Within the Whirlwind

අජිත් පැරකුම් ජයසිංහ

Within the Whirlwind (සුළිසුළඟ ඇතුළත) කියන්නෙ Marleen Gorris විසින් අධ්‍යක්ෂණය කරන ලද, 2009දී එළිදක්වන ලද චිත්‍රපටයක්. එයට පදනම් වුණේ Evgenia Ginzburg විසින් 1967දී පළකරන ලද ඇගේම ජීවන අත්දැකීම්.

1934දී රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ නායකයකු වූ සර්ජි කිරොව් ඝාතනයට ලක්වීමෙන් අනතුරුව 1936-38 සමයේ රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ නායක ජෝසප් ස්ටාලින්ගේ මෙහෙයවීමෙන් දියත් කරන ලද මහා මර්දනය යනු වෙනම කතා කළ යුතු විෂයයක්. එහිදී සුළුතර ජාතීන්, බුද්ධිමතුන් ඇතුළු විවිධ සමාජ කොටස් වෙත ඉතා තිරශ්චීන මර්දනයක් දියත් කළා. මිලියනයක් පමණ ජනයා මරාදැමූ බව වාර්තා වෙනවා. එයට හේතු මොනවාද යන්න අතිශය සංකීර්ණයි. කෙසේ වෙතත්, මේ සංහාරය ස්ටාලින්ගේ උන්මාදයකින් පැනනැගුණු එකක් වුණත්, එය සමස්ත පක්ෂ දේහය පුරාම පැතිරුණු එකක්. එයට වගකිවයුතු විශාල පිරිසක් ඉන්නවා. ඒ වගකිවයුතු අයත් ඇතැම් විට ඒ සංහාරයේ ගොදුරු බවට පත්වෙනවා.

මේ මර්දනය කොමියුනිස්ට් පක්ෂය තුළමත් දරුණු ලෙස සිදුවෙනවා. එව්ජීනියා ගින්ස්බර්ග් කොමියුනිස්ට් පක්ෂයේ ද ක්‍රියාකාරිනියක වන, කසාන් විශ්වවිද්‍යාලයේ සාහිත්‍ය කථිකාචාර්යවරියක්. ඇයට චෝදනා කරන්නේ ඇය ට්‍රොස්කිවාදී යයි සැක කරනු ලබන තවත් ආචාර්යවරයකු වූ එව්ලොව් සම්බන්ධයෙන් දේශපාලන අවදියෙන් කටයුතු කිරීමට අසමත් වූ බවටයි. එම ආචාර්යවරයා වරදකරු වන්නේ ඔහු පුවත්පතකට ලියූ ලිපියකටයි. ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවය පිළිබඳ න්‍යාය ස්ටාලින්ගේ දැක්මට අනුකූලව විග්‍රහ කිරීමට අසමත් වීම ඔහුට එල්ලවෙන චෝදනාවයි. ඔහු මරණ දඬුවමට ලක්වෙනවා. එව්ජීනියා තමාට එල්ල කරන ලද චෝදනාවට විරෝධය පළ කළ විට ඇයට ට්‍රොට්ස්කිවාදී ත්‍රස්තවාදී කණ්ඩායමක සාමාජිකයකු වීම පිළිබඳ බොරු චෝදනාවක් එල්ලකර දස වසරක සිර දඬුවමක් සඳහා සයිබීරියාවට පිටත් කරනු ලබනවා.

එහිදී හමුවන සුළුතර ජාතියකට අයත් වෛද්‍යවරයකුගේ උපකාරයෙන් ඇය අලුත් ජීවිතයක් ආරම්භ කරනවා.

ඇය විනාශ කිරීමට මුල්වන බේලින් නම් කොමියුනිස්ට් පක්ෂ නිලධාරියා පසුකලෙක ඇයට සිරකඳවුරකදී හමුවෙනවා. ඒ මිනිසාත් අවසානයේදී ඇගේ ඉරණමටම ගොදුරු වී මියයනවා.

මේ චිත්‍රපටයට පසුබිම් වන ඉතිහාසය වෙනම හැදෑරිය යුතුයි. එසේම, මෙය තරමක් භාවාතිෂය ලෙස කරන ලද නිර්මාණයක් බව ද පෙනෙනවා. ගින්ස්බර්ග්ගේ කතාව මීට වඩා ගැඹුරකින් යුතු බව මා අසා තිබෙනවා.

කෙසේ වෙතත්, මා මේ සටහනෙන් අදහස් කරන්නේ කොමියුනිස්ට් පන්නයේ මධ්‍යගත ප්‍රජාතාන්ත්‍රික පක්ෂ හා කණ්ඩායම් සම්බන්ධයෙන් මට තිබෙන අද්දැකීම් කිහිපයක් ගැන සාකච්ඡා කිරීමටයි. ඒ සඳහා මා මේ චිත්‍රපටය තේමාවක් කරගන්නවා. මා මෙම රුසියානු කොමියුනිස්ට් පක්ෂ මාදිලියේ පක්ෂ සංස්කෘතිය දිගින් දිගටම ප්‍රශ්න කරන කෙනෙක්. ලංකාවේ සමාජ ව්‍යාපාර එම උගුලෙන් ගැලවිය යුතු යයි සිතන කෙනෙක්. වාමාංශික පක්ෂ පමණක් නොවෙයි, ජාතිකවාදී ව්‍යාපාර හා වෘත්තීය සමිති, රාජ්‍ය නොවන සංවිධාන පවා මෙම සංවිධාන ආකෘතිය අනුගමනය කරන බව පෙනෙනවා.

මේ පක්ෂ, කණ්ඩායම් ආදිය තුළ තිබුණු පැරණි සංස්කෘතිය දැන් වෙනස්වෙමින් තිබෙන බව පෙනෙනවා. එය හොඳ ප්‍රවණතාවක්. එහෙත්, ඒ සංස්කෘතියේ නෂ්ඨාවශේෂ හෝ දකින්නට ලැබෙනවා.

මේ පක්ෂවල මා දුටු මූලික ලක්ෂණයක් වන්නේ පක්ෂය පවතින්නේ පක්ෂය වෙනුවෙන් වීමයි. සාමාජිකත්වය තබා නායකත්වයවත් මේ පක්ෂවලට වැදගත් නැහැ. පක්ෂය හැමවිටම සියල්ලට ඉහළින් තිබෙන අද්භූත බලයක්. ඒ බලවේගය විසින් තමයි නායකයන් මෙන්ම සාමාජිකයන් ද හැසිරවෙන්නේ.

එහිදී මතවාදය ඉතා වැදගත්. මේ මතවාදය නිර්මාණය කිරීමේදී නායකයන්ගේ අදහස් වැදගත් වෙනවා. එහෙත්, නායකයන් නැතුවත් මතවාදය පවතින්නට පුළුවන්. මතවාදයෙන් ගිලිහෙන, මතය නිර්මාණයට මුල් වූ නායකයා වුණත්, අවසානයේදී ද්‍රෝහියෙකු වන්නට පුළුවන්.

මෙහිදී තවත් කාරණයක් ගැන සඳහන් කළ යුතුයි. මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය අනුව පක්ෂය ගොඩනැගිය යුත්තේ පහළ සිට ඉහළට වුණත්, ව්‍යවස්ථාවේ මේ ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණය හැමවිටම අත්හිටුවලායි තිබෙන්නේ. එයට මොකක් හෝ හේතුවක් තිබෙනවා. එක්කෝ ධනපති මර්දනය. එහෙම නැතිනම් ප්‍රතිවිප්ලවය. අධිරාජ්‍යවාදී ආක්‍රමණ තර්ජන පවා වෙන්නට පුළුවන්. පුංචි පුංචි පක්ෂවලට නම්, හැමදාමත් අත පොවන මානයේ සතුරෙකු ඉන්නවා. ඒ තමන් හොඳින් දන්නා හඳුනන, තමන් ළඟ සිට වෙන්ව ගිය කණ්ඩායමක්. කවුරු හෝ සතුරකුගෙන් ආරක්ෂා වීම සඳහා අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය හැමවිටම අත්හිටුවායි තිබෙන්නේ.

එකට සිටින තාක් කල්, මෙම පක්ෂ සාමාජිකයන් අතර ඉතා තද හෘදයාංගම බැඳීම් තිබෙන බවක් පෙනෙනවා. බොහෝ විට විවාපත් වන්නේ පවා පක්ෂ සාමාජිකයන්. පක්ෂ සාමාජිකයන් සෙසු සමාජයට වඩා උත්තරීතර මිනිසුන් පිරිසකැයි ඔවුනොවුන් අතර පිළිගැනීමක් තිබෙනවා. සෙසු සමාජය දෙස ඔවුන් බලන්නේ උඩඟු ලෙසයි. තමන් ඉතිහාසය විසින් පවරන ලද බරපතල වගකීමකට උර දී සිටින උත්තරීතර මිනිසුන් පිරිසකැයි ඔවුන් සිතනවා.

එහෙත්, සියල්ල වෙනස් වන්නේ කුමන හෝ හේතුවක් මත පක්ෂයේ නායකයන් මෙකී සාමාජිකයා සමග බිඳුණු පසුවයි. නිහඬව යටත් වුණොත් යම් සමාවක් ලැබෙන්නට පුළුවන්. එහෙත්, යුක්තිය උදෙසා සටන් කළොත්, එම පුද්ගලයා දරුණු ද්‍රෝහියකු වෙනවා. මෙවැනි අයට භාවිතා කරන වචන තිබෙනවා. සමාජවාදී සමානතා පක්ෂයේ ශබ්දකෝෂය අනුව නම් භ්‍රෂ්ටයායි. ජවිපෙ, පෙසප හා සමාන්තර බලවේග කලෙක විමතිකයා යන වචනය පාවිච්චි කළා.

විදින් ද වර්ල්වින්ඩ් චිත්‍රපටය කොමියුනිස්ට් පාක්ෂිකයන් අතර තිබෙන මානව සම්බන්ධකම්වල ස්වරූපය නිරූපණය කරන ආකාරය විශිෂ්ටයි. පක්ෂයේ වෛරයට පාත්‍ර වූ පුද්ගලයාගේ සැමියා, බිරිය, මව්පියන්, සොයුරු සොයුරියන්, මිතුරු මිතුරියන් පවා එම පුද්ගලයා පාවාදිය හැකියි. පක්ෂයේ උත්තරීතරභාවය තුළ කිසිදු මිනිසෙකු හෝ මිනිස් සම්බන්ධයක් වැදගත් වන්නේ නැහැ. සියලු මිතුරන් සතුරන් වන හැටිත්, සැමියා පවා පිටුපාන හැටිත්, සමස්ත පවුලම බිඳවැටෙන හැටිත්, මධ්‍යම පන්තික සුවපහසු නිවසක සිට තමන්ම ගොස් අඳුරු, සීතල සිරකුටියක ගාල් වන හැටිත්, පක්ෂය විසින් ඒකපාර්ශ්විකව චෝදනා ඉදිරිපත් කර නඩු විභාග කරන හැටි හා කෘර දඬුවම් පමුණුවන හැටිත්, කටුක සයිබීරියාවේ දුක්ඛිත ජීවිතයත් එව්ජීනියාගේ කතාවෙන් ඉදිරිපත් වෙනවා. ගොඩඑන්නට බැරි ජීවන අගාධයෙන් අවසානයේදී ඇය ගොඩඑන්නේ ආදරය නිසායි. පක්ෂ සංස්කෘතියෙන් බැහැර කරන ලද මිනිසුන් තුළ ගොඩනැගෙන සම්බන්ධකම්, වෛරය, තවමත් ඉතිරි වී තිබෙන පක්ෂ භක්තිය ආදිය ද චිත්‍රපටයේ යම් යම් ආකාරවලින් නිරූපණය වෙනවා.

සිය පාක්ෂිකයන් පවා මේ අන්දමින් සංහාරය කරන්නට පෙළඹෙන මෙම මානසිකත්වය කොමියුනිස්ට් නොවන වෙනත් ජාතික සමාජවාදී පක්ෂවලත් දකින්නට පුළුවන්. විශේෂයෙන්ම දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය වැනි ජාතික විමුක්ති ව්‍යාපාර විසින් ඝාතනය කරන ලද තමන්ගේම සාමාජිකයන් සංඛ්‍යාව අතිවිශාලයි.

පීඩිත ජනතාව තම නිදහස වෙනුවෙන් ව්‍යාපාර ගොඩනගාගත යුතුයි. ඒත් මෙවැනි අත්දුටු මරඋගුල් නැවත ශක්තිමත් නොකළ යුතුයි.

1 thought on “කොමියුනිස්ට් පක්ෂ තුළ මිනිස් සම්බන්ධකම් ගැන චිත්‍රපටියක්

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: