මීගමුවේ වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක කර සමාජයට පෙන්විය යුතු ය

ත්‍රිරෝද රථ නැවතුමක ඇති වූ සුළු ගැටුමක් හේතු කරගෙන කලහකාරී පිරිස් විසින් ආරම්භ කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මීගමුව, පෝරුතොට ප්‍රදේශයේ ඇති වූ ගැටුම්කාරී තත්වය මැඩපැවැත්වීමට මේ වන විට ආරක්ෂක අංශ සමත් වී තිබේ. මීගමුව පොලිස් බල ප්‍රදේශයට අද උදෑසන 7 දක්වා ඇඳිරි නීතිය පනවා තිබේ.

ඒ සමග ම රජය විසින් ෆේස්බුක්, වට්ස්ඇප් සහ යූටියුබ් සමාජ ජාල අවහිර කර තිබේ. එය වැරදි තොරතුරු පැතිරීම වැළැක්වීමට ගත් පියවරක් වන මුත්, සමාජයේ විශාල වශයෙන් කිසිදු පදනමක් නැති කටකතා පැතිරීමට ද ඉවහල් වී තිබේ. මේ පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් සමාජ මාධ්‍ය තාක්ෂණික විශේෂඥයකු වන යුධංජය විජේරත්න පවසන්නේ වට්ස්ඇප් සමාගම ශ්‍රී ලංකාව තුළ ෆෝවර්ඩ් සහ කොපි පේස්ට් හැකියාව ඉවත් කළ යුතු බවයි. ඔහු පවසන පරිදි ශ්‍රී ලංකාවේ ඕපාදූප මෝලේ ග්‍රීස් එයයි.

අද දින පාසල්වල ද්විතීයක පන්තිවල හා උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ. රටේ ජන ජීවිතය සාමාන්‍ය තත්වයට පත් කිරීමට රජයට අවශ්‍යව තිබෙන මුත්, පාසල් මෙතරම් ඉක්මණින් විවෘත කිරීම කෙරෙහි රටේ විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වී තිබේ. ඒ අතරට ක්‍රිස්තියානි සහ බෞද්ධ ආගමික නායකයන් ද, ඇතැම් දේශපාලන නායකයන් ද එක් වී තිබේ.

රටේ සාමාන්‍ය තත්වය ඇති කිරීම පමා කිරීමේ දේශපාලනික උවමනාවක් ඇතැම් බලවේගවලට තිබෙන බව පැහැදිලිව දකින්නට තිබේ. ආරක්ෂක හමුදා මෙහෙයුම්වලදී කරනු ලබන සොයාගැනීම් ම උපයෝගී කරගෙන ආරක්ෂාව නැති බව පෙන්වීමට උත්සාහ කරන අතර ඉතා සුළු සිද්ධි පවා ගැටුම්කාරී තත්වයන් ඇති කිරීමට පාවිච්චි කිරීමට බලාගෙන සිටින පිරිසක් සිටිති. මීගමුවේ සිදු වී තිබෙන්නේ එවැනි පෞද්ගලික ආරාවුලක් පොදු ප්‍රශ්නයක් බවට පත් කරගැනීමක් බව මීගමුවෙන් වාර්තා වේ.

ජනාධිපති සහ ආණ්ඩුව අතර ඇති වී තිබෙන බරපතල අසමගිය හේතුවෙන් රටේ දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය වී තිබේ. එහෙත් ආරක්ෂක අංශ විසින් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලින් පසු ඇති වූ තත්වය පාලනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලදී. කෙසේ වෙතත්, ඇතැම් සමාජ මාධ්‍ය මෙන් ම ඇතැම් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ද තවදුරටත් ගැටුම්කාරී තත්වයන් ප්‍රවර්ධනය වන පරිදි හා සාමය කඩාකප්පල් වන පරිදි හැසිරෙන බව දක්නට ලැබේ.

මේ අතර, ජාතීන් අතර අසමගිය ඇති කිරීමට කටයුතු කරන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පොලිස් නිලධාරීන්ට පොලිස් මූලස්ථානය විසින් උපදෙස් ලබා දී තිබේ. ජාතීන් අතර අසමගිය ඇති කිරීමට කටයුතු කරන්නන්ට එරෙහිව ප්‍රමාණවත් අන්දමින් නීතිය ක්‍රියාත්මක කිරීමක් පසුගිය සමයේ දක්නට නොලැබිණි. පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් පසු ඇති වූ පළමු බරපතල ගැටුම්කාරී සිද්ධිය ලෙස සැලකිය හැකි මෙම සිද්ධියට සම්බන්ධ පිරිස් එකෙකු නෑර අත්අඩංගුවට ගෙන උපරිම අන්දමින් නීතිය ක්‍රියාත්මක කර එය රටට පෙන්වීමේ බරපතල වගකීමක් පොලිසියට තිබේ.

(කාටුනය සජිත් බණ්ඩාරගේ නිර්මාණයකි)