Arulananthan Arun

සිංහල සමාජයට මල්ටිපල් සුරතාන්තයක් දෙන අරුලානන්දන් අරුල්

අජිත් පැරකුම් ජයසිංහ

ජනමාධ්‍ය විසින් කලින් කලට දෙන විවිධ හොල්මන් නිර්මාණය කර දීම ලංකාවේ පමණක් නොව ලෝකයේ ම සිදු වන්නකි.

Sinhala Tamil English Translations and Content Writing

ලෝක මට්ටමෙන් කවුරුත් දන්නා මීඩියා හොල්මනක් වන්නේ මලාලා යූසුෆ්සායි ය. කණගාටුදායක ඉරණමක ගොදුරක් වූ ඇය මේ වන විට විවිධ ජාත්‍යන්තර සංවිධානවල, රාජ්‍ය නොවන සංවිධාන, මාධ්‍ය හරහා ගොසිප් වෙබ් අඩවිය දක්වා එක එක අන්දමින් විකිණෙන වෙළඳ භාණ්ඩයකි.

මෙවැනි අපූරු වෙළඳ භාණ්ඩ ලංකාවේ මාධ්‍ය විසින් කලින් කල එළිදක්වා තිබේ.

රෝහිණී හතුරුසිංහ නම් කාන්තාවක් මතු වුණේ 1995දී ය. ඇය කොබ්බෑකඩුව ඝාතන කොමිෂමේ ප්‍රධාන සාක්ෂිකාරියක වූවා ය. කොබ්බෑකඩුව ඝාතනය හමුදාව ඇතුළේ ම වැඩක් බව පෙන්වීමට ඇය යොදාගැනිණි. ඇගේ කතා මත කොබ්බෑකඩුව මිය ගිය බිම් බෝම්බයෙන් ම මිය ගිය බ්‍රිගේඩියර් විජය විමලරත්න ගැන ද සැක කරන ලදී. ඔහුගේ පිළිම පවා කඩා දමන්නට ඇතැමෙක් පෙළඹුණ හ. එම බෝම්බය විජය විමලරත්නගේ උපදෙස් පිට ඇටවූයේ ඇගේ සැමියා වූ සුසන්ත හතුරුසිංහ බව රෝහිණී කොමිෂම හමුවේ පැවසුවා ය.

පියා නොදත් දරුවකුගේ මවක වූ ඇයට කොමිෂමේ විභාගය අවසන් වන විට උප්පැන්න සහතිකයට නම දෙන්නට පියෙකු නැති තවත් දරුවකු ලැබී තිබිණි. මාධ්‍ය ප්‍රචාරයට අමතරව ඇයට ලැබුණේ එපමණකි. ඇය දැන් කොහේ හෝ දුෂ්කර ජීවිතයක් ගත කරනවා ඇත.

ඔබට මතක ද කුමාරි කුරේ? පානදුර හිටපු මන්ත්‍රීවරියක වූ මර්වින් ජේ. කුරේගේ දියණියක වූ ඇය දේශපාලකයන් හා මාධ්‍ය විසින් රාවුෆ් හකීම් හරහා මුස්ලිම් දේශපාලනය මෙහෙයවා ගැනීම පිණිස පාවිච්චි කරන ලදී. මාධ්‍යවලින් අසාමාන්‍ය ලෙස පුම්බන ලද මානසික රෝග මායිමේ ජීවත් වූ මෙම කාන්තාව අවසානයේදී කොල්ලුපිටිය කානිවල් අයිස්ක්‍රීම්හලේදී පෙට්‍රල් කෑනයක් සිරුර මත හළාගෙන ගිනි තබාගෙන දුක් විඳ මිය ගියා ය.

මෑතදී මතු වූ මෙවැනි මාධ්‍ය හොල්මනක් වන්නේ නාමල් කුමාර ය. ජනාධිපති ඝාතන කතාවක් රැගෙන ආ ඔහු පාවිච්චි කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මහින්ද රාජපක්ෂ සමග එක්ව කරන ලද රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය පිළිබඳ කතාව නැවත කියන්නට අවශ්‍ය නැති තරම් අලුත් ය. මේ වන විට නාමල් කුමාර ඇල් මැරුණු තේ කෝප්පයක් වී තිබේ. මාකඳුරේ මධුෂ් ඩුබායිහිදී අත්අඩංගුවට පත් වීමත් සමග ඔහු යළිත් කරළියට එන්නට උත්සාහ කළමුත් එය සාර්ථක වූයේ නැත.

අලුත් ම මාධ්‍ය හොල්මන අරුලානන්දන් අරුල් ය. ආවා කල්ලියේ නායකයා තමන් යයි අනියමින් අඟවමින්, ටොං පච කෙළිමින් කරළියට පැමිණ සිටින ඔහු මේ වන විට සිංහල දේශපාලනය තුළ අතින් අත මාරු වෙමින් දේශපාලන ගණිකා වෘත්තියක යෙදී සිටියි. ඔහු ආදරයෙන් කර තබාගෙන ගිය මහින්ද රාජපක්ෂවාදීන්ට ද මේ වන විට ඔහු කොකා පෙන්වා හමාර ය. උතුරේ දේශපාලනයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් ඡන්දය ඉල්ලා මනාප 70ක් ගන්නට බැරි වූ මොහු අදටත් උතුරට කිසිදු වැදගත්කමක් නැති පුද්ගලයෙකි. එහෙත්, දකුණට ඔහු මල්ටිපල් සුරතාන්තයක් සපයමින් වරෙක ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමග ද, තවත් වරෙක අගමැති රනිල් වික්‍රමසිංහ සමග ද තවත් වරෙක ඩෑන් ප්‍රියසාද් සමග ද ඡායාරූප පළ කරමින් සිටියි. ඔහුගේ කටින් හැළෙන කෙළ බිඳ දක්වා විග්‍රහ කරන්නට සැදී පැහැදී සිටින සමාජ මාධ්‍යකරුවෝ සිටිති.

නාමල් කුමාර මාධ්‍ය හොල්මනට මෙන් ම අරුලානන්දන් අරුල් මාධ්‍ය හොල්මනට ද කාලය නියම වී තිබේ. ප්‍රශ්නය එය නොවේ. මේ රටේ පුරවැසියන්ට පමණක් නොව ජනමත නායකයන්ට පවා මෙවැනි මාධ්‍ය හොල්මන් තේරුම් ගැනීමට අවශ්‍ය මාධ්‍ය සාක්ෂරතාව නැතිකම බරපතල ගැටලුවකි.

අරුත්බර, රසවත් තොරතුරු නිරතුරු දැනගන්න අපේ සමාජ මාධ්‍ය පිටු එක්ක එක් වන්න.