Manoj Premakeerthi

අජිත් පැරකුම් ජයසිංහ

මිලෙනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන පිළිබඳ මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් වෙබ් අඩවියේ දැක්වෙන්නේ මෙසේ යි:

Translations by Creative Content Consultants

ගිවිසුමේ කොටස් දෙකක් තිබෙනවා. ඒ ප්‍රවාහන ව්‍යාපෘතිය සහ ඉඩම් ව්‍යාපෘතිය. ප්‍රවාහන ව්‍යාපෘතිය ඉලක්ක කරන්නේ කොළඹ අගනාගරික ප්‍රදේශයේ මාර්ග පද්ධතියේ හා බස් පද්ධතියේ සාපේක්ෂ කාර්යක්ෂමතාව සහ ධාරිතාව නැංවීමයි. රටේ මධ්‍යම ප්‍රදේශවල සිට වරායන් සහ වෙළඳපොළ වෙත මගීන් සහ භාණ්ඩ ප්‍රවාහන වියදම අඩුකිරීමත් මෙහි අරමුණක්.

ඉඩම් ව්‍යාපෘතියේ අරමුණ වන්නේ පෞද්ගලික ඉඩම් සහ අඩුවෙන් භාවිතා කරන ලද රාජ්‍ය ඉඩම් පිළිබඳවත් එසේ නොමැතිනම්, රජයට නීතිමය අයිතියක් තිබෙන හෝ රජය විසින් ලබා දී තිබෙන (රජයේ ඉඩම්) ශ්‍රී ලංකාවේ සියලු ඉඩම් පිළිබඳ තොරතුරු පද්ධති ශක්තිමත් කිරීමයි. එමගින් බලාපොරොත්තු වන්නේ ඉඩම් වෙළඳපොළ ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීමයි. එසේම, කුඩා ඉඩම් හිමියන්ගේ, කාන්තාවන්ගේ සහ ආයතනවල ඉඩම් හිමිකම් සුරක්ෂිතභාවය වර්ධනය කිරීම හා ඒවා විකිණීමේ හැකියාව වර්ධනය කිරීමයි. එසේ කරනු ලබන්නේ ප්‍රතිපත්ති හා නීතිමය ප්‍රතිසංස්කරණ ඔස්සේ ය.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සත්‍ය බිය ඇති කරනු ලබන්නේ මෙය මත පදනම්ව ය. විශේෂයෙන් ම බලපත්‍රලාභී ගොවියන්ට ඉඩම් අයිතිය ලබාදෙනවාට ගොවි නායකයන් ලෙස පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධාන සහ දේශපාලකයන් විරුද්ධ ය. ඔවුන් පවසන්නේ එමගින් ගොවීන්ට තම ඉඩම විකුණා දමා කෘෂිකර්මාන්තයෙන් ඉවත් වීමට හැකියාව ලැබෙන බව හා එම ඉඩම් විශාල සමාගම් වානිජ කෘෂිකර්මාන්තය සඳහා යොදාගනු ඇති බවයි.

එහෙත්, එය ඉතා පසුගාමී හා ගොවි ජනතාව මෝඩයන් ලෙස සලකන අදහසකි. ඒ ගමන් ම ජනතාව බුද්ධිමත් යයි පවසන්නේ ද මෙම නරුමවාදීහු ම ය. මොවුන් ගොවි ජනතාව හා ගැමි දිළින්දන් වෙන් කර හඳුනාගැනීමට හෝ අසමත් ය. ‘දැන වෙළඳං – නොදැන ගොවිතැන්’ යයි කියමනක් පසුගිය සියවසේ සිට ලංකාවේ ජනවහරේ තිබේ. එයින් කියවෙන්නේ කිසිවක් නොදන්නා අයට ද ගොවිතැන් කළ හැකි බවයි. මෙය යැපුම් ගොවිතැන මුල් වූ එදා සත්‍යයක් විය හැකිමුත් අද එසේ නැත. වර්තමානයේදී ගොවියා වෘත්තිකයෙකි. රැකියා විරහිත ගැමි දිළින්දන් ද තොරතුරු ලබා දීමේදී තමන් ගොවීන් යයි හැඳින්වීම නිසා සැබෑ ගොවීන්ට සිදුවන්නේ අවමානයකි.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා ගැමි දිළින්දන් යැපුම් ගොවිතැනින් ඉවත් වීම හා සැබෑ ගොවීන්ට ඉඩම් ලැබීම යන දෙක ම අවශ්‍ය ය. ගොවීන්ට ජීවනෝපාය හෝ සපයාගත හැකි තරම් විශාල ඉඩමක් නොමැතිනම් වඩා ඵලදායී වන්නේ එම පුද්ගලයා ඉඩම ගොවියකුට විකුණා දමා ගොවිතැනින් ඉවත් වී කෘෂි කම්කරුවකු හෝ වෙනත් රැකියාවක නියුතු අයෙකු හෝ බවට පත්වීමයි. ග්‍රාමීය දිළිඳුකම නැතිකිරීමට ද මෙය අත්‍යවශ්‍ය ය. එයින් ගැමි ජනතාවට සිදුවන හානි වළක්වා ඔවුන් ඵලදායී කාර්ය වෙනුවෙන් යෙදවීම සඳහා අවශ්‍ය මෙහෙයවීම් කිරීමට අප විසින් නඩත්තු කරනු ලබන දැවැන්ත රාජ්‍ය සේවයට හා එහි සංවර්ධන අංශවලට හැකියාවන් ලබා දිය යුතු ය. වෘත්තිය මට්ටමෙන්, ව්‍යවසායක මට්ටමෙන් ගොවිතැන් කරන ගොවීන්ට ඉඩම් ලබාගැනීමට තිබෙන බාධක ඉවත් කිරීම නිෂ්පාදනයේ සංවර්ධනය සඳහා සාධනීය පියවරකි.

බලපත්‍රලාභීන් සතුව තිබෙන හා දැනට අයිතිය අවුල්ව ගොස් තිබෙන ඉඩම් සුළු හා මධ්‍ය පරිමාණ කෘෂි හා වෙනත් ව්‍යවසාය වෙත ලබාදිය යුතු ය. ඒවා බහු ජාතික සමාගම්වලට විකුණන්නට ඕනෑ නැත. එසේම, යම් සමාගමක්, රාජ්‍ය නියාමනයට යටත්ව, පරිසරයට හා ජන ජීවිතයට හානි නොවන පරිදි කෘෂි ව්‍යවසායන් පවත්වාගෙන යන්නේ නම් එහි වරදක් ද නැත. අප බුද්ධිමත් පුරවැසියන් වීම හා අපගේ රජය ලවා එම තත්වයන් කළමනාකරණය කරගැනීමට සමත් වීම අවශ්‍ය වන්නේ ඒ වෙනුවෙනි.

(කවරයේ ඡායාරූපය: මනෝජ් ප්‍රේමකීර්ති, බුත්තල)

Leave comment

Your email address will not be published. Required fields are marked with *.