සුළඟ අප කොහි රැගෙන යාවි ද?

අජිත් පැරකුම් ජයසිංහ

නුවන් ජයතිලකගේ ‘සුළඟ අප රැගෙන යාවි’ බලන්න කිලෝ මීටර් 20ක විතර දුරක් කළුතර යාමට දෙපාරක් කාර් එකට පෙට්‍රල් ගැහුවා. ලංකාදීප පත්තරේ තිබුණ විදියට ඒක කළුතර නිව් මිනර්වා හෝල් එකේ 10.30, 2.30, 6.30 පෙන්වනවා. ඒත්, 2.30ට ගිහින් ඇසූ විට කිව්වේ පෙන්නන්නේ 4.00 සහ 7.00 බවයි. 7.00 ෂෝ එකට නැවත ගියා. අපි හතර දෙනා ගිය නිසා තමයි චිත්‍රපටය පෙන්නුවේ නැතිනම් සෙනග මදි. මගේ දූලා දෙන්නටම වයස අවුරුදු 12ට අඩු වුණත්, එක්කෙනෙකුට ෆුල් ටිකට් එකකුත් ගත්තා. මේ චිත්‍රපටය බලන්නට මට ප්‍රෙස් ෂෝ එකට ආරාධනා ලැබුණා. ඒ වුණාට මං වඩා කැමතියි පවුලේ අයත් එක්ක මුදල් ගෙවා චිත්‍රපට බලන්න. අපි චිත්‍රපට ගැන ලියන්නෙ එහෙම අතින් සෑහෙන වියදම් කරලායි. චිත්‍රපට හදන අය අපට සාධාරණ වෙන්නට ඕනැ.

අවාසනාවකට නුවන් ජයතිලක එහෙම වෙලා නැහැ. මෙය ඔහුගේ සිනමා අධ්‍යාපනයක එසයින්මන්ට් එකක් ලෙස තමයි සලකන්නට වෙන්නේ. ඔහු සිනමා රූපවලට ආදරය කරන රූප නිර්මාණය කරන්නට ඇල්මක් දක්වන කෙනෙක්. ඒ වුණාට චිත්‍රපටයක් කියන්නේ ලස්සන රූප ටිකක් මොකක් හරි විදියකට පෙළ ගැස්වීම නොවන බවට හොඳම නිදසුනක් තමයි ‘සුළඟ අප රැගෙන යාවි’ චිත්‍රපටය.

ළමා චිත්‍රපට ය කියන ඒවා බලන්න ළමයින් ඇදගෙන යන්නෙ හරි අමාරුවෙන් දැන්. “ශිෂ්‍යත්වෙ පාස් වෙනව හරි, තරගෙකින් දිනනවා හරි මොකක් හරි කෝලමක්නෙ ඕවයෙ තියෙන්නෙ කියලා,” එන්න බැහැ, මං ගෙදර ඉන්නම් කියද්දි තමයි එක ළමයෙකුව ඇදගෙන ගියේ. මේක ඒවට අන්ත බොළඳ කතාවක්. ලංකාවේ සිනමාකරුවන්ගේ මූලික ගැටලුව මං කලිනුත් කියලා තියෙනවා. ඒ තමයි කතාවක් ගොතාගන්නට බැරිකම. පරිකල්පනයේ දුබලකම මතු වන්නට පටන් ගන්නේ එතනින්.

ළමයින්ට චිත්‍රපට නිර්මාණය කරන එක ළමයින්ට කතා ලියනවා වගේ ම බැරෑරුම් වැඩක්. ළමයින්ගේ බුද්ධිය ඉතා සියුම්. එයට නිගා දෙන විදියේ අභව්‍ය, බොළඳ කතා ළමයින්ට ඉදිරිපත් කිරීම දරුවන්ට සිනමාව එපා කරන වැඩක්.

අපේ තරුණ සිනමාකරුවන් ගොඩක් චිත්‍රපට බලනවා. ඒවායේ රූපරාමු අධ්‍යයනය කරලා මතක තියාගන්නවා. ඒවා තමන්ගේ නිර්මාණවල ප්‍රතිනිර්මාණය කරන්නට උත්සාහ කරනවා. නුවන් ජයතිලක ගැන මට හිතෙන්නේ මේ චිත්‍රපටයෙන් ඔහු උත්සාහ කරන්නේ හිතේ තිබුණු රූප පෙළක් ප්‍රතිනිර්මාණය කරන්නට ය කියායි. ඒ වෙනුවෙන් ඔහු කතාවක් ගොතනවා.
චිත්‍රපට‍‍යේ රංගනය හා නළුවන් මෙහෙයවීම අන්තිම දුර්වලයි. අයිරාංගනී සේරසිංහ හා ප්‍රියංකර රත්නායක යන්තම් ජාමෙ බේරාගන්නවා.

චිත්‍රාල් සෝමපාලගේ සංගීතයේ යම් නිර්මාණාත්මකබවක් තිබෙනවා. එහෙත්, චිත්‍රපටයේ සමස්ත දුබලකම වහන්නට ඒ කිසිවකට බැහැ. හිමාෂ මනුප්‍රිය කරන ගායනය සුන්දරයි.

කඳුකර පළාතක කරන ලද රූගත කිරීම්වල තිබෙන මනරම්කම නිසා මේ චිත්‍රපටය සංචාරක ප්‍රවර්ධනයට නම් හොඳයි.