My first job - Ranji Manoj

සංචාරකයන් සාදරෙන් පිළිගන්නට මේ රට ලස්සනට තියාගනිමු

රංජි මනෝජ් විසිනි

බිස්නස් වැඩකට හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැන් ගණනාවකට ගිහින් ආපසු එන ගමන් මාතරින් අධිවේගී මාර්ගයට දාන්නේ නැතිව මම සාමාන්‍ය පාර දිගේ මිරිස්ස හරහා ගාල්ලට ආවා.

Sinhala Tamil English Translations and Content Writing

ඒ පැත්තේ හැම තැන ම සංචාරකයන් විවිධ ක්‍රියාකාරකම්වල යෙදී ඉන්නවා දැකලා ලොකු සතුටක් ඇති වුණා. චූන් පාන් වෑන් එකක් වටකරගෙන සංචාරක පිරිසක් පාන්, බනිස් ගන්නවාත් දැක්කා.

2018 අවුරුද්දේ ශ්‍රී ලංකාව සංචාරක පැමිණීම් සම්බන්ධයෙන් තැබූ ඉලක්කය ලක්ෂ 25ක්. හැබැයි ඔක්තෝබර් 26 ඇති වුණ දේශපාලන ගැටුම නිසා දෙසැම්බර් මාසේ සංචාරක වෙන් කිරීම් යම් ප්‍ර‍මාණයක් අවලංගු වුණා. අපට ඉලක්කයට යන්නට බැරි වුණේ ඒ නිසා වෙන්න ඇති. ඒත් ලංකාවට සංචාරකයන් 2,333,796ක් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. වැඩි ම පිරිසක් පැමිණ තිබෙන්නේ දෙසැම්බර් මාසයේයි. මෙය 2017 වසරට සාපේක්ෂව සංචාරකයන් ලක්ෂ තුනකට වඩා වැඩි වීමක්.

ඔවුන් අතරින් වැඩි පිරිසක් පැමිණියේ ඉන්දියාව, චීනය, බ්‍රිතාන්‍යය, ජර්මනිය හා ඕස්ට්‍රේලියාව යන රටවලිනුයි.

2019දී සංචාරක පැමිණීම් ලක්ෂ 30 දක්වා වැඩි වෙනු ඇතැයි ඉලක්කයක් තිබෙනවා. එමගින් ඇමරිකානු ඩොලර් බිලියන 4ක ආදායමක් ද බලාපොරොත්තු වෙනවා.

අද මධ්‍ය පරිමාණ ව්‍යවසායකයකු වන මා මගේ රැකියා ජීවිතය පටන් ගත්තේ බෙන්තොට හෝටලයක බාර්මන් කෙනෙකු විදියට. සීසන් එකේදි තමයි අපට සර්විස් චාජ් එක විදියට අතට වැඩි මුදලක් ලැබුණෙ. සංචාරක කර්මාන්තය සරුසාර වෙනවා දකිනකොට මට දැනුත් ලොකු සතුටක් ඇති වෙනවා. ශ්‍රී ලංකාවට එන සංචාරකයන් ඇවිදිනකොට පාර අයිනෙ කඩයකින් තැඹිලි ගෙඩියක් බිව්වත් රටේ ජනතාව අතට මුදල් සංසරණය වෙනවා. එය දිළිඳුකම නැති වෙන්නට ඉවහල් වෙනවා.

ඒත්, අපේ රටේ ජනතාව සැලකිලිමත් විය යුතු පැත්තක් තිබෙනවා. ඒ තමයි, විදේශිකයන් බලන්නට එන මේ සුන්දර පරිසරය රැකගන්න එක. තැන තැන ප්ලාස්ටික්, පොලිතින්, කැලිකසල, මළ මුත්‍ර‍ ආදිය දමලා අපි හැඩි කරගන්නෙ අපේ ආර්ථිකයේ ප්‍ර‍ධාන ආදායම් උත්පාදන මාර්ගයක් බව අප හැම තිස්සෙම සිහිපත් කරගත යුතුයි.