Vipula Sumanasekara

විපුල සුමනසේකර. චිත්‍රපට තිරනාටක රචක, අධ්‍යක්ෂ හා නිෂ්පාදක. නිර්මාණ අධ්‍යක්ෂ හා උපදේශක (වෙළෙඳ ප්‍රචාරක කටයුතු)

මෙය ලියන මා කිසිම දේශපාලන පක්ෂයක් නියෝජනය කරන අයෙකු හෝ රාජ්‍ය හෝ පුද්ගලික රූපවාහිනී නාලිකාවකට, ඇඩ්වර්ටයිසින් ආයතනයකට, කිසිම අනුග්‍රාහක ආයතනයකට විරුද්ධ අයෙකු ද නොවේ. මා විරුද්ධවන්නේ වසර 2001දී ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට පත් වූ නිමල් ලක්ෂපතිආරච්චි විසින් ඇති කරන ලද, නාලිකා මගින් රූපවාහිනී ටෙලි නාට්‍ය හා වැඩසටහන් අව-තක්සේරු කරමින්, අනුග්‍රාහකයින්ගෙන් ලැබෙන සියලුම මුදල් අයිති කරගනිමින්, අනුග්‍රාහක දැන්වීම් සොයාදෙමින් අතරමැදි සේවාවක් සපයන ප්‍රචාරක ආයතනවලට සියයට 15%ක කොමිස් මුදලක් ලබාදෙමින්, නිර්මාණය බිහිකළ නිෂ්පාදකවරුන්ට හා අධ්‍යක්ෂවරුන්ට සියයට 2% ක පමණ සොච්චම් මුදලක් ලබාදෙන මේ “සම-අනුග්‍රාහක ක්‍රමවේදය” නම් වූ අසාධාරණ ක්‍රමවේදයටය.

මා 1990 වසරේ මගේ ප්‍රථම ඒකාංගික රූපවාහිනී ටෙලිනාට්‍යය නිර්මාණ කරමින් රූපවාහිනී ක්ෂේත්‍රයට පිවිසි දා සිට රූපවාහිනී නාලිකා සහ අනුග්‍රාහක ආයතන අපගේ ටෙලිනාට්‍යයන් සඳහා මුදල් ගෙවූ සාධාරණ ක්‍රමයට අනුගතව යම් යම් නිර්මාණ කළ අයෙකි. වසර 2001 සිට මේ ක්‍රමවේද, ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට පත්වූ නිමල් ලක්ෂපතිආරච්චි මහතා විසින් පැය 24ක් වැනි කෙටි කාලයකින් ක්‍රියාත්මක කළ “සම-අනුග්‍රාහක ක්‍රමවේදය” නම් වූ, කලාකරුවන්ගේ මූලික ­­මානව හිමිකම් අහෝසි කරන, ආණ්ඩුක්‍රම හා ශ්‍රේෂ්ඨාධිකරණ නීති විරෝධී, රහසිගත, නව නාට්‍ය අගයකිරීමේ හා මිලදී ගැනීමේ ක්‍රියා පිළිවෙතකට යොමුවෙන ලදී. අනෙකුත් සියලුම නාලිකා ද මේ ක්‍රමය අනුගමනය කිරීමට පටන්ගැනීම නිසා සියලුම ප්‍රවීණ රූපවාහිනී නිර්මාණකරුවන් (ඩී.බී. නිහාල්සිංහ, පරාක්‍රම නිරිඇල්ල, වසන්ත ඔබේසේකර, තිස්ස අබේසේකර, ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුමිත්‍රා පීරිස්, අශෝක හඳගම, බර්ට්‍රම් නිහාල් ආදීන්) රූපවාහිනී ක්ෂේත්‍රයෙන් ඉවතට විසිවිය. ඉතිරි වූයේ නාලිකා ක්‍රියාත්මක කරන මේ අසාධාරණ, අගතිගාමී නාට්‍ය අගයකිරීමේ හා මිලදී ගැනීමේ ක්‍රමවේදයන්ට එකඟ වූ අය පමණී.

පළමුවරට මා හට මේ කටුක අත්දැකීමට මුහුණදෙන්නට සිදු වූයේ, වසර 2011 දීය. මා නිර්මාණය  කළ “පරිත්‍යාගය” නම් ඒකාංගික නත්තල් ටෙලිනාට්‍යය විකාශනය කරගත නොහැකිව ගතවෙන 10 වන වසරයි. පළමුවෙන්ම මතු වූ ප්‍රශ්නය වූයේ, මා මේ නත්තල් ටෙලිනාටකය සඳහා අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන්ගෙ කියමනක් පාදක කරගැනීමයි. (එය මගේ නිදහස හා අයිතියයි. දරුණුම අපරාධකරුවෙකුගෙ කියමනක් පාදක කරගෙන වුවද, නත්තල් හෝ පෝය ටෙලිනාටකයක් නිර්මාණය කිරීමට මට නිදහසක් හා අයිතියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සනාථ කර ඇත.)

මේ කාලයේ ජාතික රූපවාහිනිය, අප කළ ටෙලි නිර්මාණ වියත් මඬුල්ලක් මගින් නරඹා අනුමැතියක් ලබාදීමේ පිළිවෙත අත්හැර දමා තිබුණි. එහෙත් මගේ නිර්මාණය නැරඹූ අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් හා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමන් එය සුදුසු නත්තල් නිර්මාණයක් වශයෙන් නිර්දේශ කර තිබුණි. යුද්ධයෙන් ආබාධිත වූ සොල්දාදුවෙකුගේ චරිතයක් ටෙලිනාට්‍යයේ තිබුණු බැවින් එවකට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ‍ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් හා නිලබලධාරීන් ද, එය නරඹා අනුමත කර තිබුණි. නමුත් කිසිදු විසඳුමක් නොමැතිව වසර 2011 ගෙවීගියා.

වසර 2012 දී වියත් මඬුල්ලක් ටෙලිනිර්මාණ නරඹා අනුමත කිරීමේ පිලිවෙත ජාතික රූපවාහිනිය නැවත ආරම්භ කරන ලදුව, මගේ නිර්මාණය ඔවුන් විසින් අනුමත කරන ලදී. එහෙත් ඊට බාධකය වුයේ, 2001 වසරේ ජාතික රූපවාහිනි බලධාරීන් ආරම්භ කළ, දැන් ස්වාධීන සහ සියලුම රූපවාහිනී නාලිකාවල ක්‍රියාත්මක වන, රහසිගත ලෙස, හිතාමතාම වසං කළ, ටෙලි නිර්මාණ අගය කරන කමිටුව (අව-තක්සේරුකර, පවරාගැනීම) සහ ඊට සමගාමීව ක්‍රියාත්මක කරන “සම-අනුග්‍රාහක ක්‍රමවේදය” වේ. මෙය මට පමණක් බලපාන පෞද්ගලික ප්‍රශ්නයක් නොවෙයි. සමස්ත ටෙලිනාට්‍ය නිර්මාණ කරුවන්ගේ ප්‍රශ්නයකි. මෙයින් රූපවාහිනී නිර්මාණකරුවන්ගෙ මූලික මානව හිමිකම්, නිදහස හා අයිතිවාසිකම් කඩවෙයි. උල්ලංඝනය වෙයි. තමන් නිර්මාණය කළ ටෙලිනාට්‍යයේ වියදමට සරිලන මුදලක් ලබාගැනීම සඳහා  ටෙලිනිර්මාණකරුවන් නාලිකා බලධාරින් හා ජනමාධ්‍ය ඇමතිවරුන් අභියස දනගැසීමට සිදුවෙයි. මුදල් සහ තවත් අල්ලස් දීමට සිදුවෙයි. (කණගාටුදායක තත්ත්වය නම් මේ අල්ලස් දීමට පෙළඹුනු ටෙලිනිර්මාණකරුවන්ද සිටීමයි.)

මට මේ ප්‍රශ්නයට විසඳුමක් අද වෙනතුරුත් ලැබුනේ නෑ. නමුත් මෙතෙක් බහුතර ටෙලිකලාකරුවන්ගෙ සහයෝගයක් නොමැතිව වසර 9 ක් පුරා පුවත්පත් සහ ෆේස්තබුක් වැනි විද්‍යුත් මාධ්‍ය හරහා මා තනිවම සටන් කරනවා. එයට හේතුව නම් සියලුම කලාකරුවන්, කලා සංවිධාන, තමන් අනුගත දේශපාලන පක්ෂවලට ගැතිවී කටයුතු කිරීමයි. මේ බව දන්නා රූපවාහිනී නාලිකා බලධාරීන් කරන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා ශ්‍රේෂ්ඨාධිකරණ නඩුතීන්දු, තීරණවලට විරුද්ධව යමින්,  නීති විරෝධී ලෙස නීතිය කෙළෙසමින්, රූපවාහිනී කලාකරුවන් පාලනය කිරීමයි. දණගැස්සවීමයි.

මා මුහුණුපොතේ කළ අභියෝග පිළිගෙන, ඉරිදා ලක්බිම පුවත්පතෙන් විවාදයකට පැමිණි ජාතික රූපවාහිනියේ 2017 හිටපු සභාපති නීතීඥ රවි ජයවර්ධන මහතාට “සම-අනුග්‍රාහක ක්‍රමවේදය” සාධාරණීකරණය කරන්නට ගොස් පරාජය වී තනතුර පවා හැරයන්නට සිදුවුණා. පරාජය පිළිගෙන අස්වී ගිය එතුමා මහත්මා ගති ඇත්තෙකි. ඉන්පසු පැමිණි ඉනෝකා සත්‍යාංගනී, මගේ අභියෝග තුට්ටුවකට ගණන් නොගෙන නිහඬව සිටියේ ඇයටද එම ඉරණම අත්වේය යන බියෙන්. මාද සාමාජිකත්වය දරණ රූපවාහිනී කලා සංගම් (ටෙලිනිස, ටෙලි වෘත්තිකයින්ගේ එකතුව) දිගටම නිහඬයි. මට සහයෝගයක් දෙන්නේ ද නැහැ. මන්ද, ඔවුන්ගේ දේශපාලන ගැති භාවය නිසාය.   

“ලක්බිම” සති අන්ත පුවත්පතේ මා ආරම්භ කළ විවාදයට සහයෝගය දෙමින්, මා සමගම සිටි, අපේ දක්ෂ හා ජනප්‍රිය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වන සුදත් රෝහණ ‘‘දැන් රූපවාහිනී අධ්‍යක්ෂවරුන් රූකඩ – නටවන්නේ නාලිකා බලධාරීන් ” යැයි කියා තිබුණේ මේ නිසාය. වසරක් ඇවෑමෙන් දැන් සුදත් රෝහණ ස්වාධීන රූපවාහිනියේ සභාපති ලෙස පත්වී සිටියි. (කණගාටුදායක සිදුවීම නම් දැන් ඔහුද “රූපවාහිනී නිර්මාණකරුවන් රූකඩ ලෙස නැටවීම” ආරම්භ කර තිබීමයි.) පුළුල් විවාදයක් හෝ සංවාදයක් ගෙන යාමට දැන් මැදිහත් පුවත්පතක් නැත. මා මෙය ලියන්නේ “සිළුමිණ” යම් තරමකට හෝ මැදිහත් පුවත් පතක් යැයි මට හැඟුන නිසයි.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ලෙස වැඩ භාරගත් පසු මා එතුමාට මේ පිළිබඳ පළමු ලිපිය ලියාපදිංචි තැපෑලෙන් යොමු කෙළේ පසුගිය දෙසැම්බර් මාසයේදීය. එම ලිපිය මේ වසරේ අප්‍රේල් මාසයේ ජනමාධ්‍ය අමාත්‍යාංශය හරහා ජාතික රූපවාහිනියේ සභාපතිතුමාට යොමුකර තිබුණා. අද වෙනතුරුත් පිළිතුරක් නෑ. මා ජාතික රූපවාහිනියේ සභාපති තුමාටයි, ස්වාධීන රූපවාහිනියෙ සභාපතිතුමාටයි මේ වසරේ විටින් විට කීපවාරයක් ලියාපදිංචි තැපෑලෙන් ලිපි යැව්වා. ඒ එකකටවත් පිළිතුරක් නෑ. කොවිඩ් වසංගතය අස්සේ මා නැවත නැවත කීපවරක්ම අතිගරු ජනාධිපතිතුමාට ලිපි යැව්වා. ඒ අතර දුරකතනයෙන් එතුමාට කතා කිරීමට බොහෝ උත්සාහ කළා. ඒ හැමදෙයක්ම අසාර්ථකයි. ෆේස්බුක්හි එතුමාගේ පිටුවලත් මා මේ බව සඳහන් කළා. එතුමාගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කරණ සුගීෂ්වර බණ්ඩාර මැතිඳුන්ටත් බොහෝ දුරකතන ඇමතුම් දුන් නමුත් ඒ එකකටවත් එතුමාද පිළිතුරු දුන්නේ නැහැ. මට සිදුවන්නේ ළඟ එන 2020 කොරෝනා නත්තලේදී 10 වෙනි වසරටත් දෙවියන් වහන්සේගේ උදහසට හා සාතන්ගේ ශාපයට ලක්වීම ද ?

ජාතික රූපවාහිනියේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු පැය 24ක් තුළ ඇති කරන ලද මේ අසාධාරණ, අගතිගාමී ක්‍රමවේදය, ජනාධිපතිවරයෙකුට සිය විධායක බලතල යොදා පැය 24ක් තුළ අවසන් කළ නොහැකි යැයි පවසන ස්වාධීන රූපවාහිනියේ සභාපති සුදත් රෝහණ කලාකරුවා ගැන කණගාටු වෙනවා හැරෙන්නට කියන්නට දෙයක් නැත.

මම මෙහි සඳහන් කර ඇති කරුණු අසත්‍යයි ! අසාධාරණයි ! කියා ඔප්පු කරන ලෙස, සියලුම නාලිකා ප්‍රධානින්ට, සෙසු නිලබලධාරීන්ට සාදරයෙන් ඇරැයුම් කරමි. විශේෂයෙන්ම, ස්වාධීන රූපවාහිනියේ සභාපති සුදත් රෝහණ හා ජාතික රූපවාහිනියේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මහත්වරුන් මගේ මේ ඇරැයුම පිළිගත යුතුමය. මා කියන්නේ සත්‍යයක් නම් වහාම මේ අගතිගාමී, අමන හා අධම ක්‍රමවේදය වෙනස් කර, කලාකරුවන්ට සහනදායක ක්‍රමවේදයක් ඇතිකරණ ලෙස මම ඉල්ලා සිටිමි. මා පවසන්නේ අසත්‍ය කරුණු නම්, මා අධිකරණය අභිමුවට පමුණුවා දඬුවම් පමුණුවන ලෙස ද ඉල්ලා සිටිමින් මෙම ලිපිය අවසන් කරන්න කැමතියි.     

මෙම අගතිගාමී, අසාධාරණ ක්‍රමවේදය අහෝසි කර, සියලුම රූපවාහිනී කලාකරුවන්ට යහපතක් වන පරිදි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සියලුම කලාකරුවන්ට ලබාදි ඇති මානව හිමිකම් හා නිදහස සුරකිමින් ජනතා පරමාධිපත්‍යය සුරැකීම පවතින සෑම රජයකම ප්‍රධාන යුතුකමක් හා වගකීමක් බව අවසාන වශයෙන් මම අවධාරණයෙන් යුතුව කියමි.

2019.10.09

මේ ලිපිය සංවාදයකට විවෘතයි.

1 thought on “ටෙලි නිර්මාණයක් ප්‍රදර්ශනය කරගැනීමට අවුරුදු දහයක් තිස්සේ කරන අරගලයක්

Leave comment

Your email address will not be published. Required fields are marked with *.