම්බන්ධය ස්ත්‍රී සමලිංගික සම්බන්ධයක් ලෙස හෝ හඳුනාගන්නට තිබුණා. ඒක වෙන්නෙ නැහැ. හඳගම ඒ කාරණයේදී පත්තර වාර්තාවලින් එහාට යන්නට අසමත් වෙනවා.

අතීතය, ඉතිහාසය, වර්තමානය පිළිබඳ ඇන්ටික් කඩය, කටුගෙය, කඩු ආදිය ඇසුරෙන් ඔහු ගොඩනගන කතිකාව වෙනත් තලයක එකක්. ඒත්, මට එහි එතරම් වැදගත්කමක් නොපෙනුණ නිසා මා ඒ ගැන මෙහි කතාකරන්නට යන්නේ නැහැ.

ආපසු රසවාදය ඔස්සේ නාට්‍යය විග්‍රහ කළොත් හඳගම නිර්මාණය කරන නාට්‍යයේ නාට්‍යමය දුර්වලකමක් පෙනෙනවා. නාට්‍යයේ ගැටුම පුපුරා යන අවස්ථාව තමයි මේ ලිංගික ජවනිකාව. එහි තිබෙන අභව්‍ය ස්වභාවය සමස්ත නාට්‍යයේම ගුණයට බලපානවා. එමගින් නිර්මාණය වෙන්නේ කෘත්‍රිම ශෝකාන්තයක්.

හඳගම බොහෝ විට ප්‍රසිද්ධ ඉංග්‍රීසි සාහිත්‍ය කෘතිවල ආභාසය ලබනවා. ඔහුගේ චන්දකින්නරී චිත්‍රපටයට ඩී.එච්. ලෝරන්ස්ගේ Odour of Chrysanthemum කෙටිකතාවේ ආභාසය ලබනවා. පාර්වතී පිළිරුවේ පියයුරු උරන ළමයාගේ රූපකයත් එක්ක මට සිහිපත් වුණේ හරුකි මුරකාමිගේ 1Q84 නවකතාවේ ටෙංගෝ නිතර දකින හීනය. ඔහු දකින්නේ කිසියම් පිරිමියකු ඔහුගේ මවගේ පියයුරු උරන ආකාරයයි. අක්ෂරය තිරගත වුණේ මුරකාමිගේ නවකතාව පළවෙන්නට කලින්. මුරකාමි හඳගමගේ ආභාසය ලැබුවා වෙන්නත් පුළුවන්.

අවසාන වශයෙන් හඳගම antic, antique යන වචන දෙක එක්ක කරන හරඹයත් වැදගත්. මෙතන තියෙන පරණ බඩු කඩයට ගැලපෙන වචනය නම් ඇන්ටීක් කියන ටයන්නට දීර්ඝ ඉස්පිල්ල යොදන වචනයයි. ඒත්, හඳගම භාවිතා කරන්නේ ලංකාවේ අපි සාමාන්‍යයෙන් කියන ඇන්ටික් නම් ටයන්නට කෙටි ඉස්පිල්ල යෙදෙන වචනයයි. එහි ඉංග්‍රීසි තේරුම සමීප වෙන්නේ විකාර යන වචනයටයි. එතකොට මේක විකාර කඩයක්ද? අන්න එතකොට නම් ඉතිහාස තේමාව පණ ලබනවා.

කලාව ගැන අපේ ලිපි මෙතැනින් කියවන්න.

Creative Content Consultants

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: