Paddy field

මනෝජ් ප්‍රේමකීර්ති, බුත්තල

පහුගිය දවස්වල ආයෙත් හාල් මිල ගැන ලොකුවට කතා වුණා. හාල් හදන්නෙ වී වලින්. වී මිල වැඩි වෙනකොට හාල් මිල වැඩි වෙනවා. ගොයම් කපන කාලෙට වී මිල අඩු වෙනවා .ගොවියෝ වගා කරන්නේ හතර අතට ණය වෙලා ගොයම් කපා ගත්ත ගමන් ඒ ණය ගෙවන්න ඕන. ඒ වෙලාවට පවතින මිළට කීයට හරි වී ටික විකුණා ගන්න තමයි ගොවියෝ බලන්නෙ.

Translations by Creative Content Consultants

ගොවියන්ගේ වී ටික ව්‍යාපාරිකෙයො ගබඩා කර ගත්තට පස්සේ වී මිල ටික ටික වැඩි වෙනවා .ඒ එක්කම හාල් මිලත් වැඩි වෙනවා.

කුඹුරු අක්කරයකින් සාමාන්‍ය අස්වැන්න වී බුසල් 80යි . සීයක්ම ගත්ත කියමුකො (කිලෝ දෙදාහයි). වී මිළ රුපියල් පනහ වුනොත් රුපියල් ලක්ෂයයි. කුඹුරු අක්කරයක වියදම රුපියල් 65,000 පනිනව. වී කිලෝව රු. 30ට 35 ට දුන්නොත් වියදම් කරපු මුදලවත් නෑ.

හැම ගොවියාට ම කුඹුරු නෑ. අනුන්ගේ කුඹුරක් අරගෙන කරොත් අයිතිකාරයට හතරෙං පංගුවක් දෙන්නත් ඕන. එහෙම වුණොත් ලොකු අමාරුවක වැටෙන්න වෙන්නේ. පටන් ගත්ත තැන ඉඳන් අවසානය දක්වා ම වියදම ගන සැරේට. කීදෙනෙක් ගෙන් නං කියල ආරක්ෂා කරගන්න ද ?

හාල් සල්ලි වලට අරන් කන පාරිභෝගිකයො ලංකාවෙ විශාල ප්‍රමාණයක් ඉන්නවා. කුඹුරු ගොවිතැන් කරන ගොවියෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ දෙගොල්ලොම බලන්නේ තමන්ගේ ලාභය. ගොවියා බලන්නෙ පුළුවන් තරම් වැඩි මිලක් තමන්ගේ වී ටිකට ගන්න පාරිභෝගිකයො බලන්නෙ පුළුවන් තරම් අඩු මිලට හාල් ගන්න. බොහෝ වෙලාවට මේ දෙකම සිද්ධ වෙන්නෙ නෑ.

මැතිවරණ කාලෙට මේ දෙගොල්ලොම රැවටෙනවා. ගොවියට කියනවා වීවලට උපරිම මිලක් දෙන්නං කියල පාරිභෝගිකය අනෙක් පැත්තෙන් රවටනවා, අඩුවට හාල් දෙන්නං කියල.
පිටරටින් ගෙනැල්ලා මෙහේ තියෙන මිලට වඩා අඩුවට හාල් දෙන්න පුළුවන්. ඒකට හේතුව මොකක්ද? අපි අක්කරයකට වී බුසල් 100ක් ගන්න කොට ජපානය වගේ රටවල් වල වී බුසල් 300ක් ගන්නවා. අපට අඩුම තරමින් වී බුසල් 150ක මට්ටමටවත් යන්න පුළුවන් නම් මේ ප්‍රශ්නය දෙපැත්තටම සාධාරණ විදියට විසදගන්න පුළුවන්. ඒක කරන්න නිකං බෑ. නවීන තාක්ෂණය උපරිම වශයෙන් පාවිච්චි කරන්න වෙනවා. ඒ එක්කම අක්කරයක නිෂ්පාදන වියදම පහළට ගේන්න වැඩ කරන්න ඕන. ඒකට ගොවි උපකරණවල මිල යෙදවුම්වල මිල අඩු වෙන්න ඕන. උදැල්ලෙ ඉඳලා මහා ටැක්ටරය වෙනකන් සහනදායි මිලකට ගොවියට සපයන්න වෙනවා. පෝර ටික, කෘෂි රසායන ටික, සහන මිලකට සපයන්න වෙනවා. එහෙම කරාම අක්කරයකට යන වියදම අඩුවෙනවා. අනික් පැත්තෙන් වී බුසල් 150 කියලා කියන්නේ වී කිලෝ තුන්දාහක්. රුපියල් 50ක මිලක් තිබුනොත් එක්ලක්ෂ පනස්දාහක්.

කවුරු කොහොම කිව්වත් අනෙක් දේවල් එක්ක සංසන්දනය කරන කොට හාල් කිලෝ එකකට රුපියල් අනූවක් සීයක් කියන්නේ මහා මිලක් නෙවෙයි. හාල් මාපියාව හාල් මාපියාව කිය කියා කෑගැහුවට විතරක් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. එහෙම එකක් තියෙනවා නං රජයට පුළුවන් ඒවා මැඩ පවත්වන්න. රටේ වී අස්වැන්නෙන් වැඩි ප්‍රමාණයක් රජය විසින් මිලදී අරගෙන ඒවා හාල් කරල පාරිභෝගිකයින්ට බෙදාහරින්න පුලුවන්නම් ඒ ප්‍රශ්නය විසඳෙනවා. පෞද්ගලික අංශයටත් යම් දායකත්වයක් ලබා දිය හැකියි . එහෙම නැතුව වී රුපියල් පනහ කරලා හාල් අනූ ගණන් පනින කොට ව්‍යාපාරිකයින්ට බැන බැන ඉඳලා හරි යන්නේ නෑ.

වෙළඳ පළට වී වැඩිපුරම ලැබෙන්නේ පෙබරවාරි මාර්තු අප්‍රේල් වගේ කාලවල. ආයේ ම යල් කන්නේ ජූලි අගෝස්තු සැප්තැම්බර් වගේ මාසවල. මේ කාලයට අධික සැපයුම නිසා වී මිල පහළ යනවා ගොවියන්ට පුළුවන් නම් මේ කාලයේදී වී එක් රැස් කරගෙන ඉඳලා හිඟ වෙන කාලයට තමන්ගේ වී වෙළෙඳ පොළට එවන්න ප්‍රශ්නය එතැනින්ම ඉවරයි. නමුත් ගොවියන්ගෙ තියෙන ආර්ථික අමාරුකම් එක්ක ඒ දේ කරන්න බැහැ.

දීර්ඝ කාලයක් ගොවිතැන් කරන ගොවියෙකුට යම් ආර්ථික හයියක් ඇති විය යුතුයි. නමුත් එවැන්නක් අපේ රටේ දකින්න අමාරුයි. ගොවියා කියන්නේ පටන් ගන්නා තැන ඉඳන් අවසානය දක්වාම දුප්පතෙක් බවට පත් වෙලා තියෙනවා. මේ තත්ත්වය වෙනස් කරන්නට නම් ගොවියන් ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න ඕන. තමන්ගෙ නිෂ්පාදනයට මිලක් එනකම් අල්ලගෙන ඉන්න ගොවියන්ට පුළුවන් වෙන්න ඕන. රජය ගොවීන්ගේ පැත්තෙන් හිතලා වගාවට සහන දුන්නොත්, ගොවිනුත් මේ තත්වය තේරුම් අරගෙන හරිහැටි කටයුතු කළොත් මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. නැත්නං දෙතුන් ගොල්ලො ම ලොකු අමාරුවක වැටෙන්නෙ. දුර බලන්නේ නැතුව ළඟ බලාගෙන එවෙලෙ වාසියට කරන හුඟක් දේවලින් වෙන්නෙ කවුරු කවුරුත් අමාරුවේ වැටෙන එක තමයි .

ඡායාරූප: මනෝජ් ප්‍රේමකීර්ති විසිනි

Translations

1 thought on “හාල් මිල ගැන ගොවියකුගේ අදහස්

  1. Mada iwathkaragath pasu Goviya raja wanabava kiyalathibbath lankawe nam hemadaama raja wuneth , rajakarawanna sithaa sitinneth govikam nokarana Hela Bodu GOVIYO ya !

Leave comment

Your email address will not be published. Required fields are marked with *.