UNFPA We Are With Her panel discussion

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍ර‍චණ්ඩත්වය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා රාජ්‍ය ආයතන ශක්තිමත් කෙරේ

රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම ඔස්සේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍ර‍චණ්ඩත්වය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් තිබෙන බව වාර්තා වේ.

2018 වසරේදී මේ සඳහා ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් කාර්යාලය විසින් කැනඩා ඩොලර් 900,000ක් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලට ලබා දෙන ලදී. එය කැනඩාවේ ස්ත්‍රීවාදී ජාත්‍යන්තර සහාය ප්‍ර‍තිපත්තියේ මුලපිරුමකි. වසර දෙකහමාරක් තුළ දිවෙන මෙම ව්‍යාපෘතිය එක්සත් ජාතීන්ගේ ජනගහන අරමදුල විසින් කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමේ සහයෝගයෙන් දියත් කරනු ලැබේ.

මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ, රාජ්‍ය අංශයේ නිලධාරීන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍ර‍චණ්ඩත්වයෙන් පීඩාවට පත් වූ වින්දිතයන්ට තම ආරක්ෂාව, යහපැවැත්ම සහ යුක්තිය වෙත ප්‍රවේශය ලබාගැනීම සඳහා අත්‍යවශ්‍ය සේවා ලබාදීමට යොමු කිරීමයි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍ර‍චණ්ඩත්වයට මුහුණ දෙන පුද්ගලයන්ට, විශේෂයෙන් ම කාන්තාවන්ට සහාය ලබාදීමේදී රෝහල් කාර්ය මණ්ඩල, පොලිසිය, ග්‍රාම සේවා නිලධාරී, පවුල් සෞඛ්‍ය නිලධාරිනියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පාසල් ගුරුවරුන්, සමාජ සේවා නිලධාරීන්, පරිවාස නිලධාරීන්, අධිකරණ නිලධාරීන් වැනි රාජ්‍ය සේවකයන්ට අති විශාල වගකීමක් තිබේ. එහෙත්, ඒ සම්බන්ධයෙන් ඔවුන් සංවේදී නොවීම ප්‍ර‍චණ්ඩත්වය වළක්වාගැනීමෙහිලා බරපතල බාධකයක්ව තිබේ.

රාජ්‍ය අංශය තුළ ද සැලකිය යුතු මට්ටමකින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍ර‍චණ්ඩත්වය දියත් වේ. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍ර‍චණ්ඩත්වයෙන් ඕනෑම ලිංගිකත්වයක පුද්ගලයන් පීඩාවට පත් විය හැකි මුත්, එයින් වැඩිපුර ම පීඩාවට පත් වන්නේ කාන්තාවන් ය.

මෙම ව්‍යාපෘතියේ ප්‍ර‍ගතිය සමාලෝචනය කිරීම සඳහා පසුගිය ජුනි 6දා කොළඹදී පැවැත්වුණ වැඩසටහනකදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම විසින් පෙන්වා දෙන ලද කරුණක් වූයේ පිරිමින් සහ ගැහැණුන් හැසිරිය යුතු ආකාරය පිළිබඳ ප්‍ර‍තිමාන ගොඩනගන සමාජානුයෝජන ක්‍රියාවලිය හේතුවෙන් ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍ර‍චණ්ඩත්වය ඉතා සාමාන්‍යකරණය වී ඇති බවයි. අප්‍රේල් 21 ත්‍ර‍ස්ත ප්‍ර‍හාරවලින් පසුව ගැනුණු පියවරවල පවා ස්ත්‍රී පුරුෂ සමාජභාවී විෂමතා පැවති බව ඇය පැවසුවා ය.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත රිට්සු නකේන් මහත්මිය සභාව අමතමින් මෙම අදහස් පළ කළා ය: “ප්‍ර‍චණ්ඩත්වය නම් ප්‍ර‍ශ්නය ආමන්ත්‍ර‍ණය කිරීමේ හදිසි අවශ්‍යතාව පාස්කු ඉරිදා ඛේදනීය සිදුවීම විසින් අප සියලු දෙනාට නැවත මතක් කරන ලදී. සාමකාමී ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍ර‍චණ්ඩත්වය ආමන්ත්‍ර‍ණය කිරීම ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැගීමේදී ඉතා වැදගත් පියවරකි. සියලු දෙනා වඩා හොඳින් ඇතුළත් කරගන්නා වූ, විවිධත්වයට ගරු කරන්නා වූ සහ ප්‍ර‍වර්ධනය කරන්නා වූ සමාජයක් දෙසට රට යන ගමනෙහිදී ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාව ප්‍ර‍වර්ධනය කිරීම ඉතා වැදගත් කාර්යයකි.”

(ඡායාරූපය: ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡා සභාවක් – UNFPA)