හෙන්රි ගායක අන්ධ කල්දේරා

හෙන්රි කල්දේරාගේ නම ඉදිරියෙන් අසාධාරණ විදියට ‘අන්ධ ගායක’ කියන විශේෂණ පදය යෙදුණා. මාතෘකාවේ දැක්වෙන්නේ එක් නිවේදකයකු එකල හෙන්රි කල්දේරාගේ නම සංගීත ප්‍රසංගයකදී වැරදියට පැවසූ හැටියි. එය එකල ජනප්‍රිය විහිළුවක්. අප මෙහි එය සඳහන් කරන්නේ නැසී ගිය මෙම ගායකයාට අපහාසයක් ලෙස නොව, අප රසවත් කළ ඒ සරල මිනිසා ගැන කතා කරද්දී ඇති වන විනෝදයෙන් යුතුවයි.

හෙන්රි කල්දේරා 1970 දශකයේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හරහා අතිමහත් ජනප්‍රියත්වයක් දිනාගත්තේ ඔහුගේ ‘තත් තත් තත් තාර පැටිය’ යන ගීයෙනි. එය එක් කලෙක ජනප්‍රියත්වයේ මුදුන් හිනිපෙත්තේ ම තිබුණු ගීයක්. ගී පදත්, තනු නිර්මාණයත්, ගායනයත් ඔහුගේයි.

ඔහුගේ ගීත සරල සෞන්දර්යයකින් යුක්තයි. ගායනය, සංගීතය, පද රචනය යන තුන් අංශයේ ම මෙම සරල සුන්දරත්වය ගැබ්වෙනවා. ඔහුගේ විශිෂ්ට ගී සියල්ල ඔහු විසින් ම රචනා කර, ඔහු විසින් ම සංගීතය ප්‍රබන්ධ කර ගායනා කළ ගීතයි.

ඔහුගේ සංගීත චාරිකාවේ අග්‍ර ඵල වන පහත දැක්වෙන ගීත තවත් දිගු කලක් අපට අසන්නට ලැබේවි.

පෙනුණු සුව දසුන් ගීතය විසින් ඇති කරන ආදරයේ මිහිරියාව කොයි තරම් සොඳුරු ද? පද පෙළෙහි ‘දකිනු රිසි නොවී හිතකට දෙවනවද ඔයා’ යන යෙදුමෙහි අව්‍යක්තබවක් තිබුණත්, එය සමස්තයක් ලෙස ගත් කල අති විශිෂ්ට කාව්‍ය සංකල්පනාවක්. ඇන්ද රතු වලා සිතුවම් හකුළුවා තියා, සිතරු තෙම සැඳෑ අඳුරට ඉඩ තබා ගියා, සීත සඳ නැඟෙයි පෙරඹර කවුළු දොර අයා,
පාළුව ලැගුම් ගනී හද තුළ පතුල එරි එරී  වැනි පදවල තිබෙන කාව්‍යෝක්තිය අති විශිෂ්ටයි.

පෙනුණු සුව දසුන් දස අත මිලින වී ගියා
දකිනු රිසි නොවී හිතකට දෙවනවද ඔයා 
යහන මත වදී හිරු දෙවි දෙ ඇස පිය පියා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා

සෙල්ලම් ගෙවල් තනාගෙන වැලි බත් උයා කවා 
වල් කොළ කොටා දියේ මුසුකර තේ හදා පොවා
සැලැකූ ළමා වියේ සැලැකිලි නොමැත මඟහැරී 
මට ආදරෙයි කියන්නකො මුවගින් අමා පිරී

ඇන්ද රතු වලා සිතුවම් හකුළුවා තියා 
සිතරු තෙම සැඳෑ අඳුරට ඉඩ තබා ගියා 
සීත සඳ නැඟෙයි පෙරඹර කවුළු දොර අයා 
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා

හමුවුණි අනන්ත මල් රුව මිස සුවඳ නොතැවරි 
ලියලයි හදේ පැතුම් වැල ඔබ වෙතම හැරි හැරී 
පාළුව ලැගුම් ගනී හද තුළ පතුල එරි එරී 
මට ආදරෙයි කියන්නකො මුවගින් අමාපිරි

පද රචනය , තනුව සහ ගායනය – හෙන්රි කල්දේරා

මා සිතන පරිදි ඔහුගේ අනෙක් විශිෂ්ට ම සංගීත නිර්මානය වන්නේ ‘සමනොල සිරිපා සිඹ සිඹ බැතිබර වැඳුමක යෙදී’ කියන ගීයයි.

සමනොළ සිරිපා සිඹ සිඹ බැතිබර වැඳුමක යෙදී 
අන්න පුතේ හිරු දෙවියෝ මිහිමත මෙහෙයට වඩී 
මොළකැටි අත් පා සලමින් කිරි කැටි පොඩි මුව අයා 
මා නොදකින විසිතුරු ගැන මට පවසනවද ඔයා

පුතු ඉපදුණු දිනේ මමත් නොලද නුවන් ලැබුවා 
මට නොපෙනෙන උදා කිරණ මගේ පුතා දුටුවා 
ඒ දෙනුවන් සිහි නුවණින් යොදවා දැය සමය නමින් 
මගෙන් රටට නොකෙරුණු ටික ඉටු කරන්න පුතුණේ….

අතීතයක් නැති අයෙකුට හෙටයි දිනක් නෑඟේ 
හෙවනට සිටි ගස සමරනු ගල කෙටු ඉර වාගේ 
පිබිදෙන මල් දැක නොතලා පුබුදන් පුත පිනි ඉහලා 
වැටුණු අයට පා නොම දී සුරත දෙන්න පුතුණේ…

පද රචනය , තනු නිර්මාණය සහ ගායනය – හෙන්රි කල්දේරා

හෙන්රි කල්දේරා මේ ගීය නිර්මාණය කර තිබෙන්නේ ඔහුගේ කුළුඳුල් පුතු නළවමින් බව මා අසා තිබෙනවා. හෙන්රි පැතූ ලෙස ම ඒ පුතු උගත් බුද්ධිමත් පුද්ගලයකු වන්නට ඇතැයි අප සිතනවා. 95දී ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ සිසුවකු ලෙස සිටින සමයේ නීති පීඨයේ සිසුන් විසින් ඔහුගේ ඒක පුද්ගල ගීත ප්‍රසංගයක් ‘මිරිවැඩි සලකුණු’ නමින් ලුම්බිනි රඟහලේ සංවිධානය කළා. එම වකවානුව වන විට කාටත් අමතක වී සිටි ඔහුට ඉන් පසු නැවත වතාවක් ජනප්‍රියත්වයේ ඉහළට ම නගින්නට අවස්ථාව ලැබුණා. ඔහු මිය යන විටත් ඒ ජනප්‍රියත්වය තුළ ඔහු රැඳී සිටියා.

මිරිවැඩි සලකුණු ප්‍රසංගය වෙනුවෙන් ඔහු අලුතෙන් නිර්මාණය කළ පහත දැක්වෙන ගීය ඔහු සමග ගායනා කරන්නේ එවකට කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවියක වූ අප්සරා ද සිල්වා ය. පසු කලෙක ඉවාන් පව්ලූෂා ගීය ගායනා කළේ ඇයයි.

ඔහුගේ කවිත්වය හා තනු නිර්මාණ හැකියාව පෙන්වන තවත් ගීයක් තමයි මේ.

සිසිල සැඳෑවේ
මේ අමාවකේ ගුවන් ගැබේ සඳක් නැඟී වාගේ
නොපැතූ රුවක් පෙනේවී
දැනේ සුගන්දේ
මල් වෙතින් නොවෙයි ඔයාගෙනුයි හොරේ මොකෝ හා හා
කොයිබද ළඳේ සවාරී

සුන්දර සුපුන් සඳේ රිදී කැළුම් නාලා
මල්මද බිසවු වගේ නුරා රැඟුම් පාලා
සැරසී අගේට පා සුරංගනා ලීලා
ගොම්මන් වෙලේ ඔයා මෙහේ කොහේ දෝ

තවමත් මගේ ලොවට සඳක් නැගී නෑනේ
ඔබ මට සුපුන් සඳක් වෙන්න මගේ නෑනේ
හා හා අගෙයි ළඳේ සිනහ පෙනෙයි මූණේ
පොඩි පැල්පතක් තනා කතා කරන්නම්

පද රචනය, තනු නිර්මාණය සහ ගායනය – හෙන්රි කල්දේරා

ලිංගික ඊර්ෂ්‍යාව, සැකය වැනි මනෝ විද්‍යාත්මක සාධක තේමා කරගත් ඔහුගේ මිදුලේ සුදු වැලි තලයේ ගීය රචනා කළේ ප්‍රේමරත්න පලිහවඩනයි. තනු නිර්මාණය හෙන්රි කල්දේරාගේ ය.

https://www.youtube.com/watch?v=37egMiUTstk

කුසුමා සූරියආරච්චි රචනා කළ මෙලොව තිබෙන අමිල නිමල පරම සැප එපා ගීය ද හෙන්රි කල්දේරා ගායනා කළ මධුර මව්ගුණ ගීයක්. එහි තනු නිර්මාණය එච්.එම්. ජයවර්ධනයන්ගේ ය.

https://www.youtube.com/watch?v=nhHMSM5eNlI

අපෙන් වෙන් වී දැන් දශකයකටත් වැඩි වුණත් හෙන්රි කල්දේරා හැමදාමත් අපේ හදවතේ ජීවත් වෙනවා. තව බොහෝ කලක් ඔහුගේ ගීතත්, නමත් නොනැසී පවතීවි.